දහම් මඟ පිළිබඳ

අපගේ දැක්ම

අප භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් ධර්ම විනය තුල මග නොමග හඳුනා ගැනීම පිළිබඳ අපගේ  දැක්ම මෙසේ සනිටුහන් කරමු.

SecPageImageL2

චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධ සාසනං!

තිසරණය

      අදින් පස්විසි සතවර්ෂාධික කලකට පෙර වෙසක් පුන් පොහෝ දිනෙකදී මෙම මහා භද්‍ර කල්පයෙහි සිව් වෙනි වරට ලොව පහලවී වදාල ලොව්තුරා අමාමෑණි අප ශාස්තෘ වූ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ පුරා සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පූරිත සමතිස් පාරමී ධර්මයන්ගෙන් යුතුව දඹදිව උරුවෙල් දනව්වෙහි නේරංජරා නදී තෙර ඇසතු බෝ රුක් සෙවනේ වජිරාසනය මත වැඩහිඳිමින් දස මාර සේනා පරදවා දසදහසක් ලෝක ධාතූන් කම්පා කරවමින් උතුම් ශ්‍රී සම්බුද්ධත්වය සාක්ෂාත් කොට වදාලහ. ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ අප සරණගිය එකම ශාස්තෘන් වහන්සේ වන්නේය! නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං!

     අපගේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයෙන් දෙමසක් ඇවෑමෙන් වූ ඇසළ පුන්පොහෝ දින දඹදිව බරණැස ඉසිපතන මිගදායෙහිදී පස්වග භික්ෂූන් වහන්සේලා හා ගණනාතික්‍රාන්ත දෙව් බඹුන් ඉදිරියෙහි උතුම් ධර්මචක්‍රය ප්‍රවර්තනය කොට කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන සල් වනයෙහි උභය සල් රුක් සෙවනේ අනද හිමියන් විසින් පනවන ලද සයනයෙහි සැතපී “වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදේථ!” යන පශ්චිම බුද්ධ වචනය දක්වා පුරා පන්සාලිස් වසක් සකල ලෝසතුන් වෙත පතළ මහා කරුණාවෙන් යුතුව අපමණ දෙව් මිනිසුන් හට සිව්සස් දහම් අවබෝධ කරවා සසර දුක්ගිනි නිවාලනු වස් ස්වාක්ඛාත, සංදිට්ඨික, අකාලික ආදී අනන්ත ගුණ තේජසින් ප්‍රතිමණ්ඩිත උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාල සේක. ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද මිහිරි ශ්‍රී සද්ධර්මය අප සරණගිය එකම මාර්ගෝපදේශය වන්නේය! නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං!

     අප භාග්‍යවතුන් වහන්සේගේ සම්බුදු සසුනෙහි අධිසීල සංඛ්‍යාත පැවිදි උපසම්පදාව ලැබ උතුම් කල්‍යාණමිත්‍ර ශාස්තෘ සම්පත්තියෙහි පිහිට ලබා සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂාවෙහි හික්මී සතර සතිපට්ඨානයෙහි මනාකොට සිත් පිහිටුවා පංචනීවරණයන් දුරු කොට ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රීය බල ධර්මයන්ගෙන් යුතු බෝධි පාක්ෂික ධර්මයන් වඩා උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි වැඩම කොට අනුපිළිවෙලින් අමෘත මහා නිර්වාණ ධාතුව ස්පර්ශ කොට මුළුමහත් සංසාර දුකින් එතෙර වී වදාල අප භාග්‍යවතුන් වහන්සේගේ ළය මඬලින් උපන් මහා ප්‍රඥාවෙන් අගතැන්පත් සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා සෘද්ධි බලයෙන් අගතැන්පත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, සීල ධුත ගුණයෙන් අගතැන්පත් මහා කස්සප මහරහතන් වහන්සේ, අනුරුද්ධ, මහා කච්චාන, මහා කප්පින, ආනන්ද, නන්ද, රාහුල ආදී නා නා නම් ගොත් ඇති අතීතයේ වැඩසිටි මහා ඛීණාශ්‍රව මහරහතන් වහන්සේලා ප්‍රධාන කොට ගත් සතර මග සතර ඵල සාක්ෂාත් කල සුපටිපන්න, උජුපටිපන්න ආදී අනන්ත ගුණ තෙදින් බබලන ආර්ය මහා සංඝරත්නය දෙව් මිනිස් ප්‍රජාව සහිත තුන් ලොවෙහි අනුත්තර වූ පින්කෙත වන සේක. ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය අප සරණගිය එකම ශ්‍රාවක පිරිස වන්නේය! නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං!

ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං සරණමුත‍්තමං
ඒතං
සරණමාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති

මේ තිසරණය වනාහි නිර්භය සරණයි. මේ තිසරණය වනාහි උතුම්ම සරණයි.

මේ තිසරණයට පැමිණි සත්ව තෙම සියළු දුකින් මිදෙන්නේය!

(ධම්මපදය – බුද්ධ වර්ගය)

සුපිරිසිදු ථේරවාදය

      ගෞතම බුදු සසුනේ වැඩසිටි ගණනින් පමණ කළ නොහැකි මහා ඛීණාශ්‍රව මහා තෙරුන් වහන්සේලා අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු අධර්මය බැබළීමටත් ධර්මය බැහැර කරනු ලැබීමටත් පෙර, අවිනය බැබළීමටත් විනය බැහැර කරනු ලැබීමටත් පෙර, අධර්මවාදීන් බලවත් වීමටත් ධර්මවාදීන් දුබල වීමටත් පෙර, අවිනයවාදීන් බලවත් වීමටත් විනයවාදීන් දුබල වීමටත් පෙර, ධර්මයත් විනයත් සංගායනා කරමින් ගෞතම සම්බුදු සසුන ආරක්ෂා කළහ. ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ඇවෑමෙන් සුභද්‍ර නම් වුඩ්ඪපබ්බජිත භික්ෂුවගේ අභද්‍ර වචනය මුල්කොටගෙන මහා ධුත ගුණයෙන් අගතැන්පත් සාසන භාරධාරී මහා කස්සප මහරහත් මුනිඳුන් ප්‍රධාන පන්සියයක් මහා ඛීණාශ්‍රව මහා තෙරුන් වහන්සේලා රජගහ නුවර සප්තපර්ණි ගුහා ද්වාරය අසල පළමු ධර්ම සංගායනාව පවත්වා ධර්මයත් විනයත් ඉස්මතු කොට සම්බුදු සසුන සුරක්ෂා කළ සේක. 

      විශාලා මහනුවරවාසි වජ්ජිපුත්තක අලජ්ජී භික්ෂූන්ගේ දස අකැප වස්තු සම්මතය මුල්කොටගෙන ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් සියවසක් ගිය කල්හි ආනන්ද මහරහතන් වහන්සේගේ සද්ධිවිහාරිකයන් වහන්සේ නමක් වූ සබ්බකාමී මහරහත් මුනිඳුන් ප්‍රධාන සත්සියයක් මහා ඛීණාශ්‍රව මහා තෙරුන් වහන්සේලා විශාලා මහනුවර පැවැත්වූ දෙවන ධර්ම සංගායනාවෙහිදී ධර්මයත් විනයත් සංගායනා කොට සම්බුදු සසුන ආරක්ෂා කළ සේක. 

      ලාභ සත්කාරයෙහි ගිජුවූ තීර්ථක මතධාරීන් ශ්‍රාවක සංඝයා අතර සිවුරු පොරවා ගැනීමෙන් කිළුටු වූ සම්බුදු සසුන පිරිසිදු කරනු වස් ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය දහඅට වසක් ගිය තැන්හි මොග්ගලීපුත්තතිස්ස මහරහත් මුනිඳුන් ප්‍රධාන දහසක් මහා ඛීණාශ්‍රව මහා තෙරුන් වහන්සේලා පාටලීපුත්‍ර නගරයෙහි රැස් වී අභිධර්ම පිටකයෙහි කථාවත්ථුප්‍රකරණයෙහි සඳහන් දෙසිය දහහතක් පමණ වූ පරවාදී මතයන් ඛණ්ඩනය කොට තීර්ථකයන් සිවුරු හරවා සසුනෙන් බැහැර කොට තෙවන ධර්ම සංගායනාව පවත්වා නැවතත් ධර්මයත් විනයත් ඉස්මතු කොට සම්බුදු සසුන රැකගත් සේක. 

      ලංකාදීපප්පසාදක අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ පළමු සිංහල සද්ධිවිහාරිකයන් වහන්සේ වූ මහා අරිට්ඨ මහරහත් මුනිඳුන්ගේ පටන් විනය පිටකයෙහි පරිවාර පාළියෙහි නම් සඳහන් වන තම්බපණ්ණී නම් ලක්දිව වැඩහිටි මහාවිහාර වංශික මහරහත් තෙරුන් වහන්සේලාගේ පරපුරෙහි සිව මහරහත් මුනිඳුන් දක්වා ගණනින් පමණ කළ නොහැකි ආර්ය මහා සංඝරත්නය විදෙස් ආක්‍රමණ, දුර්භික්ෂ ආදී නොයෙක් දුක් ගැහැටයන් විඳිමින් දිවි දෙවෙනි කොට වාචනා මාර්ගයෙන්ම උතුම් සම්බුද්ධ වචනය අතුරුදහන් වීමට ඉඩ නොදී රැකගත්හ. ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් හාරසිය පනස් වසරක් පමණ වන කාලයෙහිදී සත්වයාගේ පරිහානිය හේතුවෙන් උතුම් සම්බුද්ධ දේශනාව අතුරුදහන් වීමට තිබෙන අනාගත අනතුර දුටු ලක්දිව වැඩසිටි මහා ඛීණාශ්‍රව සිංහල මහා තෙරුන් වහන්සේලා වලගම්බා රජ දවස මාතලේ අළු විහාරයෙහිදී රැස්වී සිවුවෙනි ධර්ම සංගායනාව පවත්වා උතුම් ශ්‍රී මුඛ සම්බුද්ධ දේශනාව ග්‍රන්ථාරූඪ කරමින් ආරක්ෂා කළ සේක.

      මෙසේ ධර්ම සංගායනා සතරකින් උතුම් ඛීණාශ්‍රව මහරහත් තෙරුන් වහන්සේලා විසින් ආරක්ෂා කොටගත් අප භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද මිහිරි ශ්‍රී සද්ධර්මය ඇතුලත් සූත්‍ර, විනය හා අභිධර්ම යන තුන් පිටකය සුපිරිසිදු ථේරවාදය ලෙස අපගේ පිළිගැනීමයි.

