MonksWalking

ථේරවාදයෙන් මහායානය වෙන් වූ අයුරු

කතෘ: පූජ්‍ය පිළියන්දල මහින්දවිජය හිමි

හැඳින්වීම

මනුස‍්සලාභං ලද‍්ධාන සද‍්ධම‍්මෙ සුප‍්පවෙදිතෙ,

යෙ ඛණං නාධිගච‍්ඡන‍්ති අතිනාමෙන‍්ති තෙ ඛණං.

යම් කෙනෙක් මනුෂ්‍යාත්ම භාවය ලැබ මැනැවින් දෙසූ සදහම්හි ක්ෂණ සම්පත්තිය නො ලබත් ද, ඔහු එම ක්‍ෂණය ඉක්මවා යෙත්.

බහූ හි අක‍්ඛණා වුත‍්තා මග‍්ගස‍්ස අන‍්තරායිකා,

කදාචි කරහචි ලොකෙ උප‍්පජ‍්ජන‍්ති තථාගතා.

මිනිසත් බව ලැබීම ද සදහම් දෙසීම ද යන යමක් ලොව අතිශය දුර්‍ලභ වේ ද, මෙය ඔහුට හමු විය. එහි ලා හිත කැමති මිනිසා විසින් වෑයම් කිරීමට සුදුසු ය. (අංගුත්තර නිකාය 4, 2006, p. 132)

සංසාර ගත සත්වයන් හට ලොවෙහි ඉතා දුර්ලභව පහල වන සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ සාසනයකදී පමණක් මුණගැහෙන උතුම් නිවන් මග දියුණු කිරීමට ලැබෙන්නේ කුඩා ක්ෂණයක් වැනි ඉතාමත් අල්ප අවස්ථාවක් බව සම්බුද්ධ දේශනා අධ්‍යනය කිරීමේදී පෙනී යයි. එම නිසා භාග්‍යවතුන් වහන්සේ “යං භික‍්ඛවෙ සත්‍ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම‍්පකෙන අනුකම‍්පං උපාදාය, කතං වො තං මයා එතානි භික‍්ඛවෙ රුක‍්ඛමූලානි එතානි සුඤ‍්ඤාගාරානි. ඣායථ භික‍්ඛවෙ, මා පමාදත්‍ථ, මා පච‍්ඡා විප‍්පටිසාරිනො අහුවත්‍ථ. අයං ඛො අම‍්හාකං අනුසාසනී.” “මහණෙනි, ශ්‍රාවකයනට හිත කැමැති අනුකම්පා ඇති ශාස්තෘවරයකු විසින් අනුකම්පාවෙන් යමක් කළයුතු ද, එය මා විසින් තොපට කරනලදි. මහණෙනි, තෙල වෘක්‍ෂමූලයෝ ය, තෙල ශුන්‍යාගාරයෝ ය. මහණෙනි, ධ්‍යාන කරවු. නොපමාවවු. පසුව විපිළිසර නොවවු මේ තොපට අපගේ අනුශාසනා යි.” (මජ්ඣිම නිකාය 1, 2006, p. 298) ලෙස නොයෙක් අවස්ථාවල අප්‍රමාදීව ධර්මය ප්‍රගුණ කළ යුතු බව දේශනා කළහ. මෙහි “පසුව විපිළිසර නොවවු” ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කිරීමට හේතු වූ කරුණක් ලෙස සිතිය හැක්කේ කාලයත් සමඟ ධර්මය ප්‍රගුණ කිරීමට සුදුසු පරිසරය ක්‍රම ක්‍රමයෙන් ලොවින් අතුරුදන් වීමයි. මෙය සද්ධර්මය අතුරුදන් වීම ලෙස ත්‍රිපිටකයෙහි බොහෝ අවස්ථා වල භාග්‍යවතුන් වහන්සේ දේශනා කර තිබෙන අතර ඊට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස් අතර ඇතිවූ නොයෙක් පරිහානිකර කාරණා බලපා තිබෙන බව ත්‍රිපිටකය අධ්‍යනය කිරීමේදී දැකිය හැකිය. 

සංයුක්ත නිකායෙහි සද්ධම්මපතිරූපක සූත්‍රයෙහි සද්ධර්මය වේශයෙන් අසද්ධර්මය දේශනා කරන පුද්ගලයන් මෙම සම්බුදු සසුන තුළම පහල වන බව භාග්‍යවතුන් වහන්සේ “අථ ඛො ඉධෙව තෙ උප‍්පජ‍්ජන‍්ති මොඝපුරිසා යෙ ඉමං සද‍්ධම‍්මං අන‍්තරධාපෙන‍්ති.” “වැලිදු, යම් කෙනෙක් මේ සදහම් අතුරුදන් කෙරෙද්ද, ඒ හිස් පුරුෂයෝ මේ සසුනෙහි ම උපදිත්” (සංයුක්ත නිකාය 2, 2006, p. 341) ලෙසින් වදාල සේක. මෙය ගෞතම සම්බුදු සසුනට පමණක් අදාල කාරණාවක් නොවන අතර අතීත සම්බුද්ධ සාසන වලත් පහල වූ පුද්ගලයින් නිසා එම සසුන්ද ලොවින් අතුරුදන් වූ බව භාග්‍යවතුන් වහන්සේ වදාලේ මෙසේය “තෙසං බුද‍්ධානං භගවන‍්තානං අන‍්තරධානෙන බුද‍්ධානුබුද‍්ධානං සාවකානං අන‍්තරධානෙන යෙ තෙ පච‍්ඡිමා සාවකා නානානාමා නානාගොත‍්තා නානාජච‍්චා නානාකුලා පබ‍්බජිතා, තෙ තං බ්‍රහ‍්මචරියං ඛිප‍්පඤ‍්ඤෙව අන‍්තරධාපෙසුං” “ඒ භාග්‍යවත් බුදුවරුන්ගේ පිරිනිවන් පෑමෙන් ඒ බුදුවරුන්ගේ සම්මුඛශ්‍රාවකයන්ගේ පිරිනිවන් පෑමෙන් ඒ ශ්‍රාවකයන්ගේ අතැවැසි වූ නානානාමගෝත්‍ර ඇති, නානාජාතියෙන් නානාකුලයෙන් නික්ම පැවිදි වූ යම් පශ්චිමශ්‍රාවක කෙනෙක් වූවාහු නම්, ඔහු ඒ ශාසනය වහා ම අතුරුදන් කළහ.”  (පරාජිකපාළි, 2006, p. 18)

සද්ධර්ම අන්තර්දහනය

භාග්‍යවතුන් වහන්සේගේ සුළු මව ඇතුළු ස්ත්‍රීන් හට බුදු සසුනෙහි පැවිදි උපසම්පදාව ලබා දෙන අවස්ථාවෙහිදී භාග්‍යවතුන් වහන්සේ සද්ධර්මය ලොවෙහි නිර්මල ලෙසින් පවතින කාල වකවානුව පිළිබඳ දේශනා කළ සේක. එනම් “සචෙ ආනන්‍ද නාලභිස‍්සා මාතුගාමො තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ අගාරස‍්මා අනගාරියං පබ‍්බජ‍්ජං, චිරට‍්ඨිතිකං, ආනන්‍ද බ්‍රහ‍්මචරියං අභවිස‍්ස වස‍්සසහස‍්සං සද‍්ධම‍්මො තිට‍්ඨෙය්‍ය. යතො ච ඛො ආනන්‍ද මාතුගාමො තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො න’දානි ආනන්‍ද බ්‍රහ‍්මචරියං චිරට‍්ඨිතිකං භවිස‍්සති. පඤ‍්චෙව’දානි, ආනන්‍ද වස‍්සසතානි සද‍්ධම‍්මො ඨස‍්සති.” “අනඳයෙනි, මාගම ගිහිගෙන් නික්මැ තථාගතප්‍රවිදිත ශාසනයෙහි පැවිද්ද නො ලද නම්, මේ සසුන් බඹසර චිරස්ථිතික වන්නේ ය. මේ ශාසන සද්ධර්‍මය හවුරුදු දහසක් සිටුනේය. අනඳයෙනි, යම් හෙයෙකින් මාගම ගිහිගෙන් නික්ම තථාගතප්‍රවිදිත ශාසනයෙහි පැවිදි වූ ද එහෙයින් දැන් මේ සසුන් බඹසර චිරස්ථිතික නො වන්නේ ය. දැන් මෙතැන් සිට පන්සිය වසක් ම ශාසන සද්ධර්‍මය සිටුනේ ය”. (චුල්ලවග්ගපාළි 2, 2006, p. 476) මේ අනුව පෙනී යන්නේ අනුක්‍රමණයෙන් සිදුවන සාසන පරිහානිය පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ කල් ඇතිවම සංඝයා දැනුවත් කළ බවයි.

එසේම අංගුත්තර නිකායෙහි අනාගත භය සූත්‍රයන්හි සාසනය තුල සංඝයා අතර අනාගතයේදී ඇතිවන අර්බුද පිළිබඳව සඳහන් වන අතර ඒවා තුල පහත සඳහන් කරුණු විද්‍යමාන වේ.

  1. සංඝයා බේද භින්න වීම. 
  2. සිල් ගුණදම් නොවැඩූ භික්ෂූන් නවකයන් පැවැදි උපසම්පදා කර ඔවුන්ද සිල් ගුණදම් නොවැඩූ නොහික්මුණු භික්ෂූන් බවට පත් වීම.
  3. ධර්මයෙහි අරුත් වටහා නොගැනීම. 
  4. බුදු සසුනෙන් බැහැර ඉගැන්වීම් වලට පැහැදීම. 
  5. සිව්පසය වෙනුවෙන් අසාසනික කටයුතු කිරීම.  