      ථේරවාදය යන්නෙහි අරුත “ස්ථවිරයන් වහන්සේලා ප්‍රකාශ කරන දහම” යන්නයි. ථේරවාදය යන පදය මුලින්ම හමුවන්නේ බුද්ධඝෝස ආචාර්යපාදයන් වහන්සේ විසින් පාළි අටුවා සකස් කිරීමට පෙර හා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමෙන් පසු පැවැති යම් කලෙක ලක්දිවදී ලියැවුණු “දීපවංශයෙහි” ය. මෙම හේතුවෙන් ඇතැම් වත්මන් විද්වතුන් ථේරවාදය පිළිබඳ ත්‍රිපිටකයෙහි සඳහනක් නොමැති බව පැවසුවත් “ථේර” යන පදය හා “වාදය” යන පදය එක්ව ථේරවාදය යන පදයෙන් ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව බුද්ධවචනය හැඳින්වීමට යොදා ඇති බව සිතීමට ත්‍රිපිටය තුලම සාධාරණ සාක්ෂි තිබේ.

      අප භාග්‍යවතුන් වහන්සේත් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ශ්‍රී සද්ධර්මය දේශනා කරන සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාත් “වාදී” යන පදයෙන් හඳුන්වා ඇති අවස්ථා ත්‍රිපිටකය තුල දක්නට ලැබේ. එයට නිදසුන් ලෙස ධර්මය බෙදා විග්‍රහ කරන හෙයින් භාග්‍යවතුන් වහන්සේ “විභජ්ජවාදී” ලෙස හැඳින්වීම ගත හැකිය. මජ්ඣිම නිකායෙහි සුභ සුත්‍රයේදී සුභ මානවකයා ඇසු ප්‍රශ්නයට පිළිතුරු දීමේදී අප භාග්‍යවතුන් වහන්සේ “විභජ්ජවාදෝ ඛෝ අහමෙත්‍ථ මාණව, නාහම්මෙත්‍ථ ඒකංසවාදෝ.” “මාණවකය, මම මෙහි දී විභජ්ජවාදයෙමි. මම මෙහි දී ඒකාන්තවාද නො වෙමි.” යැයි වදාළහ.

      එසේම කථාවත්ථුප්‍රකරණයෙහි තෙවන ධර්ම සංගායනාව සිදුකළ මොග්ගලීපුත්තතිස්ස මහරහත් මුනිඳුන් ප්‍රමුඛ රහතන් වහන්සේලා වෛතුල්‍යවාදී නිකාය වාසීන්ගෙන් සිදුකළ ප්‍රශ්න විචාරීම “සකවාදී පුච්ඡා” ලෙසත්,   ඔවුන්ගේ ප්‍රශ්න විචාරීම “පරවාදී පුච්ඡා” ලෙසත් හඳුන්වා තිබේ. 

      විනය පිටකයෙහි චුල්ලවග්ගපාළියෙහි සමුච්චය ඛන්ධකයෙහි උද්දාන ගාථාවන්හි “ආචරියානං විභජ්ජවාදීනං තම්බපණ්ණිදීපප්පසාදකානං මහාවිහාරවාසීනං වාචනා සද්ධම්මට්ඨිතියාති”, “තම්බපණ්ණි දීපප්‍රසාදක වූ මහාවිහාරවාසී විභජ්ජවාදී ආචාර්යවරයන්ගේ ශාසනස්ථිතිය පිණිස වූ වාචනාමාර්ගයෝය යි.” ලෙස දැක්වේ. 

      එසේම ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයේ සිට ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වන කාලය දක්වා “ථේර” යන වචනයෙන් නිර්මල ශාස්තෘ සාසනය නියෝජනය කරන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස හඳුන්වා තිබෙනු පෙන්වා දිය හැක. පළමු හා දෙවන ධර්ම සංගායනා පිලිබඳ සඳහන් වන විනය පිටකයෙහි පංචසතික හා සත්තසතිකක්ඛන්ධයන්හි “අථ ඛො ථේරා භික‍්ඛූ රාජගහං අගමංසු ධම්මඤ්ච  විනයඤ්ච සංගායිතුං” “ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු ධර්මය ද විනය ද සංගායනා කිරීමට රජගහ නුවරට වැඩියාහ.” ලෙසත් “අථ ඛො ථේරා භික්ඛූ වේසාලිං අගමංසු තං අධිකරණං විනිච්ඡිනිතුකාමා.” “ඉක්බිති ඒ අධිකරණය විනිශ්චය කරනු කැමති වූ ස්ථවිර භික්‍ෂූහු විශාලා නුවරට ගියහ.” ලෙසත් දැක්වේ.

      පරිවාර පාලියෙහි භාණක පරම්පරාවෙහි නම් සඳහන් වන උපාලි මහරහතන් වහන්සේගේ පටන් සිව මහරහතන් වහන්සේ දක්වා නොයෙක් තැනකදී “ථේර” යන පදය දක්නට ලැබෙත්. එසේම උන්වහ්සේලා “ශ්‍රේෂ්ඨ”  යන අරුත් ඇති “නාග” යන පදයෙන්ද හඳුන්වා තිබේ. “එතේ නාගා මහාපඤ්ඤා, විනයඤ්ඤූ මග්ගකෝවිදා, විනයං දීපේ පකාසේසුං පිටකං තම්බපණ්ණියාති”, “මහාප්‍රාඥ වූ විනය දන්නා මාර්ගඥානයෙහි දක්‍ෂ මේ ශ්‍රේෂ්ඨ ක්‍ෂීණාස්‍රවයෝ විනය පිටකය තම්බපණ්ණි නම් හෙළදිව පැවසූහ.”

      ඉහත කරුණු සැලකීමෙන් අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව දෙවන හා තෙවන ධර්ම සංගායනා වලදී සසුනෙන් බැහැර වූ වෛතුල්‍ය මතධාරී මහා සාංඝික, සර්වාස්තිවාදී ආදී සතළොසක් පමණ වූ නිකාය වාසීන්ගේ අධර්මවාදයන් අතර අප භාග්‍යවතුන් වහන්සේ වදාල නිමල ශ්‍රී සද්ධර්මය එලෙසම ප්‍රකාශ කරන උතුම් මහරහතන් වහන්සේලාගේ මතය පාළි අටුවා ලියවීමට පෙරදීම “ථේරවාදය” ලෙස හැඳින්වූ බව සැලකීම යුක්ති සහගතය. මෙය සුපිරිසිදු ථේරවාදය සම්බන්ධයෙන් අපගේ දැක්මයි.

ඒසෝ හි සංඝෝ විපුලෝ මහග්ගතෝ  – එසප්පමෙය්‍යො උදධීව සාගරෝ

ඒතෙහි සෙට්ඨා නරවීරසාවකා – පභංකරා ධම්මමුදීරයන්ති

මේ සංඝ තෙමේ ගුණයෙන් මහත් බවට ගියේ ය. ගුණයෙන් විපුල වූයේ ය.

මේ සංඝ තෙමේ මහා සාගරයෙහි ජලය සෙයින් ගුණයෙන් පමණ කළ නො හැක්කේ ය.

ශ්‍රේෂ්ඨ වූ මෙලොව එළිය කරන්නා වූ ඒ නරවීර වූ සම්බුදු රජුන්ගේ ශ්‍රාවකයෝ ම නිවන්මඟ දක්වත්.

(දද්දල්ල විමානවත්ථුව – ඛුද්දක නිකාය)

අරහත් කල්‍යාණ වැට

      “සියළු සංස්කාර ධර්මයෝ අනිත්‍යයහ” යන බුදුවදන සම්බුද්ධ සාසනයටද සාධාරණය. සම්බුදු රජාණන් වහන්සේ නමකගේ පරිනිර්වාණයෙන් පසු අනුක්‍රමණයෙන් සාසන අන්තර්දහනය සිදුවේ. අප භාග්‍යවතුන් වහන්සේ ගෞතම බුදු සසුනෙහි ආයුෂය සම්බන්ධයෙන් වදාල කරුණක් ත්‍රිපිටකය තුලින් හමුවේ. එනම් මහා ප්‍රජාපති ගෞතමියට භික්ෂුණී සංඝයා බිහිකිරීම පිණිස ගරුධර්ම පටිග්ගහණ උපසම්පදාව ලබා දීමෙන් පසුව අනඳ හිමියන් හට මෙසේ වදාලහ. සචේ ආනන්ද, නාලභිස්ස මාතුගාමෝ තථාගතප්පවේදිතේ ධම්මවිනයේ අගාරස්මා අනගාරියං පබ්බජ්ජං, චිරට්ඨිතිකං ආනන්ද, බ්‍රහ්මචරියං අභවිස්ස, වස්සසහස්සමේව සද්ධම්මෝ පතිට්ඨහෙය්‍ය, යතෝ ච ඛෝ ආනන්ද, මාතුගාමෝ තථාගතප්පවේදිතේ ධම්මවිනයේ අගාරස්මා අනගාරියං පබ්බජිතෝ, නදානි ආනන්ද, බ්‍රහ්මචරියං චිරට්ඨිතිකං භවිස්සති, පඤ්චේවදානි ආනන්ද, වස්සසතානි සද්ධම්මෝ ඨස්සති.” “ආනන්දය, ඉදින් තථාගත දේශිත ධර්ම විනයෙහි ස්ත්‍රිය ගිහි ගෙයින් නික්ම අනගාරික පැවිද්ද නොලැබුවේ නම් ආනන්දය, සසුන් බඹසර බොහෝ කල් පවතින්නේය. දහස් වසරක් ම සද්ධර්මය පිහිටන්නේ ය. ආනන්දය, යම් කලක තථාගත දේශිත ධර්ම විනයෙහි ස්ත්‍රිය ගිහි ගෙයින් නික්ම පැවිද්ද ලැබුවේ ද, ආනන්දය, දැන් සසුන් බඹසර බොහෝ කල් නොපවතින්නේය. ආනන්දය, දැන් සද්ධර්මය පන්සිය වසරක් ම පවතින්නේ ය”. 

      කස්සප සංයුක්තයෙහි සද්ධර්මපතිරූපක සූත්‍රයෙහි මහා කස්සප මහරහතන් වහන්සේ බුදුසසුනේ මුල් කාලයේදී අඩු ශික්ෂා පද ප්‍රමාණයක් පණවා තිබියදීද බොහෝ භික්ෂූහු අරහත්වය සාක්ෂාත් කිරීමටත්, පසු කාලයේදී බොහෝ ශික්ෂාපද පණවා තිබුණද අරහත්වය සාක්ෂාත් කරන භික්ෂුන් අඩු වීමටත් හේතුව අප භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා සිටියහ. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ වදාලේ “ඒවං හේතං කස්සප හෝති. සත්තේසු හායමානේසු, සද්ධම්මේ අන්තරධායමානේ, බහුතරානි චේව සික්ඛාපදානි හොන්ති. අප්පතරා ච භික්ඛූ අඤ්ඤාය සණ්ඨහන්ති.” “කස්සප, මෙය මෙසේ ම වෙයි. සත්ත්වයන් පිරිහෙන කල්හි සද්ධර්මය අතුරුදන් වන කල්හි ශික්‍ෂාපදයෝද ඉතා බොහෝ වෙති, ඉතා මඳ වූ භික්‍ෂූහුද අරහත් ඵලයෙහි පිහිටත්.

      එසේම කාලයත් සමඟ සත්වයන්ගේ ආයුෂ පිරිහීමත් කුසල ධර්මයන්ගෙන් පිරිහීමත් පිළිබඳව අප භාග්‍යවතුන් වහන්සේ දීඝ නිකායෙහි චක්කවත්තීසීහනාද සූත්‍රයේත් අග්ගඤ්ඤ සූත්‍රයේත් දේශනා කළ සේක.

      මජ්ඣිම නිකායෙහි මඛාදේව සූත්‍රයෙහි අප භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාල සේක “තං වෝ අහං ආනන්ද එවං වදාමි. යේන මේ ඉදං කල්‍යාණං වට්ටං නිහිතං අනුප්පවත්තෙය්‍යාථ, මා ඛෝ තුම්හේ අන්තිමපුරිසා අහුවත්ථ. යස්මිං ඛෝ ආනන්ද පුරිසයුගේ වත්තමානේ ඒවරූපස්ස කල්‍යාණස්ස වට්ටස්ස සමුච්ඡේදෝ හෝති සෝ තේසං අන්තිමපුරිසෝ හෝති” “එහෙයින් ආනන්ද, මම මෙසේ කියමි, මා විසින් තැබූ මේ කල්‍යාණ වැට පවත්වවු, තෙපි එහි අන්තිම පුරුෂයෝ නොවව්. ආනන්ද, යම් පුරුෂයුගයක් පවත්නා කලකදී මෙවන් කල්‍යාණ වැට සිඳේ ද, ඔහු ඔවුන්ගේ අන්තිම පුරුෂයා වෙයි”

      මේ සියළු කාරණා මධ්‍යස්ථ නුවණින් විමසා බැලීමේදී පිළිගැනීමට සිදුවන්නේ අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධත්වයෙන් පන්සිය වසක් ගිය තැනදී එනම් අදින් වසර දෙදහසකටත් වැඩි කලකට ඉහතදී ගෞතම බුදු සසුනේ රහතන් වහන්සේලාගේ කල්‍යාණ වැට සිඳුනු බවයි. මේ අනුව වර්තමානයේ මනු ලොව රහතන් වහන්සේලා වැඩ සිටීමට ඉඩක් තිබිය හැකි නොවේ. පුදුමයකට මෙන් මෙහිදී අතිශයින්ම සතුටු විය හැකි කරුණක්ද තිබේ. එනම් අප සම්බුදු රජුන්ගේ ශ්‍රී සම්බුද්ධත්වයෙන් පන්සිය වසරක් සපිරීමට වසර කිහිපයකට පෙර උතුම් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වීමයි. එනම් අප භාග්‍යවතුන් වහන්සේ විසින්ම දේශනා කරන ලද, උතුම් මහරහතන් වහන්සේලා විසින්ම ග්‍රන්ථාරූඪ කරන ලද ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය සුපිරිසිදු ලෙසින් ඉගෙනීමටත් සසුන් පිළිවෙත් පිරීමටත් අපහට අදටත් වාසනාව හිමිව තිබේ.

      භික්ෂුණීන් හට බුදුසසුනෙහි පැවිද්ද ලබා දීමෙන් පන්සිය වසරක් දක්වා අඩුවූ සද්ධර්මස්තිථිය අෂ්ඨ ගරු ධර්මයන් පැනවීම හේතුවෙන් නැවතත් දහස් වසරක් දක්වා වැඩිවූ බව සඳහන් කරන මනෝරථපූරණි අටුවාව තවදුරටත් මෙසේ සඳහන් කරයි. වස්සසහස්සනන්ති චේතං පටිසම්භිදාපභේදප්පත්තඛීණාසවානං වසේනේව වුත්තං, තතෝ පන උත්තරිපි සුක්ඛවිපස්සකඛීණාසවවසෙන වස්සසහස්සං, අනාගාමිවසේන වස්සසහස්සං, සකදාගාමිවසේන වස්සසහස්සං, සෝතාපන්නවසේන වස්සසහස්සන‍්ති එවං පඤ්චවස්සසහස්සානි පටිවේධසද්ධම්මෝ ඨස්සති.” “මෙසේ පළමුව කියනලද වසර දහස පිළිසිඹියා භේදයට පත්වූ ක්ෂීණාශ්‍රවයන්ගේ වශයෙන් කියන ලදි. එයින් මත්තෙහි ද ශුෂ්ක විදර්ශක ක්ෂීණාශ්‍රව වශයෙන් වසර දහසකි. අනාගාමි වශයෙන් වසර දහසකි, සකෘදාගාමි වශයෙන් වසර දහසකි, සොතාපන්න වශයෙන් වසර දහසකියි මෙසේ පන්දහස් වසරක කාලයක් ප්‍රතිවෙධ සද්ධර්මය පවතියි. මෙහි සත්‍යතාවය කෙසේ වෙතත් අටුවාවෙහි සඳහන් මෙකරුණ අනුව බලන විටදීද ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙදහස් පන්සියයකටත් අධික කලක් ගත වී තිබෙන වර්තමානයේදී මනුලොව රහතන් වහන්සේලා වැඩසිටිය නොහැක. ත්‍රිපිටක පාළිය අනුව එයට කිසිසේත් ඉඩක් නැත. අකැමැත්තෙන් නමුත් මෙය වටහා ගත යුතු සත්‍යකි.

      මෙය දැනගත යුත්තේ මක් නිසාද? දේවදත්තයන් හට සිදුවූ අභාග්‍ය සම්පන්න පරිහානියට මුල් වූ කරුණක් පිළිබඳව ඉතිවුත්තක පාළියෙහි දේවදත්ත සූත්‍රයෙහි අප භාග්‍යවතුන් වහන්සේ වදාල සේක. එනම් සති ඛෝ පන උත්තරිකරණීයේ ඕරමත්තකේන විසේසාධිගමේන අන්තරා වෝසානං ආපාදීති.” “මත්තෙහි කළ යුතු මාර්ගඵලාධිගමයන් ඇති කල්හිත් ස්වල්පමාත්‍ර වූ විශේෂ දහමක් ලැබීමෙන් අතරතුර (නොකළ කිස ඇතියේ ම) කළ කිස ඇතියෙමි යි සිතා හේ නිශ්චයට පැමිණියේ ය. ලෙසයි. වර්තමානයේ සාසනික වශයෙන් පවතින සංකීර්ණ වටපිටාව තුළ දහම් මග නාමයෙන් බොහෝ මිත්‍යා මාර්ගයන්, ප්‍රතිපදා, භාවනා ක්‍රමයන් පවතී. මෙම මාර්ගයන් වඩන්නවුන් යම් මිත්‍යා සමාධි තත්වයන්ද සාක්ෂාත් කරත්. මේ සඳහා උපදෙස් දෙන්නවුන් බොහෝ දෙනෙක් අරහත් ඵලය සාක්ෂාත් කල බව ව්‍යංගයෙන් හෝ සෘජුව හඟවමින් තම අනුගාමිකයන් පහදවා ගනිති. ඇතැමුන් මෙය සිදුකරන්නේ වංචනික අදහසකින් තොරව අවංකවමය. ථේරවාද ත්‍රිපිටක ධර්මය කෙරෙහි ප්‍රමාණාත්මක අවබෝධයකින් තොර බොහෝ අහිංසක සැදැහැවතුන් මෙම මාර්ගයන් අනුගමනය කරමින් යම් යම් භාවනා අද්දැකීම් ලබත්. මෙම හේතුවෙන් බොහෝ දෙනා ධ්‍යාන, අභිඥා, මගඵල සාක්ෂාත් කළ ලෙසට මුලාවට පත් වෙත්. එවිට කිසිසේත් ඔවුහු එම දෘෂ්ඨිය අත්හැරීමට සූදානම් නැත. සිදුවන්නේ එක් දෙයකි, එනම් තමන් හටත් තව බොහෝ දෙනා හටත් ගෞතම සම්බුදු සසුනේ ලැබිය හැකි යම් සැබෑ පිළිසරණක් වේද, එයට ක්‍රම ක්‍රමයෙන් වැටකඩුළු බැඳීමයි.

උභයේනමිදං මරණමේව – නාමරණං පච්ඡා වා පුරේ වා,
පටිපජ‍්ජථ මා විනස‍්සථ – ඛණෝ වෝ
මා උපච්චගා.

පසු හෝ පෙර හෝ දෙකල්හි ම මරණය ම වෙයි. නො මැරීමක් නැත්තේම වෙයි.

පිළිවෙත් පුරවු, නො වැනසෙවු, මේ ක්‍ෂණ සම්පත්තිය තොප ඉක්මවා නොයා වා!.

(සාරිපුත්ත ථේර ගාථා – ඛුද්දක නිකාය)

ධර්මාවබෝධය

      මහා පරිනිබ්බාන සූත්‍රයෙහි අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් විසින් සැදැහැ සිතින් මනා කොට පිරිය යුතු උතුම් සාසන ප්‍රතිපදාව ඉස්මතු කරමින් අප භාග්‍යවතුන් වහන්සේගේ අවසාන සම්මුඛී ශ්‍රාවකයන් වහන්සේ වූ සුභද්‍ර පරිබ්‍රාජකයන් හට මෙසේ වදාල සේක. ඉමේ ච සුභද්ද, භික්ඛූ සම්මා විහරෙය්‍යුං අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි අස්ස” “සුභද්‍රයෙනි, මේ මහණහු ද නිසි පරිදි වසන්නාහු නම් ලොව රහතුන් ගෙන් හිස් නො වන්නේය.” ගෞතම බුදු සසුනේ මනු ලොව අරහත් කල්‍යාණ වැට සිඳී ගියද වර්තමානයේදී පවා මනා සාසන පිළිවෙතෙහි යෙදීමටත් එහි පිළිසරණ ලැබීමටත් ඇති අවස්ථාව නොනැසී තබෙන බව සිහි තබා ගත යුතුය. 