මෙහිදී භාග්‍යවතුන් වහන්සේ වදාලේ “ඉති ඛො භික‍්ඛවෙ ධම‍්මසන්‍දොසා විනයසන්‍දොසො, විනයසන්‍දොසා ධම‍්මසන්‍දොසො“මහණෙනි, මෙසේ ධර්‍මසන්‍දෝෂයෙන් විනයසන්‍දොෂය වෙයි. විනයසන්‍දෝෂයෙන් ධර්‍මසන්‍දොෂය වෙයි.” (අංගුත්තර නිකාය 3, 2006, p. 171) ලෙසයි. මෙයින් පැහැදිලි වන කරුණක් නම් බුද්ධ සාසනය තුලට පැමිණි ශ්‍රාවක පිරිස තුලම ඇතිවන ක්ලේෂ ධර්මයන් සාසන පරිහානිය පිණිස බලපාන බවයි 

අංගුත්තර නිකායෙහි සද්ධම්මසම්මෝස සූත්‍ර (අංගුත්තර නිකාය 2, 2006, pp. 287-295) සුගතවිනය සූත්‍රය (අංගුත්තර නිකාය 2, 2006, p. 284) ආදී නොයෙක් තැන්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අතර ඇතිවන පරිහානිකර ධර්මයන් සද්ධර්මය අතුරුදහන් වීමට හේතුවන බව වදාලහ. මෙම සූත්‍ර වල සඳහන් කරුණු කිහිපයක් නම්:

  1. තථාගත භාෂිත ධර්ම විනය පිරිසිදු ලෙස ඉගෙන නොගැනීම.
  2. පිරිසිදු ධර්මය ලොවෙහි ප්‍රචාරය නොකිරීම 
  3. ධර්මානුසාශනාවන්ට කීකරු නොවීම. 
  4. ධර්මයෙහි සඳහන් සම්බුද්ධ වචන විකෘති කිරීම.
  5. ලාභ සත්කාර කීර්ති ප්‍රසංශා වලට ගිජු වීම.
  6. භික්ෂූන් අතර අසමගිකම් ඇතිවී වාද විවාද කරමින් එකිනෙකාට දොස් නැගීම.

පඨම සම්බෝධි යුගය ලෙස හඳුන්වන සම්බුද්ධ සාසනයෙහි මුල් යුගයෙහි කිසිඳු ශික්ෂා පදයක් පනවා නොතිබූ අතර එකල වැඩසිටි සංඝයා හට භාග්‍යවතුන් වහන්සේ ඕවාද ප්‍රාතිමෝක්ෂය පමණක් හික්මීම පිණිස වදාල සේක. සම්බුදු සසුන බොහෝ කල් ලොව පැවතීම පිණිස ශ්‍රාවකයන් හට ශික්ෂාපද පැනවීම සහ ප්‍රතිමොක්ෂය දේශනා කිරීම හේතු වන හෙයින් ඒ සඳහා සාරිපුත්ත මහා රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළහ. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ වදාලේ ඊට සුදුසු කාලය වන්නේ සංඝයා තුළ ආසවට්ඨානීය ධර්මයන් ඇතිවූ විට බවයි. ඒ සඳහා හේතු වන කාරණා පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාල සේක. “යතො ච ඛො සාරිපුත‍්ත, සඞ‍්ඝො රත‍්තඤ‍්ඤුමහත‍්තං වෙපුල‍්ලමහත‍්තං ලාභග‍්ගමහත‍්තං බාහුසච‍්චමහත‍්තං පත‍්තො හොති, අථ ඉධෙකච‍්චෙ ආසවට‍්ඨානීයා ධම‍්මා සඞ‍්ඝෙ පාතුභවන‍්ති.” “ශාරීපුත්‍රයෙනි, යම් කලෙක සඞ්ඝ තෙමේ පැවදි වී බොහෝ කල් ඇති බවින් සඟ පිරිසෙහි විශාලත්වයෙන් ලාභයෙන් අග්‍රවිමෙන් බහුශ්‍රැත බැවින් මහත්‍වයට පැමිණියේ වේ ද, මේ ශාසනයෙහි ඇතැම් ආස්‍රවස්ථානීයධර්‍මයෝ සඞ්ඝයා කෙරෙහි පහළ වෙත්” (පරාජිකපාළි, 2006, p. 22) මෙකරුණෙන්ද කල් ගත වත්ම සම්බුදු සසුන තුළ නොයෙක් අර්බුධයන් හට ගන්නා බව පැහැදිලි වේ.

සුදින්න නම් භික්ෂුව සිය ගිහි කල බිරිඳ සමඟ මෛථුන ධර්මයෙහි යෙදීම හේතුවෙන් පළමු පරාජිකා ශික්ෂාපදය පණවා වදාල භාග්‍යවතුන් වහන්සේ සුදින්න භික්ෂුව සිදු කළ වරදට දෝෂාරෝපණය කරමින් මෙසේ වදාලහ. “බහුන‍්නං ඛො ත්‍වං මොඝපුරිස අකුසලානං ධම‍්මානං ආදිකත‍්තා පුබ‍්බඞ‍්ගමො”. “හිස් පුරුෂය, තෝ බොහෝ දෙනා අතුරෙන් අකුශල ධර්‍මයන්ට ආදිකර්‍තෘ වෙහි. පූර්‍වඞ්ගම වෙහි.” (පරාජිකපාළි, 2006, p. 49) මෙයින් වැටහෙන කරුණ නම් සුදින්න භික්ෂුවගෙන් පසු බුදු සසුන තුල වැඩ සිටින සඟ පිරිස තුළ නොයෙක් අකුසල ධර්මයන් පහළ වන බවයි. මේ අනුව පැහැදිලිව පෙනෙන කරුණක් නම් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි යුගයේ සිටම අනුක්‍රමණයෙන් සාසන පරිහානිය සිදු වූ බවයි.  

සත්වයාගේ පරිහානිය

දීඝ නිකායෙහි චක්කවත්තිසිහනාද සූත්‍රයෙහි සඳහන් වන ආකාරයට දීර්ඝ කලක් තිස්සේ ලෝකයෙහි සත්වයාගේ අනුක්‍රමණික පරිහානියක් සිදුවේ. මිනිසුන්ගේ ගුණධර්ම පිරිහීමත් සමඟ ක්‍රම ක්‍රමයෙන් මිනිස් ආයුෂ අඩුවෙමින් දස වසරක උපරිම ආයු ඇති මිනිසුන්ගේ යුගයක් දක්වා සිදුවන පරිහානියක් පිලිබඳව එම සූත්‍රයෙහි සඳහන් වේ. ගෞතම බුදු රජාණන් වහන්සේ වැඩ සිටි යුගයේ මිනිස් ආයුෂ වසර ශත වර්ෂයකට මඳක් වැඩි වූ අතර ඒ යුගයෙහිද නොයෙක් පරිහානිකර ධර්මයන් මිනිසුන් අතර දිස් වූ බව සූත්‍ර අධ්‍යනයේදී පෙනී යයි. 

සද්ධම්මපතිරූපක සූත්‍රයෙහි මහා කස්සප මහා රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් හට ශික්ෂාපද නොපැනවූ කාලයේදී බොහෝ භික්ෂූන් අරහත්වයට පත් වීමටත්, පසු කලෙක බොහෝ ශික්ෂාපද පනවා තුබුනද ශ්‍රාවක භික්ෂූන් අරහත්වය සාක්ෂාත් කිරීම අඩුවීමටත් හේතුව විමසා සිටියහ. එවිට භාග්‍යවතුන් වහන්සේ වදාලේ “එවං හෙතං කස‍්සප, හොති. සත‍්තෙසු හායමානෙසු, සද‍්ධම‍්මෙ අන‍්තරධායමානෙ, බහුතරානි චෙව සික‍්ඛාපදානි හොන‍්ති. අප‍්පතරා ච භික‍්ඛූ අඤ‍්ඤාය සණ‍්ඨහන‍්ති” “කස්සප, මෙය මෙසේ ම වෙයි. සත්ත්‍වයන් පිරිහෙන කල්හි සදහම් අතුරුදන් වන කල්හි ශික්‍ෂාපදයෝත් ඉතා බොහෝ වෙති ඉතා මඳ වූ භික්‍ෂූහුත් රහත්බැව්හි පිහිටත්.” (සංයුක්ත නිකාය 2, 2006, p. 341) ලෙසයි. මේ අනුව පෙනෙනුයේ සත්වයා තුළ ගුණධර්ම වශයෙන් සිදුවන පරිහානිය භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි යුගයේ සිටම බුදු සසුනෙහි වැඩසිටි සඟ පිරිසට කාලයත් සමඟ බලපා තිබෙන බවයි.

බුදු රජුන් වැඩසිටි යුගයේදී සංඝයා අතර ඇතිවූ අර්බුද

“සුඛා සඞ‍්ඝස‍්ස සාමග‍්ගී” “සංඝයාගේ සමගිය සැපයකි” (ඛුද්දක නිකාය 1, 2006, p. 74) ලෙස ධම්මපදයෙහි භාග්‍යවතුන් වහන්සේ වදාරා තිබුනද භාග්‍යවතුන් වහන්සේ ධරමාන කාලයේදීම එකල වැඩසිටි භික්ෂූන් වහන්සේලා අතර වාද විවාද ආදී නොයෙක් අර්බුදයන් ඇති වී තිබෙන බවට සාධක ත්‍රිපිටක අධ්‍යනයේදී පෙනී යයි. මෙයට උදාහරණයක් ලෙස වරක් භාග්‍යවතුන් වහන්සේ මහා කස්සප මහා රහතන් වහන්සේට භික්ෂූන් හට අවවාද කරන ලෙස වදාල කල්හි උන්වහන්සේ “දුබ‍්බචා ඛො භන‍්තෙ භගවා, එතරහි භික‍්ඛූ දොවචස‍්සකරණෙහි ධම‍්මෙහි සමන‍්නාගතා, අක‍්ඛමා, අප‍්පදක‍්ඛිණග‍්ගාහිනො අනුසාසනිං” “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් භික්‍ෂූහු නො කිකරුහ. නො කීකරු බව ඇතිකරන දැයින් යුත්තයහ. නො ඉවසන්නෝ ය, අනුශාසනාව නුහුරට ගන්නෝ ය.” (සංයුක්ත නිකාය 2, 2006, p. 310) ලෙස වදාළහ. මෙයට හේතුව ලෙස මහා කස්සප මහා රහතන් වහන්සේ වදාලේ භණ්ඩු නම් භික්ෂුවත් ආභිඤ්ජික නම් භික්ෂුවත් ධර්මය උගත්කමින් එකිනෙකා අභිභවා යමින් කථා කරනු දුටු බවයි. 