      ඔක්කන්ති සංයුක්තයෙහි අප භාග්‍යවතුන් වහන්සේ සද්ධානුසාරි පුද්ගලයා හා ධම්මානුසාරී පුද්ගලයා පිළිබඳව හඳුන්වා තිබෙන්නේ මෙසේය. “යෝ භික්ඛවේ, ඉමේ ධම්මේ ඒවං සද්දහති අධිමුච්චති අයං වුච්චති සද්ධානුසාරි” “මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ හදහා ගනී ද, ශ්‍රද්ධාවෙහි බැස ගනීද මේ පුද්ගල තෙමේ සද්ධානුසාරී ය”  “යස්ස ඛෝ භික්ඛවේ, ඉමේ ධම්මා ඒවං පඤ්ඤාය මත්තසෝ නිජ්ඣානං ඛමන්ති, අයං වුච්චති ධම්මානුසාරි” “මහණෙනි, යමෙකු මේ ධර්මයන් ප්‍රඥාව තුළින් ප්‍රමාණවත් පරිදි අවබෝධ කරයි නම්, මේ පුද්ගල තෙමේ ධම්මානුසාරී ය”.  එසේම අප භාග්‍යවතුන් වහන්සේ සද්ධානුසාරී හා ධම්මානුසාරී ශ්‍රාවකයින්ගේ ධර්මාභිසමය පිළිබඳව මෙසේ වදාල සේක. … ඔක්කන්තෝ සම්මත්තනියාමං, සප්පුරිසභූමිං ඔක්කන්තෝ, වීතිවත්තෝ පුථුජ්ජනභූමිං, අභබ්බෝ තං කම්මං කාතුං, යං කම්මං කත්වා නිරයං වා තිරච්ඡානයෝනිං වා පෙත්තිවිසයං වා උප්පජ්ජෙය්‍ය, අභබ්බෝ ච තාව කාලං කාතුං යාව න සොතාපතතිඵලං සච්ඡිකරෝති” “…(ඔවුහු) ආර්යමාර්ගයට පිවිසියේ ය, සත්පුරුෂභූමියට බැසගත්තේ ය, පෘථග්ජන භූමිය ඉක්මවාලී ය, යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේතවිෂයෙහි හෝ උපදී නම් ඒ කර්මය කිරීමට අභව්‍ය ය, යම්තාක් සෝතාපත්තිඵලය පසක් නො කෙරේ ද ඒ තාක් කලුරිය කරන්නට ද අභව්‍ය යැයි කියනු ලැබේ.”

      අංගුත්තර නිකායේ සෝතානුධත සූත්‍රයෙහි “සෝතානුධතානං භික්ඛවේ ධම්මානං වචසා පරිචිතානං මනසානුපෙක්ඛිතානං දිට්ඨියා සුප්පටිවිද්ධානං චත්තාරෝ ආනිසංසා පාටිකඞ්ඛා” “මහණෙනි, කණින් අසා දරණ ලද වචනයෙන් පුරුදු කරන ලද සිතින් විමසන ලද ප්‍රඥාවෙන් අවබෝධ කරන ලද ධර්මයන්ගේ මේ සතර ආනිසංසයෝ කැමැති විය යුත්තාහ.” යැයි මනු ලොවදී මනා කොට ධර්මයෙහි හැසිරී මරණින් මතු සුගතියෙහි ඉපිද ධර්මය අවබෝධ කරන ආකාර සතරක් පිළිබඳ අප භාග්‍යවතුන් වහන්සේ වදාලහ.

      ඛුද්දක නිකායෙහි පෙටකෝපදේසයෙහි මෙසේ සඳහන් වේ. “ඉධේකච්චස්ස බහුස්සුතා ධම්මා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා, සෝ යුඤ්ජන්තෝ ඝටෙන්තෝ වායමන්තෝ දිට්ඨේව ධම්මේ විසේසං පප්පෝති. නෝ චේ දිට්ඨේව ධම්මේ විසේසං පප්පෝති, ගිලානෝ පප්පෝති. නෝ චේ ගිලානෝ පප්පෝති, මරණකාලසමයේ පප්පෝති. නෝ චේ මරණකාලසමයේ පප්පෝති, දේවභූතෝ පාපුණාති. නෝ චේ දේවභූතෝ පාපුණාති, තේන ධම්මරාගේන තාය ධම්මනන්දියා පච්චේකබෝධිං පාපුණාති.” “මේ සස්නෙහි ඇතැම් පුද්ගලයෙකු විසින් ධර්මයෝ බොහෝ කොට අසන ලද්දාහු වෙත්, වචනයෙන් පුහුණු කරන ලද්දාහු සිතින් විමසන ලද්දාහු නුවණින් ප්‍රතිවේධ කරන ලද්දාහු වෙත්. ඔහු යෝගයෙහි යෙදෙමින් ගැටෙමින් වෑයම් කරනුයේ මේ ජීවිතයේදීම විශේෂයට පැමිණෙයි, ඉදින් මේ ජීවිතයේදීම විශේෂයට නො පැමිණියේ නම් ගිලන් වූයේ පැමිණෙයි, ඉදින් ගිලන් වූයේ නො පැමිණියේ නම් මරණකාලයෙහි පැමිණෙයි, ඉදින් මරණකාලයෙහි නො පැමිණියේ නම් දෙව්ලොව ඉපිද පැමිණෙයි, ඉදින් දෙව්ලොව ඉපිද නො පැමිණේ නම් ඒ ධර්මරාගයෙන් ඒ ධර්මනන්දියෙන් පසේබුද්ධත්වයට පැමිණෙයි.”

      එසේම අතීත බුදු සසුන්හි මනාකොට පිළිවෙත් පුරා ගෞතම බුදු සසුනේ මහා අභිඥා සහිතව අරහත්වය සාක්ෂාත් කළ බොහෝ විස්තර ඛුද්දක නිකායෙහි අපදාන පාළියෙහි සඳහන් වේ. 

      එබැවින් අප භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධාවවාදයෙහි හික්මෙනු කැමැති සත්පුරුෂයන් විසින් මේ ජීවිතයේදීම සද්ධානුසාරි, ධම්මානුසාරි වෙමින් සක්කායදිට්ඨියෙන් මිදීමට වෑයම් කළ යුතුය. යම් හෙයකින් මගඵල සාක්ෂාත් කිරීමට අසමත් වුවහොත් බුද්ධාවවාදයෙහි හික්මීම නැමැති මහා කුසල සම්භාරය අනාගත ධර්මාවබෝධය පිණිස උපනිශ්‍රය වන වාසනා මහිමයක් වනු ඇත.

සත්තියා විය ඕමට්ඨෝ – ඩයිහමානෝව  මත්‍ථකේ,
සක‍්කායදිට්ඨිප්පහාණාය – සතෝ භික්ඛු පරිබ්බජේ

සැතෙකින් පහර ලද්දකු මෙන් ද, හිස දැවෙන්නකු මෙන් ද මහණ තෙමේ

සත්කායදිට්ඨි ප්‍රහාණය පිණිස සිහි ඇති ව වෙසෙන්නේ ය.

(සත්ති සූත්‍රය – දේවතා සංයුක්තය)

අභිධර්ම පිටකය

      ථේරවාද අභිධර්ම පිටකය බුද්ධභාෂිතයක්ද නැතහොත් එසේ නොවේද යන්න පිළිබඳව අනාදිමත් කලෙක සිට ලොවෙහි නොයෙක් මත භේදයන් පවතී. බුද්ධඝෝෂ ආචාර්යපාදයන් විසින් කරන ලද අත්ථසාලිනී ධම්මසංගනී ප්‍රකරණ අටුවාවෙහි අභිධර්මය බුද්ධභාෂිතයක්මයි යන්න ප්‍රකාශ කිරීමට විශාල උත්සාහයක් ගෙන තිබේ. එයින් වැටහෙන්නේ බුද්ධ වර්ෂ දහස පමණ වන පාළි අටුවා යුගයේදීද අභිධර්මය සම්බන්ධයෙන් මත භේද තිබූ බවයි. 

      අප භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයෙන් සත් වන වස් කාලයේදී ගන්ධබ්බ රුක්ඛ මූලයෙහි යමක මහා ප්‍රාතිහාර්යය සිදුකොට එහි ධර්ම දේශනා කොට තව්තිසා දෙව්ලොවට වැඩම කොට සක්දෙවිඳුන්ගේ පණ්ඩුකම්බල ශෛලාසනයෙහි වැඩහිඳ මාතෘ දිව්‍යරාජයා ප්‍රධාන දෙව් බඹුන් සමූහයා හට අභිධර්මය දෙසූ බවත්, භාග්‍යවතුන් වහන්සේගෙන් අභිධර්මය සැකෙවින් ඉගෙනගත් සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂූන් හට විස්තර ලෙස ඉගැන්වූ බවත් අත්ථසාලිනී අටුවාව සඳහන් කරයි. එසේම භාග්‍යවතුන් වහන්සේගේ අභිධර්ම දේශනාව සම්බන්ධයෙන් විශාල වර්ණනාත්මක විග්‍රහයක් අටුවා ග්‍රන්ථයන්හි දක්නට ලැබේ. මෙම වර්ණනාවන්හි තිබෙන ඇතැම් කාරණා ත්‍රිපිටකයෙහි සඳහන් කරුණු සමඟ සසඳමින් විවේචනය කරන්නා වූ ඇතැම් වියතුන් විසින් අභිධර්මය බුද්ධභාෂිතයක් නොවන බවත්, ධර්ම සංගායනාවන්හි සංගායනා නොවූ බවත්, පසුකාලීන සකස් කිරීමක් බවත් දක්වමින් අභිධර්මය සම්බන්ධයෙන් නොයෙක් සැක පහල කර තිබෙන බව බොහෝ දෙනා දන්නා කරුණකි. 

      එනමුත් ථේරවාද අභිධර්ම පිටකයෙහි සඳහන් ධර්මය වනාහි පිරිසිදු බුද්ධභාෂිතයක් බවටත්, ධර්මසංගායනාවන්හි සංගායනා වූ බවටත් ත්‍රිපිටකය තුලින්ම ප්‍රභල සාධක හමුවේ. 

      ♦ අප ගෞතම බුදුරජාණන් වහන්සේ අභිධර්මය දේශනා කළ බව පාළි අටුවාව සඳහන් කරන ආකාරයටම කෝණාගමන බුදුරජාණන් වහන්සේද අභිධර්මය නම් සප්ත ප්‍රකරණය දේශනා කළ බව ඛුද්දකනිකායෙහි බුද්ධවංසපාළියෙහි සඳහන් වන්නේ මෙසේය. 


පාටිහීරං කරොන්තේන ච – පරවාදප්පමද්දනේ
වීසතිකෝටිසහස්සානං – දුතියා’භිසමයෝ අහු

ඒ පරවාද මර්දනය කරන බුදු රජුන් යමාමහ පෙළහර කරන කල්හි කෝටි විසිදහසක් සත්වයන් හට දෙවන ධර්මාභිසමය විය.

තතෝ විකුබ්බනං කත්වා – ජිනෝ දේවපුරං ගතෝ
වසති තත්ථ සම්බුද්ධෝ – සිලායං පණ්ඩුකම්බලෙ

ඉක්බිති බුදුහු ඍද්ධි ප්‍රාතිහාර්යය පවත්වා දිව්‍ය පුරයට වැඩිසේක් එහි පණ්ඩුකම්බල ශෛලාසනයෙහි විසූ සේක.

පකරණේ සත්ත දේසෙන්තෝ – වස්සං වසති සෝ මුනි
දසකෝටිසහස්සානං – තතියා’භිසමයෝ අහු

ඒ බුදුහු සප්තප්‍රකරණයන් දේශනා කෙරෙමින් වස් විසූහ. එහි දී කෝටි දසදහසක් සත්වයන් හට තුන් වැනි ධර්මාභිසමය විය.

      ♦ එසේම විනය පිටකයෙහි පළමු ධර්මසංගායනාව පිළිබඳ සඳහන් වන පඤ්චසතිකක්ඛන්දකයෙහි උද්දාන ගාථාවන්හි මෙසේ සඳහන් වේ.


උපාලිං විනයං පුච්ඡි – සුත්තන්තානන්දපණ්ඩිතං
පිටකං තීණි සඞ්ගීතිං – අකංසු ජිනසාවකා.

උපාලි තෙරුන්ගෙන් විනය ද පණ්ඩිත ආනන්ද තෙරුන්ගෙන් සූත්‍රාන්තය ද විචාළහ. ජිනශ්‍රාවකයන් වහන්සේලා තුන් පිටකය සංගායනා කළහ.

      ♦ විනය පිටකයෙහි පරිවාර පාළියෙහි සමුට්ඨානයෙහි උද්දාන ගාථාවන්හි මෙසේ සඳහන් වේ.


තේ දේසයන්ති සද්ධම්මං – දුක්ඛහානිං සුඛාවහං
අඞ්ගිරසෝ සක්‍යමුනි – සබ්බභූතානුකම්පකෝ

ඒ බුදුරජාණන් වහන්සේලා දුක් නසන සැප එළවන ශ්‍රී සද්ධර්මය දෙසත්. විහිදෙන කාන්තිය ඇති, ශාක්‍යමුනි වූ, සියළු සත්ත්වයන් හට අනුකම්පා ඇති,

සබ්බසත්තුත්තමෝ සීහෝ – පිටකේ තීණි දේසයී
සුත්තන්තං අභිධම්මඤ්ච – විනයඤ්ච මහාගුණං 

සියළු සත්ත්වයන් හට උතුම් වූ සිහරජාණන් වහන්සේ මහා ගුණ ඇති සූත්‍රපිටකය ද අභිධර්මය ද විනය දැයි තුන් පිටකය දෙසූහ.

      ♦ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ සද්ධිවිහාරික රත්නය වූ අපගේ පූර්ව ගුරු දේවෝත්තම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිව සම්බුදු සසුන පිහිටුවා  ප්‍රකරණ සත නම් අභිධර්ම පිටකය සහිත තුන් පිටකයම ලක්දිව භික්ෂු සංඝයා වහන්සේ හට හැදෑරවූ බව විනය පිටකයෙහි පරිවාරපාළියෙහි මෙසේ සඳහන් වේ. මෙම විස්තරය පරිවාර පාළියට එක් කරන ලද්දේ නිසැකවම සිවු වන ධර්ම සංගායනාව පවත්වා තුන් පිටකය ග්‍රන්ථාරූඪ කල ලක්දිව සිංහල මහරහතන් වහන්සේලා විසින්ම බව සිතිය හැක. ඒ බව “ජම්බුදීපා ඉධාගතා” “දඹදිවින් මෙහි වැඩම කළහ” යන කොටසින් පැහැදිලි වේ.

කස්ස වචනන්ති : භගවතෝ වචනං අරහතෝ සම්මාසම්බුද්ධස්ස 

කවරෙක්හුගේ වචනයක්ද යත් : භාග්‍යවත් අරහත් සම්මාසම්බුද්ධයන් වහන්සේගේ වචනයි.

කෙනාභාතන්ති : පරම්පරාභතං 

කවරක්හු විසින් ගෙන එන ලද්දේද යත් : පරපුරෙන් ගෙන එන ලදී 

උපාලි දාසකෝ චේව – සෝණකෝ සිග්ගවෝ තථා
මොග්ගලිපුත්තෙන පඤ්චමා – ඒතේ ජම්බුසිරිව්හයේ
 

උපාලි ස්ථවිර ය, දාසක ස්ථවිර ය, සෝණක ස්ථවිර ය, එසේ ම සිග්ගව ස්ථවිර ය. මොග්ගලිපුත්තතිස්ස ස්ථවිර පස්වැනිකොට ඇති මේ තෙරවරු දඹදිව විනයධර පරපුරෙහි වෙත්.

තතෝ මහින්දෝ ඉට්ඨියෝ – උත්තියෝ චේව සම්බලෝ
භද්දනාමෝ ච පණ්ඩිතෝ
ඒතේ නාගා මහාපඤ්ඤා – ජම්බුදීපා ඉධාගතා
 

ඉක්බිති මහින්ද ය, ඉට්ඨිය ය, උත්තිය ය, සම්බල ය, පණ්ඩිත වූ භද්දනාම ය යන මහා නුවණැති මේ රහත්හු දඹදිවින් මෙහි වැඩියහ.

විනයං තෙ වාචයිංසු – පිටකං තම්බපණ්ණියා
නිකායෙ පඤ්ච වාචේසුං – සත්ත චේව පකරණේ.

ඔවුහු තම්බපණ්ණි නම් හෙළදිව විනයපිටකය හැදෑරවූහ. නිකාය පස ද ප්‍රකරණ සත ද හැදෑරවූහ. 

      ♦ අභිධර්ම පිටකයෙහි ධාතුකථාප්‍රකරණයෙහි උද්දාන ගාථාවන්හි මෙසේ සඳහන් වේ.

සංගහමසංගහං සම්පයෝග – විප්පයෝගං පරම්හි ච
ගම්භීරං නිපුණං ඨානං – තම්පි බුද්ධේන දේසිතං
සඞ්ගහිතේන අසඞ්ගහිතං – අසඞ්ගහිතේන ච සඞ්ගහිතං
සඞ්ගහිතේන සඞ්ගහිතං – අසඞ්ගහිතේන ච සඞ්ගහිතං
ගම්භීරං ධම්මං චතුසච්චගෝචරං – චතුප්පකාරං විභජි තථාගතො
සම්පයුත්තේන ච විප්පයුත්තං – විප්පයුත්තේන සම්පයුත්තං
සම්පයුත්තේන ච සම්පයුත්තං – විප්පයුත්තේන ච විප්පයුත්තං
රූපී අරූපී බහු ධම්මසංකුලං – විභාජි ධම්මං චතුධා තථාගතො

සංග්‍රහ අසංග්‍රහ සම්ප්‍රයෝග විප්‍රයෝග පද නිර්දේශයන් ඔබ්බෙහිද වූ ඒ ගාම්භීර වූද සියුම් වූද කරුණ බුදු රජුන් විසින් දේශනා කරන ලදී. සංගෘහිතයෙන් අසංගෘහිතයද, අසංගෘහිතයෙන්  සංගෘහිතයද, සංගෘහිතයෙන් සංගෘහිතයද, අසංගෘහිතයෙන්  අසංගෘහිතයද යන චතු සත්‍ය ගෝචර වූ ගම්භීර ධර්මය සතර ආකාරයකට තථාගතයන් වහන්සේ විභජනය කළ සේක. සම්ප්‍රයුක්තයෙන් විප්‍රයුක්තයද, විප්‍රයුක්තයෙන් සම්ප්‍රයුක්තයද, සම්ප්‍රයුක්තයෙන් සම්ප්‍රයුක්තයද, විප්‍රයුක්තයෙන් විප්‍රයුක්තයද ලෙස රූපී අරූපී බොහෝ ධර්මයන් ගැවසී ගත් ඒ ධර්මය සතර ආකාරයකට තථාගතයන් වහන්සේ විභජනය කළ සේක.

      ♦ විනය පිටකයෙහි මහා වග්ග පාළියෙහි මහා වර්ගයෙහි උද්දාන ගාථාවන්හි මෙසේ සඳහන් වේ.

පමුට්ඨම්හි ච සුත‍්තන‍්තේ – අභිධම්මේ ච තාවදේ
විනයේ අවිනට්ඨම්හි – පුන තිට්ඨති සාසනං.

සූත්‍රාන්තයන් පිරිහී ගියත් එසේ ම අභිධර්මය පිරිහී ගියත් විනය නො නැසී පවත්නා තාක් සාසනය පවත්නේ ය.

      ♦ එසේම මජ්ඣිම නිකායෙහි මහාඝෝසිංග සූත්‍ර දේශනාවද විනය පිටකයෙහි පාචිත්‍යපාළියෙහි භික්ඛු විභංගයෙහි විලේඛන ශික්ෂාපදය හා භික්ඛුණි විභංගයෙහි ද්වාදසම ශික්ෂාපදයද, ඛුද්දක නිකායෙහි මහානිද්දේසපාළි, චූලනිද්දේසපාළි, පටිසම්භිදාමග්ගය, නෙත්තිප්‍රකරණය වැනි ග්‍රන්ථ රත්නයන්හි සඳහන් අභිධර්ම කරුණුද අභිධර්මය වනාහි බුද්ධභාෂිතයක්ම බව සනාථ කිරීමට ප්‍රභල සාධක ලෙස දැක්විය හැකිය.

සුත්තන්තං අභිධම්මෝ ච – විනයෝ චා පි කේවලං,
නවඞ්ගං බුද්ධවචනං – එසා ධම්මසභා
තව.

සූත්‍රය අභිධර්මය විනයය යන සියලු නවාඞ්ගබුද්ධවචනය

(භාග්‍යවතුන් වහන්ස) ඔබ වහන්සේගේ දහම් නගරයෙහි ධර්මාධිකරණසභාව යි.

(උපාලි ථේරාපදානය – අපදානපාළි)

පාලි අටුවා

      මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට සම්බුදුසසුන ගෙන ඒමෙන් පසු වාචනා මාර්ගයෙන් ධරාගෙන පැමිණි සුපිරිසිදු ත්‍රිපිටක ධර්මය එලෙසම ලක්දිව බිහිවූ මහාවිහාර වංශික භික්ෂු සංඝයා හට වනපොත් කරවූ සේක. එහිදී ත්‍රිපිටක සම්බුද්ධ දේශනාවන්හි අර්ථකථා විස්තරයන් උගන්වන ලද්දේ හෙලබසිනි. එම අර්ථකථා විස්තරයන් පසු කලෙක පැරැණි සීහල අට්ඨකථා නමින් හඳුන්වන මහා අට්ඨකථා, කුරුන්දිය අට්ඨකථා, මහා පච්චරිය අට්ඨකථා ලෙස ලියැවී තිබේ. 

      ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වීමෙන් වසර තුන්සිය පනසක් පමණ ගතවූ කල අනුරාධපුර ලක්දිව රජකල මහාසේන රජුගේ රාජ්‍ය අනුග්‍රහය වෛතුල්‍ය වාදී මහායානිකයන් හට ලැබීම හේතුවෙන් මහායානිකයන් සතු ජේතවනය හා අභයගිරිය බලවත් වීමද ථේරවාද මූලස්ථානය වූ මහා විහාරය දුර්වල වීමද සිදු විය. රජු විසින් මහා විහාරය බිඳවා ථේරවාද භික්ෂූන් හට බොහෝ අකටයුතුකම් කරන ලද බව මහාවංශයෙහි සඳහන් වේ. මහාවිහාරය පසුකලෙක නැවත ප්‍රතිසංස්කරණය කරන ලදී.

      මෙයින් ශතවර්ෂාධික කාලයකට පසු මහායානික වෛතුල්‍ය මතයන් ලක්දිව බලවත් වෙමින් පැවති යුගයෙහි අනුරාධපුර මහානාම රජු කල දඹදිවින් ලක්දිවට වැඩම කල බුද්ධඝෝෂ ආචාර්යපාදයන් වහන්සේ මහාවිහාර වංශික ථේරවාද සාසනික ප්‍රතිපදාව ඉස්මතු කොට ලොව බොහෝ ජනයා හට දැනගැනීමට සැලැස්වීම පිණිස හෙළ බසින් ලියැවී තිබූ සීහල අට්ඨකථා පාලියට නැගීය. මෙහිදී උන්වහන්සේ ලක්දිව මහායානිකයන් අතර සම්භාවනාවට ලක්ව තිබූ විමුක්තිමග්ග නම් සංස්කෘත ග්‍රන්ථයෙහි සැකැස්ම අනුව යමින් ථේරවාද සීහල අට්ඨකථා අනුසාරයෙන් විසුද්ධිමග්ග නම් ග්‍රන්ථය රචනා කළහ. විසුද්ධිමග්ගය ථේරවාදීන් අතර මහත් සම්භාවනාවට ලක්වූ අතර එය ථේරවාදය නියෝජනය කරන මහාවිහාරික සංඝයා හට මහත් සවියක් විය. මහා විහාර වංශික ආරණ්‍යවාසි පැවිදි උපසම්පදාව හා සාසන ප්‍රතිපදාව වර්තමානය දක්වා ආරක්ෂා වී තිබීමට බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ සහ මහාවිහාර වංශික අටුවාචාරීන් වහන්සේලා සිදු කළ අමිල මෙහෙය සත්පුරුෂ සම්බුද්ධ ශ්‍රාවකයන් විසින් කෘතගුණ පූර්වකව සිහිපත් කළ යුතුය. අද අප හට දක්නට ලැබෙන්නේ බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ විසින් සකසන ලද විසුද්ධිමග්ගය සහ පාලි අට්ඨකථා ග්‍රන්ථයන්ය. අවාසනාවකට පැරැණි සීහල අට්ඨකථා ග්‍රන්ථයන් සියල්ල අභාවයට ගොස් තිබේ. පාලි අට්ඨකථාවන්හි වැඩිදුර අර්ථ විස්තරයන් සඳහා පොළොන්නරු යුගයේදී මහාවිහාර වංශික සංඝයා විසින් ටීකා ග්‍රන්ථ සකස් කරන ලදී.

      බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ පාලි අට්ඨකථා සකස් කළ ආකාරය උන්වහන්සේ ලක්දිවට වැඩම කොට විසුද්ධිමග්ගයට පසුව සකස් කරන ලද සමන්තපාසාදිකා විනය අට්ඨකථාවෙහි මෙසේ සඳහන් කර තිබේ.

බුද්ධේන ධම්මෝ විනයෝ ච වුත්තෝ – යෝ තස්ස පුත්තේහි තථේව ඤාතෝ 

සෝ යේහි තේසං මතිමච්චජන්තා – යස්මා පුරේ අට්ඨකථා අකංසු 

බුදු රජුන් විසින් යම් ධර්මයක්ද විනයක්ද දේශනා කරන ලද්දේද,

ඒ ධර්ම විනය යම් ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේලා විසින් එසේම අවබෝධ කළ සේක් ද,

යම් හෙයකින් උන්වහන්සේලාගේ අදහස වෙනස් නොකොට පෙර (සීහල) අටුවාවන් කළාහුද

තස්මා හි යං අට්ඨකථාසු වුත්තං – තං වජ්ජයිත්වාන පමාදලේඛං

සබ්බම්පි සික්ඛාසු සගාරවානං – යස්මා පමාණං ඉධ පණ්ඩිතානං

එම නිසාම, (සීහල) අට්ඨකථාවන්හි යමක් කියන ලද්දේද, එය ප්‍රමාදපාඨ හැරපියා,

මේ ශාසනයෙහි ශික්ෂාවන්හි ගෞරව සහිත වූ පණ්ඩිතයන්ට ඒ සියල්ලත් යම්හෙයකින් ප්‍රමාණවේද,

තතො ච භාසන්තරමෙව හිත්‍වා – විත්‍ථාරමග්ගඤ්ච සමාසයිත්‍වා,

විනිච්ඡයං සබ්බමස්සෙයිත්‍වා – තනිතික්කමං කඤ්චි අවොක්කමිත්‍වා

ඒ සීහල අටුවාවෙන්, සිංහල භාෂාව පමණක්ම බැහැර කොට, විස්තාර මාර්ගයද ඇසුරු කොට,

සියලු විනිශ්චය ඉතිරි නොකොට, කිසිදු පාලි ක්‍රමයක් නොඉක්මවා

      එනම් බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ පාලි අටුවාවන් සකස් කරන විට පැරණි සීහල අටුවාවන්හි තිබූ යම් ප්‍රමාදපාඨයන් හැරපියූ බව මෙයින් පැහැදිලි වේ. 

      අපගේ ආදි ගුරු දේවෝත්තම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගෙන් අපහට දායාද වූ ත්‍රිපිටක අර්ථ විස්තරයන්ගේ සාරය පාලි අට්ඨකථා තුල ගැබ්වී තිබෙන බව සත්‍යයකි. එනම් පාලි අට්ඨකථා තුල බුද්ධභාෂිත හා අරහත් භාෂිත ගැබ්වී තිබේ. එසේම රහතන් වහන්සේලාගේ යුගයට පසුකාලිනව ථේරවාද සම්ප්‍රදාය තුල බිහිවූ ආචාර්යයන් වහන්සේලාගේ ධර්මවිග්‍රහයන්ද පාලි අට්ඨකථා තුල සඳහන් වන බව පිළිගත යුතුය. ත්‍රිපිටක ධර්මයෙහි අර්ථ වටහා ගැනීමේදී පාලි අටුවා ග්‍රන්ථයන් අත්‍යාවශ්‍ය වන අවස්ථා බොහෝ සෙයින් තිබේ. මෙයට ප්‍රකට නිදසුනක් ලෙස ඛුද්දක නිකායෙහි ජාතක පාළියෙහි හා ධම්මපදයෙහි පසුබිම් කථා විස්තර ඇතුලත් ජාතක අට්ඨකථාව සහ ධම්මපද අට්ඨකථාව ගත හැකිය. නමුත් මධ්‍යස්ථව ධර්ම විනය පරිශීලනය කරන්නෙකුට පාලි අටුවා ග්‍රන්ථයන්හි සඳහන් කරුණු පිළිගැනීමේදී අප භාග්‍යවතුන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයෙහි සතර මහාපදේශයන්හි වදාල “සුත්තේ ඕතාරේතබ්බා විනයේ සන්දස්සේතබ්බා” “සූත්‍රයෙහි බහා බැලිය යුත්තේය, විනයෙහි සැසඳිය යුත්තේය” යන ආකාරයට රහතුන්ගේ යුගයෙහි ග්‍රන්ථාරූඪ වූ සුපිරිසිදු ත්‍රිපිටක ධර්මයටම ගලපා බලා පමණක් පිළිගත යුත්තේය. යම් හෙයකින් ත්‍රිපිටක ධර්මය හා නොගැලපේ නම් නිට්ඨමෙත්ථ ගන්තබ්බං : අද්ධා ඉදං න චේව තස්ස භගවතෝ වචනං අරහතෝ සම්මාසම්බුද්ධස්ස. ඉමස්ස ච භික්ඛුනෝ දුග්ගහීතනති. ඉති හිදං භික්ඛවේ ඡඩ්ඪෙය්‍යාථ.” “මෙහි ලා මෙසේ නිශ්චයට යා යුතුය: ‘ඒකාන්තයෙන් මෙය අරහත් සම්මා සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේගේ වචනය නො වෙයි. මේ මහණහු විසින් වරදවා ගන්නා ලද්දෙකැ’යි. මහණෙනි, මෙසේ මෙම භාෂිතය හැර පියව.”

අනත්‍ථං පරිවජ‍්ජෙති – අත්‍ථං ගණ‍්හාති පණ‍්ඩිතො
අත්‍ථාභිසමයා ධීරො – පණ‍්ඩිතොති පවුච‍්චතීති

පණ්ඩිත මහණ අනර්‍ත්‍ථය හරණේ ය. අර්‍ත්‍ථය ගන්නේ ය.

අර්‍ත්‍ථ සමාගමයෙන් ධීර වූ ඒ මහණ පණ්ඩිතය යි කියනු ලැබේ.