භාග්‍යවතුන් වහන්සේ වදාල ධර්මය වැරදි ලෙස වටහා ගත් ඇතැම් භික්ෂූන් වැරදි ලෙස ධර්මය අර්ථකථනය කළ අවස්ථා පිළිබඳව ත්‍රිපිටකයෙහි සඳහන් වේ. උදාහරණ ලෙස මජ්ඣිම නිකායෙහි අලගද්දූපම සූත්‍රයෙහි සඳහන් අරිට්ඨ නම් භික්ෂුවද මහාතණ්හාසංඛය සූත්‍රයෙහි සඳහන් සාති නම් භික්ෂුවද යමක සූත්‍රයෙහි සඳහන් යමක නම් භික්ෂුවද ගත හැක. මොවුහු ධර්මධර භික්ෂූන් වහන්සේලා කරුණු කියන කලිහි පවා පිළිනොගෙන තම මතයම නිවැරදි යැයි ප්‍රකාශ කළහ. මෙසේ වැරදි ලෙස ධර්මය අර්ථකථනය කළ අරිට්ඨ භික්ෂුව පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වදාලේ “අථ ච පනායං අරිට‍්ඨො භික‍්ඛු ගද‍්ධබාධිපුබ‍්බො අත‍්තනා දුග‍්ගහීතෙන අම‍්හෙ චෙව අබ‍්භාචික‍්ඛති. අත‍්තානඤ‍්ච ඛනති. බහුඤ‍්ච අපුඤ‍්ඤං පසවති. තං හි තස‍්ස මොඝපුරිසස‍්ස භවිස‍්සති දීඝරත‍්තං අහිතාය දුක‍්ඛාය.” “එතෙකුදු වුවත් මේ ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණ තෙමේ තමා වරදවා ගත් මිථ්‍යාදෘෂ්ටියෙන් අපට ද අභූත චෝදනා කරයි. තමන් ගුණ ද කණියි. බොහෝ අකුසල් ද රැස් කරයි. එය ඒ හිස් පුරුෂයාට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතින්නේ ය.” (මජ්ඣිම නිකාය 1, 2006, p. 332) ලෙසයි.

ශාස්තෘන් වහන්සේගේ අවවාදය පවා නොපිළිගත් හිතුවක්කාර භික්ෂූන් සංඝයා අතර සිටි බවටද ත්‍රිපිටකය තුලින් උදාහරණ පෙන්විය හැකිය. සංඝ භේදය නම් ආනන්තරීය පාප කර්මය සිදුකළ දේවදත්ත, කෝකාලික ආදී සිය අනුගාමිකයන් සමඟ ඒ පිණිස තැත් කරද්දී එය වැලක්වීමට සුපේශල ශික්ෂාකාමී සංඝයා තැත් කලද භාග්‍යවතුන් වහන්සේ සංඝාදිසේස ගරුකාපතති පවා පැනවූවද ඔවුහු එයට දමනය නොවීය. එසේම කොසඹෑ නුවර සංඝයා සුළු කාරණයක් හේතු කොටගෙන බිඳී වෙන් වූ අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේ දීඝිතිකෝසල ජාතකය පවා ගෙනහැර දක්වමින් නැවත නැවතත් අවවාද කරද්දීද එය නොසලකා හරිමින් තෙවරක්ම “ආගමෙතු භන‍්තෙ, භගවා ධම‍්මස‍්සාමී. අප‍්පොස‍්සුක‍්කො භන‍්තෙ, භගවා දිට‍්ඨධම‍්මසුඛවිහාරං අනුයුත‍්තො විහරතු. මයමෙතෙන භණ‍්ඩනෙන කලහෙන විග‍්ගහෙන විවාදෙන පඤ‍්ඤායිස‍්සාමා’ති” “ස්වාමීනි, ධර්‍මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ ඉවසා වදාරණ සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ උත්සාහ රහිත ව මෙලොව සුවපහසුවෙහි අනුයුක්ත වී වසන සේක්වා. අපි මේ ඩබරයෙන් කලහයෙන් විග්‍රහයෙන් විවාදයෙන් ප්‍රකට වන්නෙමු” (මහාවග්ගපාළි 2, 2006, p. 854) ලෙස පැවසීමට තරම් දැඩි විය. 

මීට අමතරව රහතන් වහන්සේලා වැනි මහෝත්තමයන් වහන්සේලාට පවා අභූත චෝදනා කළ භික්ෂූන් වැඩසිටි බවද පෙනීයයි. උදාහරණ ලෙස සාරිපුත්තසිහනාද සූත්‍රයෙහි සාරිපුත්ත මහා රහතන් වහන්සේට අභූත චෝදනා කිරීම, මෙත්තිය භුම්මජක භික්ෂූන් දබ්බමල්ලපුත්ත මහා රහතන් වහන්සේට අභූත චෝදනා කිරීම වැනි අවස්ථා ගත හැකිය. 

භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් හට හිතසුව පිණිස අනුකම්පාවෙන් ශික්ෂාපද පනවන විට එම ශික්ෂාපද රැකීම ප්‍රතික්ෂේප කළ භික්ෂූන් පිළිබඳ උදහරණද ත්‍රිපිටකය තුලින් හමුවේ. විකාල භෝජන ශික්ෂාපදය රැකීම ප්‍රතික්ෂේප කල භද්දාලි නම් භික්ෂුවද (මජ්ඣිම නිකාය 2, 2006, p. 174), අස්සජි පුන්බ්බසුක (මජ්ඣිම නිකාය 2, 2006, p. 236) නම් භික්ෂූන්ද මෙයට නිදසුන් වේ. එසේම භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂාපදයක් පනවා යමක් නොකළ යුතු යැයි ප්‍රකාශ කළ විට එයම වෙනත් ක්‍රමයකින් කිරීමට තැත් කළ භික්ෂු පිරිස්ද, පැවිද්දන් හට නුසුදුසු නොයෙකුත් නොපනත්කම් සිදුකළ ඡබ්බග්ගිය වැනි භික්ෂූන් ද එකල වැඩ සිට ඇති බවට කරුණු හමුවේ.

මේ ආකාරයේ නොයෙක් අර්බුධයන් සංඝයා අතර ඇති වීම ආරම්භ වුයේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි යුගයේදීමය. මෙවැනි අර්බුධයන් සංඝයා අතර ඇති වූ විට ඒවා සමථයකට පත් කිරීම සඳහා අධිකරණ සමථ 7ක් ද භාග්‍යවතුන් වහන්සේ විසින් පනවා වදාරණ ලදී. 

සංඝයා අතර වාද විවාද ඇතිවීමට හේතු

භාග්‍යවතුන් වහන්සේ සංඝයා අතර වාද විවාද ඇති වීම රුචි නොකළ අතර එම වාද විවාද සාසන පරිහානිය පිණිස පවතින ආකාරයද පෙන්වා වදාල සේක. උපසම්පදා සංඝයා විසින් උපෝසථ දිනයන්හි උදෙසනු ලබන ප්‍රාතිමොක්ෂ දේශනාවෙහිද “එත‍්තකං තස‍්ස භගවතො සුත‍්තාගතං සුත‍්තපරියාපන‍්නං අන‍්වද‍්ධමාසං උද‍්දෙසං ආගච‍්ඡති, තත්‍ථ සබ‍්බෙහෙව සමග‍්ගෙහි සම‍්මොදමානෙහි අවිවදමානෙහි සික‍්ඛිතබ‍්බන‍්ති.” “ඒ භාග්‍යවතුන්ගේ සූත්‍රසංඛ්‍යාත භික්‍ෂුවිභඞ්ගයෙහි ආවා වූ භික්‍ෂුවිභඞ්ගයට ඇතුළත් වූ මෙතෙක් ශික්ෂාපද අඩමසක් පාසා උදෙසීමට පැමිණෙයි. සමගි වූ සතුටු වන විවාද නො කරන හැමදෙනා විසින් මැ එහි ලා හික්මියැ යුතු යි.” (පාචිත්තියපාළි 1, 2006, p. 558) ලෙසින් සඳහන් වන අතර මෙය ශික්ෂාකාමී සංඝයා විසින් නිතර සිහි කළ යුතු කරුණකි. එසේම භාග්‍යවතුන් වහන්සේ වස් කාලයෙන් පසු ශාස්තෘන් වහන්සේ බැහැදැකීමට පැමිණි ආගන්තුක භික්ෂූන් සමඟ සාමීචි කථාව සිදුකරන විටදීද මෙසේ විමසා සිටියහ. “කච‍්චි භික‍්ඛවෙ, ඛමනීයං? කච‍්චි යාපනීයං? කච‍්චි සමග‍්ගා සම‍්මොදමානා අවිවදමානා ඵාසුකං වස‍්සං වසිත්‍ථ? න ච පිණ‍්ඩකෙන කිලමිත්‍ථ?’“මහණෙනි, කිම? (සැපපහසුකම්) ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම සමගි වූවෝ සතුටු වෙමින් විවාද නො කරමින් පහසුවෙන් වස් විසූවහු ද? ආහාරයෙන් පීඩා නො ලැබූහු දැ?” (මහාවග්ගපාළි 1, 2006, p. 396). මෙයින් පැහැදිලි වනුයේ භාග්‍යවතුන් වහන්සේ තම ශ්‍රාවක සංඝයාගේ සමඟිය අපේක්ෂා කළ බවයි.

එසේ වුවත් බුදු සසුනෙහි පැවිදි වූ ඇතැම් භික්ෂූන් තෙරුවන් කෙරෙහි අගෞරවයෙන් යුතුව, යටහත් පැවතුම් වලින් තොරව, ශික්ෂාව නොපුරමින් අසමගිය පිණිස හේතු වන, බොහෝ දෙවි මිනිසුන්ගේ අයහපත පිණිස හේතුවන වාද විවාදයන් සංඝයා අතර ඇතිකරවූ අතර ඒ පිණිස මුල් වන පාපී විවාදමූලයන් ලෙස හඳුන්වන අකුසල ස්වභාවයන් 6ක් පිළිබඳව අංගුත්තර නිකායෙහි ඡක්ක නිපාතයෙහි සඳහන් වේ. ඒවා නම්:  

  • ඉධ භික‍්ඛු කොධනො හොති උපනාහී. (මෙ සස්නෙහි මහණ කිපෙන සුලුයේ බද්ධවෛර ඇතියේ වෙයි)
  • මක‍්ඛී හොති පලාසී. (අනුන්ගේ ගුණ මකන ස්වභාව ඇතියේ එකටෙක කරන ස්වභාව ඇතියේ වෙයි)
  • ඉස‍්සුකී හොති මච‍්ඡරී (ඊර්‍ෂ්‍යා ඇතියේ මසුරුබව ඇතියේ වෙයි)
  • සඨො හොති මායාවී (ශඨ වූයේ මායා ඇතියේ වෙයි)
  • පාපිච‍්ඡො හොති මිච‍්ඡාදිට‍්ඨී (ලාමක ඉච්ඡා ඇතියේ මිසදිටු ඇතියේ වෙයි)
  • සන්‍දිට‍්ඨිපරාමාසී හොති ආධානගාහී දුප‍්පටිනිස‍්සග‍්ගී (ස්වදෘෂ්ටිය ම පරාමර්‍ෂණ කරණ සුලුයේ දෘඪග්‍රාහී වූයේ ගත්මත දුරු නොකළ හැකියේ වෙයි)

මෙහිදී භාග්‍යවතුන් වහන්සේ වදාලේ “එවරූපං චෙ තුම‍්හෙ භික‍්ඛවෙ විවාදමූලං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා සමනුපස‍්සෙය්‍යාථ, තත්‍ර තුම‍්හෙ භික‍්ඛවෙ තස‍්සෙව පාපකස‍්ස විවාදමූලස‍්ස පහානාය වායමෙය්‍යාථ. එවරූපං චෙ තුම‍්හෙ භික‍්ඛවෙ විවාදමූලං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා න සමනුපස‍්සෙය්‍යාථ, තත්‍ර තුම‍්හෙ භික‍්ඛවෙ තස‍්සෙව පාපකස‍්ස විවාදමූලස‍්ස ආයතිං අනවස‍්සවාය පටිපජ‍්ජෙය්‍යාථ” “මහණෙනි, ඉදින් තෙපි මෙබඳු විවාද මූලයක් ආභ්‍යන්තරික පිරිස්හි වේවයි බාහිර පිරිස්හි වේවයි දක්නහු නම්, එ ලාමක වාදයාගේ ප්‍රහාණය පිණිස ම වෑයම් කරව. මහණෙනි, මෙබඳු විවාද මූලයක් ඉදින් ආභ්‍යන්තරීක පිරිස්හි වේවයි, බාහිර පිරිස්හි වේවයි, නොදක්නහු නම්, මහණෙනි, තෙපි එ කරුණෙහිලා මතුයෙහි එ මැ ලාමක විවාද මූලයාගේ අනුත්පාදය පිණිස පිළිපදුව.” (අංගුත්තර නිකාය 4, 2006, p. 90) ලෙසය.

මෙසේ පාපී අකුසලයන්ට යටවී භාග්‍යවතුන් වහන්සේ වදාල ධර්මය හා විනය පිළිබඳව සංඝයා අතර වාද විවාද ඇතිවීමට මුල්වන කාරණා 20ක් පිලිබඳව අංගුත්තර නිකායෙහි දසක නිපාතයෙහි පඨම හා දුතිය විවාදමූල සූත්‍රයන්හි සඳහන් වේ (අංගුත්තර නිකාය 6, 2006, pp. 138-140). ඒවා නම්:

  • ඉධ භික‍්ඛු අධම‍්මං ධම‍්මොති දීපෙන‍්ති. (මෙ සස්නෙහි මහණහු අධර්‍මය ධර්‍මයයි දක්වත්)
  • ධම‍්මං අධම‍්මොති දීපෙන‍්ති. (ධර්‍මය අධර්‍මයයි දක්වත්)
  • අවිනයං විනයොති දීපෙන‍්ති. (අවිනය විනයයි දක්වත්)
  • විනයං අවිනයොති දීපෙන‍්ති. (විනය අවිනයයි දක්වත්)
  • අභාසිතං අලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙන‍්ති. (තථාගතයන් විසින් අභාෂිතය අලපිතය තථාගතයන් විසින් භාෂිත ය ලපිත යයි දක්වත්)
  • භාසිතං ලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙන‍්ති. (භාග්‍යවතුන් වහන්සේ විසින් භාෂිතය ලපිතය තථාගතයන් විසින් අභාෂිත ය අලපිත යයි දක්වත්)
  • අනාචිණ‍්ණං තථාගතෙන ආචිණ‍්ණං තථාගතෙනාති දීපෙන‍්ති. (තථාගතයන් විසින් පුරුදු නොකළ දෙය තථාගතයන් විසින් පුරුදු කළ දෙයක් යයි දක්වත්)
  • ආචිණ‍්ණං තථාගතෙන අනාචිණ‍්ණං තථාගතෙනාති දීපෙන‍්ති. (තථාගතයන් විසින් පුරුදු කළ දෙය තථාගතයන් විසින් පුරුදු නොකළ දෙය යයි දක්වති)
  • අපඤ‍්ඤත‍්තං තථාගතෙන පඤ‍්ඤත‍්තං තථාගතෙනාති දීපෙන‍්ති. (තථාගතයන් විසින් අප්‍රඥප්තය තථාගතයන් විසින් ප්‍රඥප්ත යයි දක්වති)
  • පඤ‍්ඤත‍්තං තථාගතෙන අපඤ‍්ඤත‍්තං තථාගතෙනාති දීපෙන‍්ති. (තථාගතයන් විසින් ප්‍රඥප්තය තථාගතයන් විසින් අප්‍රඥප්ත යයි දක්වත්)
  • අනාපත‍්තිං ආපත‍්තීති දීපෙන‍්ති. (අනාපත්තිය ආපත්ති යයි දක්වත්)
  • ආපත‍්තිං අනාපත‍්තීති දීපෙන‍්ති. (ආපත්තිය අනාපත්ති යයි දක්වත්)
  • ලහුකං ආපත‍්තිං ගරුකං ආපත‍්තීති දීපෙන‍්ති. (ලහුකාපත්තිය ගරුකාපත්ති යයි දක්වත්)
  • ගරුකං ආපත‍්තිං ලහුකං ආපත‍්තීති දීපෙන‍්ති. (ගරුකාපත්තිය ලහුකාපත්ති යයි දක්වත්)
  • දුට‍්ඨුල‍්ලං අපත‍්තිං අදුට‍්ඨුල‍්ලා අප‍්පත‍්තීති දීපෙන‍්ති. (දුට්ඨුල්ලාපත්තිය අදුට්ඨුල්ලාපත්තිය යයි දක්වත්)
  • අදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං දුට‍්ඨුල‍්ලාපත‍්තීති දීපෙන‍්ති. (අදුට්ඨුල්ලාපත්තිය දුට්ඨුල්ලාපත්තිය යයි දක්වත්)
  • සාවසෙසං ආපත‍්තිං අනවසෙසා ආපත‍්තීති දීපෙන‍්ති. (සාවසේසාපත්තිය අනවසේසාපත්ති යයි දක්වත්)
  • අනවසෙසං ආපත‍්තිං සාවසෙසාපත‍්තීති දීපෙන‍්ති. (අනවසේසාපත්තිය සාවසේසාපත්තිය යයි දක්වත්)
  • සප‍්පටිකම‍්මං ආපත‍්තිං අප‍්පටිකම‍්මා ආපත‍්තීති දීපෙන‍්ති. (ප්‍රතිකර්ම සහිත ආපත්තිය ප්‍රතිකර්ම රහිත ආපත්තිය යයි දක්වත්)
  • අප‍්පටිකම‍්මං ආපත‍්තිං සප‍්පටිකම‍්මා ආපත‍්තීති දීපෙන‍්ති. (ප්‍රතිකර්ම රහිත ආපත්තිය ප්‍රතිකර්ම සහිත ආපත්තිය යයි දක්වත්)

මේ අනුව පැහැදිලි වනුයේ භාග්‍යවතුන් වහන්සේ වදාල ධර්ම විනය එලෙසින්ම වටහා ගැනීමට අපොහොසත් වීමෙන් අකුසලයන්ට යටවීමෙන් එම ධර්ම විනය පිළිබඳ වාද විවාදයන් සංඝයා අතර ඇති වන බවයි. 