(පඤ‍්හව්‍යාකරණ සූත්‍රය -අංගුත්තර නිකාය)

භාවනාව

    අප භාග්‍යවතුන් වහන්සේ ලෝක සත්ත්වයා හට සසර දුකින් මිදීම පිණිස අකුසල් ප්‍රහාණයටත් කුසල් උපදවා ගැනිමටත් සතර සතිපට්ඨානය දේශනා කොට වදාල සේක. සතර සතිපට්ඨානය තුළ සිහිය පිහිටුවා රාගාදී කෙලෙස් දුරු කිරීම සමථය ලෙසටත් සතර සතිපට්ඨානය තුළ ප්‍රඥාව දියුණු කොට යථාභූත ස්වභාවය අවබෝධ කිරීම විපස්සනාව ලෙසටත් දේශනා කළ අප භාග්‍යවතුන් වහන්සේ සමථයත් විපස්සනාවත් භාවනා වශයෙන් වැඩිය යුතු බව වදාලහ. “සමථෝ භික්ඛවෙ භාවිතෝ කමත්ථමනුභෝති? චිත්තං භාවීයති. චිත්තං භාවිතං කමත්ථමනුභෝති? යෝ රාගො, සෝ පහීයති. විපස්සනා භික්ඛවෙ භාවිතා කමත්ථමනුභෝති? පඤ්ඤා භාවීයති. පඤ්ඤා භාවිතා කමත්ථමනුභෝති? යා අවිජ‍්ජා, සා පහීයති.” “මහණෙනි, සමථය වඩන ලද්දේ කිනම් අර්ථයක් සපයයි ද? චිත්තය වැඩෙයි. වැඩුනු සිත කිනම් අර්ථයක් සපයා ද? යම් රාගයෙක් වේ නම්, එය ප්‍රහීණ වේ. මහණෙනි, විදර්ශනාව වඩන ලද්දී කිනම් අර්ථයක් සපයා ද? ප්‍රඥාව වැඩෙයි. වැඩුනු ප්‍රඥාව කිනම් අර්ථයක් සපයා ද? යම් අවිද්‍යායෙක් වේ නම් එය ප්‍රහීණ වේ.” 

      සතර සතිපට්ඨානය, භාවනාව හා ධ්‍යාන පිළිබඳව ථේරවාද ත්‍රිපිටක ධර්මය තුල බොහෝ විස්තර සඳහන්වේ. විශේෂයෙන් මහා සතිපට්ඨාන සූත්‍රය, සතිපට්ඨාන සංයුක්තය, ආනාපානසති සංයුක්තය, ඣාන සංයුක්තය,  පටිසම්භිදාමග්ගයෙහි ආනාපානසති කථා, යුගනද්ධ කථා, සතිපට්ඨාන කථා, විපස්සනා කථා, විභංගප්‍රකරණයෙහි සතිපට්ඨාන විභංගය, ඣාන විභංගය ආදී භාවනාව සම්බන්ධයෙන් වූ බොහෝ විස්තර ථේරවාද ත්‍රිපිටකයෙහි අන්තර්ගතය.  

      නමුත් වර්තමාන ලෝකයෙහි භාවනාව වශයෙන් ප්‍රගුණ කරන්නේ ථේරවාද ත්‍රිපිටකයෙහි අප භාග්‍යවතුන් වහන්සේ වදාල සතිපට්ඨාන ක්‍රමය පමණක්ම නොවේ. මහායානික ශූන්‍යතා දර්ශණය හා සම්බන්ධ සියළු අරමුණු වලින් මිදී ලබන සමාධි ස්වභාවයන් පිලිබඳ උගන්වන බොහෝ භාවනා ක්‍රමයන් බෞද්ධ භාවනා ක්‍රම නාමයෙන් ලෝකයෙහි පවතී. එලෙසෙම භාවනාව තුල සිතෙහි ඇතිවන ආලෝක නිමිත්තක් තුලට බැස ගනිමින් ඒ තුලින් ගැඹුරු සමාධියක් ලබා ගැනීම පිලිබඳව උගන්වන භාවනා මධ්‍යස්ථාන ලොව ඇත. එසේම පාලි අටුවා ග්‍රන්ථයන් හා විශේෂයෙන් අභිධර්ම ටීකා ග්‍රන්ථයන් පාදක කර ගනිමින් ථේරවාද භාවනා ක්‍රම ලෙස උගන්වන ශුෂ්ක විදර්ශනා භාවනාද නාම කර්මස්ථානය හා රූප කර්මස්ථානය ලෙස වෙන වෙනම නාමරූප වෙන්කරමින් ප්‍රගුණ කරන විදර්ශනා භාවනාවන්ද ලොවෙහි දක්නට ලැබේ. සත්‍ය වශයෙන්ම තිබෙන්නේ පරමාර්ථ ධර්මයන් පමණක් බවත් සත්වයෙක් පුද්ගලයෙක් නැති බවත් අවබෝධ කරමින් “මම” නැතිකිරීම පිණිස මග පෙන්වන භාවනා ක්‍රම ලොව තිබේ. 

      ඇතැම් භාවනා ගුරුවරුන් ගෙන් කමටහන් ලබා ගැනීමේදී එම ගුරුවරයාගේ තීරණය පරිදි ශිෂ්‍යයාට ගැලපෙන කොටසක් පමණක් භාවනා උපදෙස් ලෙස දෙනු ලැබේ. ඊළඟ කොටස උගන්වනු ලැබෙන්නේ මුලින් ලබාදුන් භාවනා කමටහන සම්පූර්ණ කිරීමෙන් පසුවය. මෙහිදී ශිෂ්‍යයා හට එම භාවනා ක්‍රමය තථාගත ධර්ම විනයට ගැලපේද නොවේද යන්න තීරණය කිරීම සඳහා දීර්ඝ කාලයක් ගතවේ. විසිපස් වසරක් පමණ කාලයකුත් එබඳු කමටහන් ගුරුවරුන් ඇසුරු කර, පසු කලෙක එම භාවනා මාර්ගය පිළිබඳ සැක ඇතිවී වෙනත් මඟක් සොයන සුපේශල ශික්ෂාකාමී මහා ථේර භික්ෂූන් වහන්සේලා පවා ලක්දිව වත්මන් ආරණ්‍යවාසී සම්ප්‍රදාය තුල වැඩසිටින බව දන්නෝ දනිති.

      විසුද්ධිමග්ගය හා පාලි අටුවාවන් මඟින් මහා විහාර වංශික භාවනා සම්ප්‍රදාය පිලිබඳ යම් අභාෂයක් ගත හැකිය. නමුත් අචින්තනීය වූ ඣාන විෂයට අයත් භාවනාව සම්බන්ධයෙන් වර්තමානයෙහි තිබෙන සංකීර්ණ වටපිටාව හේතුවෙන් සෑම විටම සතරමහාපදේශය අනුව ත්‍රිපිටක බුද්ධ වචනය හා ගලපා පමණක් භාවනාව ප්‍රගුණ කළයුතු බව අපගේ අදහසයි!

යං බුද්ධෝ භාසති වාචං – ඛේමං නිබ්බානපත්තියා

දුක්ඛස්සන්තකිරියාය – සා වේ වාචානමුත්තමාති

නිර්වාණ ප්‍රාප්තිය සඳහා ද සංසාර දුක්ඛයා ගේ අන්තකරණය සඳහා ද යම් නිරුපද්‍ර වූ වචනයක් බුදුරජානන් වහන්සේ වදාරත් නම් ඒකාන්තයෙන් එය වචනයන් අතුරෙහි උත්තම වන්නේය.

(සුභාසිත සූත්‍රය – සුත්තනිපාතය)

සම්මා දිට්ඨිය

      අප භාග්‍යවතුන් වහන්සේ නිවන් මගෙහි මූලිකම අංගයක් වූ සම්මා දිට්ඨිය කර්ම-කර්මඵල පිළිගැනීමේ සිට සත්‍යඥාන, කෘත්‍යඥාන හා කෘතඥාන ලෙසට වන චතුරාර්ය සත්‍යාවබෝධය දක්වා නොයෙක් පරියායන්ගෙන් විස්තර කළ සේක. මජ්ඣිම නිකායෙහි මහා චත්තාරීසක සූත්‍රයෙහි “තත්‍ර භික්ඛවේ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හෝති.” “එහිදී මහණෙනි සම්මා දිට්ඨිය පූර්ව අංගය වන්නේය.” ලෙස මුළු මහත් ආර්ය මාර්ගය පුරාවටම සම්මා දිට්ඨිය මුල් වන ආකාරය පෙන්වා වදාලහ. එසේම ප්‍රඥා ස්කන්ධයෙහිලා සංග්‍රහ වන සම්මා දිට්ඨිය පිළිබඳව නිද්දේස පාළියෙහිත් අභිධර්ම පිටකයෙහිත් බොහෝ තැන වල සඳහන් වන්නේ මෙසේය. එනම් “තත්‍ථ කතමා සම්මාදිට්ඨි: යා පඤ්ඤා පජානනා සල්ලකඛණා උපලක්ඛණා පච්චුපලකඛණා පණ්ඩිච්චං කෝසල්ලං නේපුඤ්ඤං වේභව්‍යා චින්තා උපපරික්ඛා භූරි මේධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතෝදෝ පඤ්ඤා පඤ්ඤින්ද්‍රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදෝ පඤ්ඤාආලෝකෝ පඤ්ඤාඕභාසෝ පඤ්ඤාපජ්ජෝතෝ පඤ්ඤාරතනං අමෝහෝ ධම්මවිචයෝ සම්මාදිට්ඨි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගෝ මග්ගඞ්ගං මග්ගපරියාපන්නං. අයං වුච්චති සම්මාදිට්ඨි.” “එහි සම්මාදිට්ඨිය යනු කවරේද: යම් ප්‍රඥායෙක්, නුවණින් දැනගැනීමක්, විමසීමක්, ගැඹුරින් විමසීමක්, ධර්මය විමසීමක්, ලක්ෂණ සළකා බැලීමක්, හේතු ලක්ෂණ සළකා බැලීමක්, හේතු ප්‍රත්‍ය ලක්ෂණ සළකා බැලීමක්, පණ්ඩිත බවක්, කුසලතා ඇති බවක්, නිපුණ බවක්, ගැඹුරින් සිතා බැලීමක්, චින්තාවක්, ගැඹුරින් පරීක්ෂා කර බැලීමක්, ගැඹුරු නුවණක්, තියුණු නුවණක්, මග පෙන්වන ප්‍රඥාවක්, විපස්සනාවක්, සම්මාඥානයක්, කෙවිටකින් මෙන් සංවේගය ඇති කරන්නක්, ප්‍රඥාවක්, ප්‍රඥාඉන්‍ද්‍රියයක්, ප්‍රඥාබලයක්, ප්‍රඥාආවුධයක්, ප්‍රඥාප්‍රාසාදයක් ප්‍රඥාලෝකයක් ප්‍රඥාඕභාසයක්, ප්‍රඥාබැබලීමක්, ප්‍රඥාරත්නයක්, අමෝහයක්, සිව්සස් දහම් විමසීමක්, සම්‍යග්දෘෂ්ටියක්, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගයක්, ආර්ය මාර්ග අංගයක්, ආර්ය මාර්ගයෙහි ඇතුලත් වූවක් වේ ද, මෙය ‘සම්මාදිට්ඨි’ යැයි කියනු ලැබේ.” එහි අර්ථය නම් සම්මාදිට්ඨිය යනු වෙනත් පරියායකින් ප්‍රඥාවමැයි. එසේම විපස්සනාව යන්නද සම්මාදිට්ඨිය පිණිස පරියාය වචනයක් ලෙස යෙදී තිබෙන බව හොඳින් වටහාගත යුතුය.