පළමු ධර්ම සංගායනාව පිණිස මුල්වූ දීඝ නිකායෙහි සඳහන් සාරිපුත්ත මහා රහතන් වහන්සේ විසින් වදාල සංගීති සුත්‍රයෙහි මෙසේ සඳහන් වේ. “අයං ඛො පන ආවුසො අම‍්හාකං භගවතා ධම‍්මො ස‍්වාක‍්ඛාතො සුප‍්පවෙදිතො නිය්‍යානිකො උපසමසංවත‍්තනිකො සම‍්මාසම‍්බුද‍්ධප‍්පවෙදිතො. තත්‍ථ සබ‍්බෙහෙව සඞ‍්ගායිතබ‍්බං න විවදිතබ‍්බං, යථයිදං බ්‍රහ‍්මචරියං අද‍්ධනියං අස‍්ස චිරට‍්ඨිතිකං, තදස‍්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම‍්පාය අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානං.” “අප භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්‍මය ස්වාඛ්‍යාත ය, මනාකොට වදාරන ලද්දේ ය, මනාකොට උගන්වන ලද්දේ ය, නෛර්‍ය්‍යාණික ය, උපශමසංවර්‍තනික ය, සම්‍යක්සම්බුද්ධප්‍රවේදිත ය. එහි සියල්ලන් විසින් ම, යම්සේ මෙ සස්න බොහෝ කල් පැවැතිය හැකි වන්නේ ද, බොහෝ කල් සිටින්නෙක් වන්නේ ද, එසේ සමග්‍රව ගැයිය යුතු, විවාද නො කළ යුතු. එය බොහෝ ජනයාට වැඩ පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය.” (දීඝ නිකාය 3, 2006, p. 356) යැයි. මෙ කරුණින් වැටහෙන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාල දහම එලෙසින්ම සියළු සංඝයා විසින් ශ්‍රද්ධාවෙන් හා මනා වැටහීමකින් යුතුව සමගි සම්පන්නව වාද විවාදයන්ගෙන් තොරව සංගායනා කොට පුරුදු පුහුණු කළ යුතු බවයි.

භාග්‍යවතුන් වහන්සේ වදාල දහම මෙසේ වුවත් මෙම බුදු සසුනෙහි නොයෙක් ශ්‍රාවකයන් විසින් උතුම් බුද්ධාවවාදය ඉක්මවා යමින් සංඝයා අතර නොයෙක් අර්බුධ ඇති කරන ලදී. 

සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචනය

සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව මහා කස්සප මහා රහතන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක් මහා රහතන් වහන්සේලා එක් වී රජගහ නුවරදී සිදු කළ ප්‍රථම ධර්ම සංගායනාවට මුල් වූ ආසන්නතම කාරණාවක් ලෙස පිළිගන්නා සුභද්‍ද නම් වුඩ්ඪපබ්බජිත භික්ෂුවගේ අභද්‍ර වචනය පිළිබඳ මහා පරිනිබ්බාන සූත්‍රයෙහි සඳහන් වේ. එනම් “අලං ආවුසො, මා සොචිත්‍ථ, මා පරිදෙවිත්‍ථ. සුමුත‍්තා මයං තෙන මහාසමණෙන. උපද‍්දුතා ච හොම ඉදං වො කප‍්පති, ඉදං වො න කප‍්පතී’ති. ඉදානි පන මයං යං ඉච‍්ඡිස‍්සාම තං කරිස‍්සාම, යං න ඉච‍්ඡිස‍්සාම න තං කරිස‍්සාම.” “ඇවැත්නි, කම් නැත. සෝක නොවවු. නොවැලැපෙවු. අපි ඒ මහා ශ්‍රමණයා ගෙන් මනාකොට මිදුණම්හ. ‘මෙය තොපට කැප වෙයි, මෙය තොපට නො කැප වේ’ යැ යි අපි ඔහුගෙන් උපද්‍රැතයෝ වමු. දැන් වනාහි යමක් අපි කැමැති වන්නමෝ ද, එය කරන්නමු, යමක් නො කැමැති වන්නමෝ ද, එය නො කරන්නමු” (දීඝ නිකාය 2, 2006, p. 257). මහාපරිනිබ්බාන සූත්‍ර අටුවාවෙහි මෙම සුභද්ද නම් භික්ෂුව පිළිබඳ සඳහන් වන්නේ පෙර සිදුවූ සිදුවීමක් හේතුවෙන් භාග්‍යවතුන් වහන්සේ සමඟ ගැටුණු සිත් ඇතිකරගත් අයෙක් ලෙසයි (සුමංගලවිලාසිනී දීඝ නිකාය අට්ඨකථා, 1923, p. 421). ඊට අදාල සිදු වීම විනය පිටකයෙහි භේසජ්ජඛන්ධකයෙහිද (මහාවග්ගපාළි 1, 2006, p. 620) සඳහන් වී තිබේ. එනම් ගිහි කළ කරනවෑමියෙකු වූ මෙම වුඩ්ඪපබ්බජිත භික්ෂුව විසින් තම පැවිදි වී සිටි දරුවන් දෙදෙනෙකු ලවා භාග්‍යවතුන් වහන්සේට කැඳ දානයක් පූජා කිරීම සඳහා අවශ්‍ය කළමනා රැස් කිරීම පිණිස ගෙයක් ගෙයක් කරා ගොස් කරනවෑමි කම් කොට ලුණු, තෙල්, සහල් ආදිය රැස් කරන ලදී. මෙලෙස සකස් කොට පූජා කරන ලද කැඳ දානය භාග්‍යවතුන් වහන්සේ නොවැළඳූ අතර ඔහුට දෝෂාරෝපණය කර දුකකට ආපත්ති දෙකක් පැනවූ සේක. මෙහිදී ඇති කරගත් ආඝාතය ඔහුගේ මෙම බරපතල සහ සාහසික ප්‍රකාශයට මුල් වී තිබෙන බව පෙනේ. මහා කස්සප මහා රහතන් වහන්සේ ඇතුළු මහා සංඝයා ඉදිරියෙහි සිදුකළ මෙම බරපතල ප්‍රකාශය අනුව සිතිය හැක්කේ මෙම භික්ෂුවගේ අදහස වැනි පාපී අදහස් දැරූ තවත් භික්ෂූන්ද ඒ වන විට සිට ඇති බවයි. ඒ බව ධර්ම සංගායනාව සිදු කිරීම සඳහා මහා කස්සප මහා රහතන් වහන්සේ සංඝයා දැනුවත් කිරීමට ප්‍රකාශ කළ කරුණු අනුවද සිතිය හැකිය. එනම් “හන්‍ද මයං ආවුසො ධම‍්මඤ‍්ච විනයඤ‍්ච සඞ‍්ගායාම පුරෙ අධම‍්මො දිප‍්පති ධම‍්මො පටිබාහීයති. පුරෙ අවිනයො දිප‍්පති විනයො පටිබාහීයති. පුරෙ අධම‍්මවාදිනො බලවන‍්තො හොන‍්ති. ධම‍්මවාදිනො දුබ‍්බලා හොන‍්ති. පුරෙ අවිනයවාදිනො බලවන‍්තො හොන‍්ති. විනයවාදිනො දුබ‍්බලා හොන‍්තී” එහෙයින් ඇවැත්නි, අපි අධර්‍මය බැබළීමටත් ධර්‍මය බැහැර කරනු ලැබීමටත් පෙර, අවිනය බැබළීමටත් විනය බැහැර කරනු ලැබීමටත් පෙර, අධර්‍මවාදීන් බලවත්වීමටත් ධර්‍මවාදීන් දුබලවීමටත් පෙර, අවිනයවාදීන් බලවත්වීමටත් විනයවාදීන් දුබලවීමටත් පෙර, ධර්‍මය ද විනය ද සඞ්ගායනා කරම්හ” (චුල්ලවග්ගපාළි 2, 2006, p. 546) යැයි. මේ අනුව බුදු සසුනෙහි සඟ පිරිස් අතර සිටි අධර්මවාදීන් සහ අවිනයවාදීන් බලවත් වෙමින් අධර්මය හා අවිනය ප්‍රචාරය කරමින් නොයෙක් සාසනික අර්බුදයන් ඇති කළ බව පැහැදිලි වේ.

වජ්ජි පුත්තක භික්ෂූන්ගේ නොමනා ක්‍රියා

භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් ශත වර්ෂයකට පසු විශාලා මහනුවර සිටි වජ්ජිපුත්තක භික්ෂූන් විසින් සම්මත කරන ලද විනය විරෝධී කරුණු 10ක් මුල් කොට සබ්බකාමී මහා රහතන් වහන්සේ ප්‍රධාන සත් සියයක් මහා රහතන් වහන්සේලා එක් වී දෙවන ධර්ම සංගායනාව සිදු කළ සේක (චුල්ලවග්ගපාළි 2, 2006, p. 566). මෙම විනය විරෝධී කරුණු 10 නම්,

  • කප‍්පති සිඞ‍්ගිලොණකප‍්පො (අඟෙහි තබා ගත් ලුණු යාවකාලික වස්තු සමග වැළඳීම කැප ය) 
  • කප‍්පති ද‍්වඞ‍්ගුලකප‍්පො (ඉර හැරුණු පසු ඡායාව දෑඟුල් ඉක්මෙන තෙක් දන් වැළඳීම කැප ය)
  • කප‍්පති ගාමන‍්තරකප‍්පො (වළඳා පැවැරූ භික්‍ෂූව විසින් අන් ගමකට යමැ යි අනතිරික්ත භෝජනය වැළඳීම කැප ය)
  • කප‍්පති ආවාසකප‍්පො (එක් සීමාවක් ඇතුළත නොයෙක් ආවාසයන්හි වෙන වෙන ම පොහෝ පවුරුණු කිරීම කැප ය)
  • කප‍්පති අනුමතිකප‍්පො (අත්පසට නො පැමිණ සීමාව ඇතුළත සිටි භික්‍ෂූන්ගේ ඡන්‍දය පසුව ගන්නෙමුයි කියා පොහෝ පවුරුණු ආදිය කිරීම කැප ය)
  • කප‍්පති ආචිණ‍්ණකප‍්පො (ආචාර්‍ය්‍ය උපාධ්‍යායයන් විසින් පුරුදු කරන ලද සියල්ල එසේ කිරීම කැප ය)
  • කප‍්පති අමථිතකප‍්පො (භෝජන පවාරණය කොට නො කළඹන ලද දී වැළඳීම කැප ය)
  • කප‍්පති ජලොගිපාතුං (නො පැසුණු සුරා පානය කැප ය)
  • කප‍්පති අදසකං නිසීදනං (දාවළු රහිත නිසීදනය කැප ය)
  • කප‍්පති ජාතරූපරජතන‍්ති (රන්රිදී මිලමුදල් කැප ය)

මෙම කරුණු අධ්‍යනය කරන විට පෙනී යන දෙයක් නම් මෙම භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේ පනවා වදාල ශික්ෂාපද ඇතුළු විනය පැනවීම තම තම අභිමතය පරිදි වෙනස් කරමින් විනයානුකූල නොවන අකැප දේ කැප යයි සම්මත කර ඇති බවයි. එසේම විශේෂයෙන් 5 වෙනි කරුණ වන අනුමතිකප්පය අනුව අවිනය කර්මයක් විනය කර්මයක් ලෙස සම්මත කර ගැනීම අතිශයින්ම බරපතල වරදක් ලෙස පෙන්වා දිය හැක. මේ ආකාරයට උපසම්පදා ආදී කර්මයක් සිදු කලේ නම් කිසිම ලෙසකින්වත් එය විනය කර්මයක් නොවන්නේය. එය අවිනය කර්මයකි. යම් හෙයකින් මෙය සියළු සංඝයා අනුමත කළේ නම් එපමණකින් ථේරවාද උපසම්පදා පරම්පරාව සිඳෙන්නේය. එපමණක් නොව 6 වන ආචින්නකප්පය අනුව තම ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා නිවැරදි යැයි පුරුදු කළ ධර්ම විනය නොවන වැරදි දේ පවා ශිෂ්‍ය පිරිස් නිවැරදි යැයි පුරුදු කිරීමට ගත්තේ නම් අනාගත සමාජයට ලැබෙන්නේ අධර්මය හා අවිනයය. එසේ වූයේනම් මිලමුදලට යටවූ කාමභෝගී වූ මත්පැන් මත්ද්‍රව්‍ය පවා භාවිතා කරන, දක්ඛිණාවිභංග සූත්‍රයෙහි කාසාවකණ්ඨකයන් ලෙස සඳහන් වන අලජ්ජී පිරිසක් ථේරවාද සංඝයා නාමයෙන් ලොවෙහි බිහිවීමට ඉඩ තිබුණි.

දෙවන ධර්ම සංගායනාවෙන් ථේරවාද සංඝයාගෙන් වෙන් වූ ඔවුහු මහා සංගීතිය නම් වෙනම සංගායනාවක් සිදු කර අථේරවාදී නිකායන් බිහිකරගත් බව දීපවංශය සඳහන් කරන්නේ මෙසේය.

නික‍්කඩ‍්ඪිතා පාපභික‍්ඛු ථෙරෙහි වජ‍්ජිපුත‍්තකා

අඤ‍්ඤං පක‍්ඛං ලභිත්‍වාන අධම‍්මවාදී බහුජ‍්ජනා

සංගීතිකාරක තෙරුන් වහන්සේලා විසින් වජ්ජිපුත්තක පාප භික්ෂූන් සසුනෙන් නෙරපන ලදී. අධර්මවාදී බොහෝ ජනතාවක් වූ ඔවුහු වෙනත් පක්ෂයක් ලැබ 

දසසහස‍්සා සමාගන‍්ත්‍වා අකංසු ධම‍්මසඞ‍්ගහං

තස‍්මා’යං ධම‍්මසඞ‍්ගීති මහා සඞ‍්ගීති වුච‍්චති

දසදහසක් පිරිස එක්වී ධර්ම සංගායනාවක් කළහ. එහෙයින් මෙම ධර්ම සංගායනාවට මහාසංගීතිය යැයි කියනු ලැබේ. (දීපවංශය, 2019, p. 94)

මෙසේ කල් ගත වත්ම ථේරවාද සංඝයාගෙන් වෙන් වී වෙනම පිරිසක් ලෙස ඔවුන් විසින් නොයෙක් නිකාය බිහි කරමින් තම තමන්ගේ ලබ්දිය ලොවෙහි ප්‍රචාරය කරන ලදී. මහායානය බිහිවන්නේ මෙම පිරිසෙන්ය.

මාර්ගඵල පිරිහෙන බවට වූ මතය

මොග්ගලීපුත්තතිස්ස මහා රහතන් වහන්සේ ප්‍රධාන දහසක් රහතන් වහන්සේලා පාඨලීපුත්‍ර නගරයෙහිදී සිදු කළ තෙවන ධර්ම සංගායනාව පිළිබඳව දීපවංශය හා පාලි අටුවා ග්‍රන්ථයන් සඳහන් කරන අතර ඊට ප්‍රභල සාක්ෂියක් අභිධර්ම පිටකයෙහි කථාවත්ථුප්‍රකරණය සපයයි. අරහත්වය හා මාර්ගඵලයන් පිරිහී යන බව අථේරවාදී නිකායිකයන් ප්‍රකාශ කළ අයුරු එහි පරිහානි කථා යන කොටසෙහි සඳහන් වේ (කථාවත්ථුප්‍රකරණය 1, 2006, p. 190). මේ අනුව මහායානිකයන් අප්‍රමාදීව ධර්මයෙහි හැසිරෙමින් ශ්‍රාවක බෝධියෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කොට සසර දුකින් මිදීම වෙනුවට ධර්මාවබෝධය පසෙකලා සමාජ සේවය කරමින් පාරමී පුරා අනාගත කලෙක සම්බුද්ධත්වය අවබෝධ කර සසරින් එතෙර විය යුතු ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාල අප්‍රමාද දහමට පටහැනි වූ දහමක් පිළිගත්හ. එසේම ඔවුහු පාලි භාෂාවෙන් තිබූ බුද්ධ වචනය සංස්කෘත භාෂාවට හරවා එය ඔවුන්ට රිසි පරිදි වෙනස් කොට වෙනම ග්‍රන්ථ රචනා කළහ. පුණ්ඩරීකසූත්‍රය, ප්‍රඥාපාරමිතා සූත්‍රය, ලංකාවතාර සූත්‍රය ආදී නව සූත්‍රයන් නිර්මාණය කළහ. මේ අනුව කල් ගතවත්ම ලෝකෙයෙහි පිරිසිදු ථේරවාද බුදු දහමට හාත්පසින්ම වෙන්ස් වූ මහායාන දහම ව්‍යාප්ත වන්නට විය. 

ඡන්දසට බුද්ධ වචන නැගීම

සම්බුද්ධ දේශනා සංස්කෘත භාෂාවට නැගීම භාග්‍යවතුන් වහන්සේ විසින් නොකළ යුතු යැයි පැවසූ කරුණකි. යමෙළු හා තෙකුල නම් බ්‍රාහ්මණ වංශික සහෝදරයන් දෙදෙනෙකු පැවිදි වී බුද්ධවචන ඡන්දස නම් සංස්කෘත බසට නැගීමට භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ඉල්ලිය. එයට හේතුව ලෙස ඔවුන් ඉදිරිපත් කළ කරුණ නම් නොයෙක් කුලයන්ගෙන් නොයෙක් ජාතීන්වලින් බුදුසසුනට පැමිණෙන ශ්‍රාවකයන් තම තමන්ගේ ස්වකීය භාෂාවන්ගෙන් ධර්මය ප්‍රගුණ කිරීම නිසා බුද්ධවචනය දුෂණය වන බවයි. එම නිසා බුද්ධවචන එකල වේද ග්‍රන්ථ රචනා වී තිබූ වෛදික බස හෙවත් සංස්කෘත බසට නැගිය යුතු බව ඔවුන්ගේ අදහස විය. මෙයට භාග්‍යවතුන් වහන්සේ වදාලේ “කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා එවං වක‍්ඛථ ‘හන්‍ද මයං භන‍්තෙ බුද‍්ධවචනං ඡන්‍දසො ආරොපෙමා’ති. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය පසන‍්නානං වා භිය්‍යොභාවාය. අථ ඛ‍්වෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං චෙව අප‍්පසාදාය පසන‍්නානඤ‍්ච එකච‍්චානං අඤ‍්ඤථත‍්තායා” හිස් පුරුෂයෙනි, තෙපි ‘වහන්ස, අපි බුද්ධවචනය වෛදික භාෂාමය වාචනාමාර්ගයට නඟම්හ” යි කෙසේ නම් මෙබන්දක් කියවු ද, හිස් පුරුෂයිනි, මෙය නොපහන් වූවන් ගේ පැහැදීම පිණිස ද පැහැදුණවුන් ගේ වැඩීම පිණිස ද නො වේ. වැලිදු මහණෙනි, මෙය නො පැහැදුණවුන් ගේ නොපැහැදීම පිණිස ද පැහැදුණු ඇතැම් කෙනෙකුන් ගේ වෙනස් වීම පිණිස ද වේයැ” (චුල්ලවග්ගපාළි 1, 2006, p. 100) ලෙසය. එසේම යමෙක් බුද්ධවචනය ඡන්දසට නැගුවහොත් දුකකට අපත්තියක් වන්නේ යැයි අපත්තියක්ද පණවා වදාලහ. මෙසේ වුවද ථේරවාද සංඝයාගෙන් වෙන් වූ පිරිස් මහායාන ග්‍රන්ථ රචනා කිරීමේදී බුද්ධවචන සංස්කෘත භාෂාවට නැගූහ. 

ඉහත සඳහන් කළ සියළු කරුණු විමසීමෙන් පෙනෙනුයේ බුද්ධ අවවාදයට පිටුපාමින් කටයුතු කළ භික්ෂූන්ගේ අසාසනික ක්‍රියා කලාපයන් නිසා සංඝයා අතර නොයෙක් අර්බුධයන් ඇතිවී නිකාය භේදය ඇතිවී මහායානය බිහිවීම දක්වා බුදු සසුන විකාශනය වූ බවයි.