      ආලවක සූත්‍රයෙහි “කථංසු ලභතේ පඤ්ඤං?” “ප්‍රඥාව ලබන්නේ කෙසේද?” යන ප්‍රශ්නයට අප භාග්‍යවතුන් වහන්සේ වදාලේ “සද්දහානෝ අරහතං ධම්මං නිබ්බාන පත්තියා සුස්සූසා ලභතේ පඤ්ඤං අප්පමත්තෝ විචක්ඛණෝ” “අමා නිවන කරා පමුණුවන රහතුන්ගේ ධර්මය මනාකොට අසා අප්‍රමාදීව එම ධර්මය විචක්ෂණය කිරීමෙන් ප්‍රඥාව ලබයි” ලෙසයි. 

      එසේම බහුශ්‍රැත බව විස්තර කිරීමේදී අප භාග්‍යවතුන් වහන්සේ “තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා” “එබඳු වූ ශ්‍රී සද්ධර්මය බොහෝ කොට අසා ඇත්තේ වේ, ධාරණය කොට ඇත්තේ වේ, වචනයෙන් පුහුණු කොට ඇත්තේ වේ, මනසින් එහි අරුත් දැක ඇත්තේ වේ, දෘෂ්ඨියෙන් ප්‍රතිවේද කොට ඇත්තේ වේ” ලෙස තථාගත ශ්‍රී සද්ධර්මය මනා කොට ඉගෙන එහි අරුත් විමසා ප්‍රඥා දැක්මෙන් ප්‍රතිවේද කිරීම පිළිබඳ වදාල සේක.

      තවද අංගුත්තර නිකායෙහි අනුග්ගහීත සූත්‍රයෙහි “සීලය, ශ්‍රැතය, ධර්ම සාකච්ඡාව, සමථය හා විපස්සනාව” යන ධර්මයන්ගෙන් අනුග්‍රහ ලැබූ සම්මාදිට්ඨිය චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් පිණිස පවතින බව දේශනා කළහ.

      එසේම අංගුත්තර නිකායෙහි අවිජ්ජා සූත්‍රයෙහි අප භාග්‍යවතුන් වහන්සේ යෝනිසෝමනසිකාරය පිණිස තිබෙන ආහාරය පිළිබඳව මෙසේ වදාල සේක. “ඉති ඛෝ භික්ඛවේ සප්පුරිසසංසේවෝ පරිපූරෝ සද්ධම්මසවනං පරිපූරේති. සද්ධම්මසවනං පරිපූරං සද්ධං පරිපූරේති, සද්ධා පරිපූරා යෝනිසෝමනසිකාරං පරිපූරේති.” “මෙසේ මහණෙනි සත්පුරුෂයන් ඇසුරු කිරීම පරිපූර්ණ වීමෙන් සද්ධර්ම ශ්‍රවණය පරිපූර්ණ වෙයි. සද්ධර්ම ශ්‍රවණය පරිපූර්ණ වීමෙන් ශ්‍රද්ධාව පරිපූර්ණ වෙයි. ශ්‍රද්ධාව පරිපූර්ණ වීමෙන් යෝනිසෝමනසිකාරය පරිපූර්ණ වෙයි.” යෝනිසෝ යනු ‘නුවණින්’ යනුයි. එනම් යම් මනසිකාරයක් යෝනිසෝමනසිකාරය බවට පත්වන්නේ සත්පුරුෂ කල්‍යාණමිත්‍ර ඇසුර තුළ තථාගත ශ්‍රී සද්ධර්මය මනාකොට ශ්‍රවණය කර ශ්‍රද්ධාවෙන් යුතුව එම ධර්මය මෙනෙහි කිරීමෙන්ය.

      මේ සියළු කරුණු වලින් පැහැදිලි වන්නේ ධර්මාවබෝධය පිණිස තථාගත ශ්‍රී සද්ධර්මය මනාකොට ඉගෙනීම අත්‍යාවශ්‍ය බවයි. එසේම විපස්සනාව දියුණු වීම පිණිසත් එය සෘජුවම උපකාර වන්නේය. කෙටියෙන් කියතහොත් යමෙක් සම්බුද්ධ දේශනාවේ සඳහන් ආකාරයෙන් තොරව අවබෝධයක් හෝ විදර්ශනාවක් හෝ විමුක්ති මාර්ගයක් හෝ විස්තර කරන්නේ නම් එය හිස් ප්‍රලාඵයක් පමණි. 

      බොහෝ විට වර්තමානයෙහි සිදුවන්නේ යාන්තමින් දහම් කොටස් කිහිපයක් උගෙන කමටහන් ගුරුවරයෙකුගේ උපදෙස් පරිදි හුදු භාවනා වැඩීමකින් පමණක් අවබෝධයක් ලැබීමට උත්සාහ කිරීමයි. එසේ නැතහොත් අටුවා ටීකා හා වෙනත් පසුකාලීන ග්‍රන්ථ මත පදනම්ව ධර්මය වටහා ගැනීමට උත්සාහ කිරීමයි. මෙහිදී බහුශ්‍රැතබවින් ලැබිය යුතු අනුග්‍රහය නියමාකාර ලෙස නොලැබෙන හෙයින් බොහෝ දෙනා නොදැනීම පාහේ ධර්මාවබෝධය නාමයෙන් මිත්‍යා මතයන් තුලට බැසගැනීම සිදුවේ. මේ අනතුරින් අත්මිදීමට නම් උතුම් නාථකරණ ධර්මයක් වන බහුශ්‍රැතබව පිහිට කරගත යුත්තේමය. මනුෂ්‍ය වර්ගයාට තිබෙන මාණික්‍යය ලෙස හඳුන්වන ප්‍රඥාව සුතමය ප්‍රඥා, චින්තාමය ප්‍රඥා හා භාවනාමය ප්‍රඥා ලෙස තුන් ආකාරයකට අප භාග්‍යවතුන් වහන්සේ බෙදා දැක්වූ සේක. මෙහිදී භාවනාමය වශයෙන් ප්‍රඥාව දියුණු වීමට නම්, තථාගත ශ්‍රී සද්ධර්මය ඉගෙනීමෙන් ලැබෙන සුතමය ප්‍රඥාවත්, එසේ ඉගෙනගත් ධර්මය නුවණින් විමසීමෙන් ලැබෙන චින්තාමය ප්‍රඥාවත් අත්‍යවශ්‍ය බව වටහා ගැනීම ඉතා වැදගත් වේ.

      අප භාග්‍යවතුන් වහන්සේ සංයුක්ත නිකායෙහි අච්ඡරා සූත්‍රයෙහි මෙසේ වදාල සේක.

උජුකෝ නාම සෝ මග්ගෝ – අභයා නාම සා දිසා,

රථෝ අකූජනෝ නාම – ධම්මචක්කේහි සංයුතෝ

උජුක නම් වූ සෘජු මගක් ඇත්තේය. නිර්භය බව නමැති දිශාවට ඒ මග යොමුවී තිබේ.

නිහඬ හෙයින් අකූජන නම් රථයක් ඇත්තේය. එහි රෝද සකසා තිබෙන්නේ චතුරාර්ය සත්‍යාවබෝධය නම් ධර්මචක්‍රයන්ගෙනි.

හිරි තස්ස අපාලම්බෝ – සතස‍්ස පරිවාරණං

ධම්මාහං සාරථිං බ්‍රූමි – සම්මාදිට්ඨිපුරේජවං

හිරිඔතප් යනු ඒ රථයේ වැතිර ගන්නා පුවරුය. සිහිය යනු ඒ රථයේ සැරසිල්ලයි.

සම්මාදිට්ඨිය පෙරටු කොටගත් ධර්මය ඒ රථයේ රියදුරා යැයි මම කියමි.

යස්ස ඒතාදිසං යානං – ඉත්‍ථියා පුරිසස්ස වා

ස වේ ඒතේන යානේන – නිබ්බාණස්සේව සන්තිකේති.

යම් ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ මෙබඳු යානයෙක් වේ නම්

හෙතෙමේ ඒකාන්තයෙන් මේ යානයෙන් නිවන සමීපයටම යන්නේය.

      රථයෙහි රථාචාරියා මත එම රථයෙහි ගමන් මග තීරණය වේ. එමෙන්ම යමෙකුගේ දැක්ම මත ඔහුගේ ගමන් මග තීරණය වේ. දැක්ම දෝස් සහිතද, ඔහුගේ ගමන් මගද දොස් සහිත වන්නේය. ගමන් මග දොස් සහිතද, ගමනාන්තයද දොස් සහිත වන්නේය. නිවැරදි දහම් මග ලෙසට නානාප්‍රකාර මතවාදයන් කතාබහ වන වත්මන් ලෝකයෙහි සැබෑම නිවන් මග තෝරා බේරා ගැනීම කිරිත් දියත් වෙන් කර ගන්නා කොස්වාලිහිණියෙකු සෙයින් ඉතා ප්‍රවේශමෙන් කළ යුතු දුෂ්කර කර්තව්‍යයකි. මේ සඳහා ථේරවාද ත්‍රිපිටක ධර්මය පිලිබඳවත්, පාලි භාෂාව පිලිබඳවත්, ථේරවාද නොවන මතවාද සම්බන්ධවත්, ශාසන ඉතිහාසය පිළිබඳවත් මනා දැනුමක් අත්‍යවශ්‍ය වේ.

      ඉහත ඉදිරිපත් කරන ලද්දේ අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් ධර්ම විනය තුල මග නොමග හඳුනා ගැනීම පිළිබඳ අපගේ දැක්මයි. ගෝතමචේතිය ථේරවාද බෞද්ධ සංසදය මගින් සිදුකරනු ලබන සදහම් සේවයට මෙම දැක්ම පදනම වන්නේය.

f.da;ufÉ;sh f:Arjdo fn!oaO ixiofha ks¾ud;D iy m%Odk wkqYdil
mQcH ms<shkao, uyskaoúch iajdóka jykafia

භද්දකේන ච සීලේන – භද්දිකාය ච දිට්ඨියා

එතේහි ද්වීහි ධම්මේහි – යෝ සමන්නාගතෝ නරෝ

කායස්ස භේදා සප්පඤ්ඤෝ – සග්ගං සෝ උපපජ්ජති

යහපත් වූ සීලයෙන් ද යහපත් වූ දෘෂ්ටියෙන් ද, යන මේ කරුණු දෙකින් යුක්ත වූ යම් මනුෂ්‍යයෙක් වේ ද,

ඒ නුවණැති පුද්ගල තෙමේ මරණින් මතු සුගතියෙහි උපදී.

(භද්දකසීල සූත්‍රය – ඉතිවුත්තකපාළි)