ආශ්‍රේය ග්‍රන්ථ

අංගුත්තර නිකාය 2 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

අංගුත්තර නිකාය 3 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

අංගුත්තර නිකාය 4 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

අංගුත්තර නිකාය 6 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

කථාවත්ථුප්‍රකරණය 1 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

ඛුද්දක නිකාය 1 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed., Vol. ධම්මපදපාළි). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

චුල්ලවග්ගපාළි 1 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

චුල්ලවග්ගපාළි 2 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

දීඝ නිකාය 2 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

දීඝ නිකාය 3 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

දීපවංශය. (2019). (ප. පොන්සේකා, Trans.) නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

පරාජිකපාළි (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

පාචිත්තියපාළි 1 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

මජ්ඣිම නිකාය 1 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

මජ්ඣිම නිකාය 2 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

මහාවග්ගපාළි 1 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

මහාවග්ගපාළි 2 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

සංයුක්ත නිකාය 2 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

සුමංගලවිලාසිනී දීඝ නිකාය අට්ඨකථා (සයිමන් හේවාවිතාරණ මුද්‍රණය ed.). (1923). කොළඹ: සෝමාවතී හේවාවිතාරණ අරමුදල.

MonkReading

ත්‍රිපිටක අධ්‍යනයේදි අවධානය යොමු කළයුතු කරුණු

කතෘ: පූජ්‍ය පිළියන්දල මහින්දවිජය හිමි

හැඳින්වීම

මහා කාරුණික වූ සම්බුදු රජුන් තම ශ්‍රාවකයන් හට ධර්මාවබෝධ කරවීම පිණිස සුවිශාල පටිභානයකින් ධර්මය දේශනා කර තිබෙන බව ත්‍රිපිටකය අධ්‍යනය කිරීමේදී පෙනී යයි. බුදු රජුන්ගේ ශ්‍රාවකයන් අතර සුවිශාල විවිධත්වයක් තිබුණු අතර ධර්මාවබෝධය පිණිස අවශ්‍ය ශ්‍රද්ධාදී කුසල ධර්මයන්ද ප්‍රහාණය කළ යුතු රාගාදී ක්ලේෂ ධර්මයන්ද එම ශ්‍රාවකයන් අතර විවිධ මට්ටම් වලින් අඩු වැඩි භාවයන් පෙන්නුම් කළ බවට ත්‍රිපිටකය තුළ සාක්ෂි තිබේ. මේ විවිධත්වය හේතුවෙන් බුදු රජුන් දහම් දෙසීමේදී ඇතැමෙක් හට ඉතා කෙටියෙන් ධර්මය දේශනා කර ඇති අතර තවත් අයෙක් හට විස්තර විභාග වශයෙන් විවිධ විචිත්‍ර පටිභානයකින් යුතුව ධර්මය දේශනා කර තිබේ. 

බුදු රජුන්ගේ ධර්ම දේශනා පටිභානය පිළිබඳව නොයෙක් සූත්‍රයන් තුල නොයෙක් අයුරින් විස්තර වේ. උදාහරණ ලෙස අංග අටකින් සමන්විත නුවණැති ශ්‍රාවකයාහට තථාගතයන් වහන්සේගේ “එකන‍්තපටිභානං තථාගතං ධම‍්මදෙසනා හොතී” “ඒකාන්ත පටිභාන ධර්ම දේශනාව වන්නේය” ලෙස සඳහන් අංගුත්තර නිකායෙහි පුණ්ණිය සූත්‍රයත් (අංගුත්තර නිකාය 6, 2006, p. 276), ත්‍රිපිටකයෙහි බොහෝ තැන්වල සඳහන් “ස්වාක්ඛාත, සුදේසිත” ආදී ධර්මයෙහි ගුණ විස්තර කරන පදත්, “සබ‍්බාකාරසම‍්පන‍්නං සබ‍්බාකාරපරිපූරං අනූනං අනධිකං ස‍්වාක‍්ඛාතං කෙවලපරිපූරං බ්‍රහ‍්මචරියං සුප‍්පකාසිතං” “සියලු අයුරින් සැපැයුණු, සියලු අයුරින් පිරිපුන්, අඩුත් නොවූ වැඩිත් නොවූ මනාකොට වදාරන ලද, හැම ලෙසින් පිරිපුන්, බඹසර මනාකොට පවසන ලද” ලෙස පාසාදික සූත්‍රයෙහි (දීඝ නිකාය 3, 2006, p. 212) සඳහන් කාරණාත් දැක්විය හැකිය. එපමණක් නොව “සාත්ථං සබ්‍යංජනං” අරුත් සහිත ව්‍යංජන සහිත” ලෙස ධර්මයෙහි විස්තර වන ලක්ෂණය නෙත්තිප්‍රකරණය නම් ග්‍රන්ථයෙහි සබ්‍යංජනං යන්න “අක්ඛරං පදං ව්‍යංජනං ආකාරං නිරුත්තිං නිද්දේසං” යන පද ඔස්සේද, සාත්ථං යන්න “සංකාසනා පකාසනා විවරණා විභජනා උත්තානීකම්මං පඤ්ඤත්ති” (නෙත්තිප්‍රකරණය, 2006, p. 20) යන පද ඔස්සේද විස්තර කොට තිබේ. 

ශ්‍රාවකයා හට ධර්මාවබෝධය පිණිස ඇති ප්‍රතිපදාව වැඩීමට නම් තථාගත භාෂිත සද්ධර්මය අසා එහි ගැබ්වී ඇති අරුත් වටහා ගත යුතුය. නොයෙක් සූත්‍රයන්හි එය මෙබඳු අයුරකින් දැක්වේ. එනම් “අධම‍්මඤ‍්ච විදිත්‍වා ධම‍්මඤ‍්ච, අනත්‍ථං ච විදිත්‍වා අත්‍ථඤ‍්ච, යථා ධම‍්මො යථා අත්‍ථො පටිපජ‍්ජිතබ‍්බං.” “අධර්මයත් ධර්මයත් දැන, අර්ථයත් අනර්ථයත් දැන, යම්සේ ධර්මයත් අර්ථයත් වේද, ඒ අනුව පිළිපැදිය යුතුය” (අංගුත්තර නිකාය 6, 2006, p. 470), “තස‍්මාතිහ භික‍්ඛවෙ එවං සික‍්ඛිතබ‍්බං අත්‍ථරසස‍්ස ධම‍්මරසස‍්ස විමුත‍්තිරසස‍්ස ලාභිනො භවිස‍්සාමාති.” “එනිසා මහණෙනි මෙසේ හික්මිය යුතුය. අපි වනාහි අර්ථරසයටත් ධර්මරසයටත්, විමුත්තිරසයටත් ලාභීහු වන්නෙමු යැයි” (අංගුත්තර නිකාය 1, 2006, p. 76) ලෙසයි. සම්බුද්ධ දේශනාවන්හි සඳහන් ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්චසමුප්පාද වැනි දාර්ශනික ඉගැන්වීම් තුළ දැකීමට දුෂ්කර වූ සුවිසල් ගැඹුරක් විද්‍යමාන වේ. එය මහාවග්ගපාළියෙහි එන “අධිගතො ඛො ම්‍යායං ධම‍්මො ගම‍්භීරො දුද‍්දසො දුරනුබොධො සන‍්තො පණීතො අතක‍්කාවචරො නිපුණො පණ‍්ඩිතවෙදනීයො. ආලයරාමා ඛො පනා’යං පජා ආලයසම‍්මුදිතා. ආලයරාමාය ඛො පන පජාය ආලයරතාය ආලයසම‍්මුදිතාය දුද‍්දසං ඉදං ඨානං – යදිදං ඉදප‍්පච‍්චයතා පටිච‍්චසමුප‍්පාදො. ඉදම‍්පි ඛො ඨානං සුදුද‍්දසං – යදිදං සබ‍්බසඞ‍්ඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හාක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බානං.” “මා විසින් අවබෝධ කළ මේ ධර්‍මය ගැඹුරු ය. දැකීමට දුෂ්කර ය. අවබෝධයට දුෂ්කර ය. ශාන්ත ය. ප්‍රණීත ය. තර්‍කයෙන් නො දත හැකි ය. සියුම් ය. පණ්ඩිතයන් විසින් ම දත යුතු ය. මේ ප්‍රජා තොමෝ පඤ්චකාමගුණයෙහි සතුටු වූවා ය. පඤ්චකාමගුණයෙහි ඇලුනී ය. පඤ්චකාමගුණයෙහි දැඩි සේ මුදිත ය. පස්කම්ගුණයෙහි සතුටු වූ පස්කම්ගුණයෙහි ඇලුනා වූ පස්කම් ගුණයෙහි දැඩි සේ සතුටු වූ ප්‍රජාව විසින් යම් මේ එකිනෙක ප්‍රත්‍යය හා ප්‍රත්‍යයසමුත්පන්න වන ආකාර ඇති ප්‍රතීත්‍යසමුත්පාදයෙක් වේ ද, මෙය දැකීම දුෂ්කර ය. යම් මේ සකලසංස්කාරයන්ගේ සංසිඳීමෙක් වේ ද, සකලඋපධීන්ගේ බැහැර ලීමෙක් වේ ද, තෘෂ්ණාවගේ ක්‍ෂය වීමෙක් වේ ද, නො ඇල්මෙක් වේ ද, සකල දුක්ඛනිරෝධයෙක් වේ ද, නිර්‍වාණයෙක් වේ ද, යන මෙය ද දැකීම ඉතා දුෂ්කර ය.” (මහාවග්ගපාළි 1, 2006, p. 10) යන පාඨයෙන් පෙනේ. 

ත්‍රිපිටක ධර්මය අධ්‍යනයේදී වැටහෙන කරුණක් වන්නේ ධර්මයෙහි සඳහන් මෙම ගැඹුරු අරුත් අවබෝධ කරගැනීම පිණිස බුදු රජුන්ගේ ධර්ම දේශනා පටිභානය විහිදී තිබෙන නොයෙක් ක්ෂේත්‍රයන් පිළිබඳ අධ්‍යනයක් කළ යුතු බවයි. මෙයට හේතුව ඉහත සඳහන් කළ පරිදි තථාගත භාෂිතයන්හි ව්‍යංජනය හා අර්ථය ලෙසින් කොටස් දෙකක් දක්නට ලැබීමයි. එහෙයින් බුදු රජුන්ගේ ශ්‍රාවකයා හට තථාගත ධර්මයෙහි වචන භාවිතාවෙන් හෙවත් ව්‍යංජනයෙන් ඉස්මතු කරන අරුත් වටහා ගැනීම පිණිස සම්බුද්ධ දේශනා තුළ බුදු රජුන් විසින් භාෂාව භාවිතා කර තිබෙන ආකාරයන් අධ්‍යනය කිරීම මහෝපකාරී වේ. 

බුදු රජාණන් වහන්සේ ධර්මය දේශනා කිරීමට භාවිතා කළේ එකල සාමාන්‍ය ජන සමාජයේ තිබූ ලෞකික ව්‍යවහාරයයි. බුදු රජුන් විසින් සියළු සංස්කාර මම, මාගේ, මාගේ ආත්මය ලෙස නොදැකිය යුතු යැයි නැවත නැවතත් දේශනා කොට තිබුනද බුදු රජුන්ද රහතන් වහන්සේලාද මම, මාගේ, මාගේ ආත්ම යන වචන ධර්ම දේශනාව සඳහා භාවිතා කළහ. පහත සඳහන් උපුටා ගැනීම් මෙයට උදාහරණ ලෙස දැක්විය හැකිය.

“අහං හි අරහා ලෝකේ, අහං සත්ථා අනුත්තරෝ” “ලෝකයේ රහතන් වහන්සේ මමය, ලොවෙහි අනුත්තර ශාස්තෘන් වහන්සේ මමය” (මහාවග්ගපාළි 1, 2006, p. 16)

“පරිපක්කෝ වයෝ මයිහං, පරිත්තං මම ජීවිතං” “මාගේ වයස මුහුකුරා ගොස් තිබේ, මාගේ ජීවිතය තිබෙන්නේ ස්වල්පයයි” (දීඝ නිකාය 2, 2006, p. 188)

“කච්චි නු ඛෝ මේ අත්තා සීලතෝ න උපවදතීති පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං” “කිම මාගේ ආත්මය සීලය වශයෙන් මාහට උපවාද කරයිදැයි පැවිද්දා විසින් නිතර සිහිකළ යුතුයි” (අංගුත්තර නිකාය 6, 2006, p. 158)

 

මෙසේ ධර්මය අවබෝධ කළ රහතන් වහන්සේලා මම මගේ යන වචන භාවිතා කිරීමට හේතුව ලෙස බුදු රජුන් වදාලේ “ලොකෙ සමඤ‍්ඤං කුසලො විදිත්‍වා, වොහාරමත‍්තෙන සො වොහරෙය්‍යාති” දක්‍ෂ වූ හෙතෙමේ ලෝකයෙහි ව්‍යවහාරය දැන ව්‍යවහාර මාත්‍රයෙන් ව්‍යවහාර කරන්නේ යි.” (සංයුක්ත නිකාය 1, 2006, p. 28) ලෙසයි. එසේම කථාවත්ථුප්‍රකරණයෙහි පරවාදීන් යැයි සඳහන් කොට තිබෙන අථේරවාදීන් බුදු රජුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර යැයි පැවසූ විට මොග්ගලීපුත්තතිස්ස මහා රහතන් වහන්සේ ඇතුළු ථේරවාදී සංඝයා ප්‍රකාශ කලේ බුදු රජුන්ගේ ව්‍යවහාරය ලෞකික බවයි. මෙසේ බුදු රජාණන් වහන්සේ ලෞකික ව්‍යවහාරයෙන් ධර්මය දේශනා කරන විට ඒ සඳහා යොදාගත් භාෂාවේ ලෞකික ව්‍යවහාරයට අදාල ලක්ෂණ විද්‍යමාන වන අතර ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුය. 

මේ අනුව පාලි සූත්‍ර අධ්‍යනයේදී ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්චසමුප්පාද වැනි දාර්ශනික ඉගැන්වීම් වලට අමතරව අවධානය යොමු කළ යුතු වෙනත් භාෂාමය කාරණා කිහිපයක් පහත පරිදි ගොනුකළ හැක.

  1. වචනාර්ථයට වඩා වෙනස් අරුතක් මතු කිරීම.
  2. ධර්මයෙහි සඳහන් උපමා, රූපක, ආඛ්‍යාන, රූඪි ආදී සාහිත්‍යමය ලක්ෂණ
  3. ඉතා සරළ වචන ගැඹුරු අරුත් සඳහා යොදාගෙන තිබෙන ආකාරය 
  4. රස සංකල්පය 
  5. පරියාය දේශනාව
  6. පාලි භාෂාවෙහි විකාශනය
  7. පාලි භාෂාව හා ප්‍රඥාව අතර ඇති සම්බන්ධය

වචනාර්ථයට වඩා වෙනස් අරුතක් මතු කිරීම

සම්බුද්ධ දේශනා අධ්‍යනය කිරීමේදී බොහෝ අවස්ථා වල දහම් දෙසීමට බුදු රජුන් භාවිතා කළ වචනයන්හි මතුපිටින් පෙනෙන වාච්‍ය අරුතට වඩා තරමක් වෙනස් හෝ ගැඹුරු අරුතක් තිබෙන බව දිස්වේ. සරළ උදාහරණයක් ලෙස ධම්මපදයෙහි සඳහන් “සබ්බේ තසන්ති දණ්ඩස්ස, සබ්බේ භායන්ති මච්චුනෝ” යන ගාථා පාඨය ගනිමු. මෙහි වාච්‍ය අරුත නම් “සියල්ලෝම දඬුවමට තැති ගනිති, සියල්ලෝම මරණයට භය වෙති” (ඛුද්දක නිකාය 1, 2006, p. 56) යනුයි. පාලි භාෂාව දත් ඕනෑම අයෙකුට මෙය තේරුම් ගත හැකි වේ. නමුත් ථේරවාද බුදු දහම පිළිබඳ අල්ප අවබෝධයක් ඇති අයෙක් සියල්ලෝ යන වචනය යෙදී ඇති නිසා “එසේනම් බුදු රජාණන් වහන්සේද දඬුවමට තතිගන්නේද? මරණයට භය වන්නේද?” ලෙසින් වැරදි අවබෝධයකට පැමිණෙනු ඇත. ත්‍රිපිටකයෙහි සඳහන් අනෙකුත් දේශනා සමඟ ගලපා බැලීමේදී බුදු රජාණන් වහන්සේත් රහතන් වහන්සේලාත් සියළු කෙලෙස් දුරු කළ හෙයින් තැති ගැනීමටත් භය වීමටත් පත් නොවන බව පැහැදිලි වේ. එහෙයින් මෙම ගාථාවේ සියල්ලෝ ලෙස අදහස් කරන්නේ බුදු රජාණන් වහන්සේත් රහතන් වහන්සේලාත් හැරුනුකොට අනෙක් සත්වයන්ය. ඒ බව පෙළ දහම හා ගලපා වටහා ගත යුතුය. 

තවත් උදාහරණයක් ලෙස ධම්මපදයෙහි සඳහන් මෙම ගාථාව ගනිමු.

“මාතරං පිතරං හන‍්ත්‍වා රාජානො ද‍්වෙ ච ඛත‍්තියෙ

රට‍්ඨං සානුචරං හන‍්ත්‍වා අනීඝො යාති බ්‍රාහ‍්මණො.”

“මව ද, පියා ද, ක්‍ෂත්‍රිය රජුන් දෙදෙනා ද වනසා, පිරිවර සහිත රට ද වනසා, බාහිතපාප බ්‍රාහ්මණ තෙම නිදුක් වැ යන්නේ ය.” (ඛුද්දක නිකාය 1, 2006, p. 98)

මෙම ගාථාවෙහි මව සහ පියා ලෙස අදහස් කරන්නේ තමන් මෙලොවට බිහිකළ දෙමව්පියන් විය නොහැක. මන්ද යත් දෙමව්පියන් ඝාතනය කිරීම ආනන්තරීය පාප කර්මයක් වන බැවිනි. ධම්මපද අට්ඨකථාවට අනුව මව යනු තෘෂ්ණාවත් පියා යනු අසමි මානයත් වන අතර රජවරු දෙදෙනා යනු ශාස්වත සහ උච්චේද දෘෂ්ඨි වේ. අනුචරයා නන්දිරාගය වන අතර රට යනු ද්වාදස ආයතන වේ. මෙහි බ්‍රාහ්මණයා ලෙස හඳුන්වන්නේ රහතන් වහන්සේය. අටුවාවෙහි සඳහන් මෙම අර්ථ විස්තරය වෙනත් සූත්‍ර වල සඳහන් අර්ථයන්ට සමානයයි සිතිය හැකිය. එනම් “තණ්හා ජනේති පුරිසං” “තණ්හාව පුරුෂයාව බිහිකරයි” (සංයුක්ත නිකාය 1, 2006, p. 68) ලෙස බුදු රජුන් දේශනා කොට ඇති අතර “බ්‍රාහ්මණ” යන නාමය රහතන් වහන්සේ හට යොදා තිබෙන සූත්‍ර ගණනාවක්ද දැකිය හැකිය. ආසිවිසෝපම සූත්‍රයෙහි ඇස ආදී අධ්‍යාත්මික ආයතන හිස් ගෙවල් වලට උපමා කොට ඇති අතර රූප ආදී බාහිර ආයතන ගම්පහරන සොරුන්ට උපමා කොට ඇත. මේ අනුව අධ්‍යාත්මික බාහිර ආයතන දොලස සඳහා රට යන උපමාව භාවිතා කිරීමේ යම් ගැලපීමක් දැකිය හැකිය. මෙසේ සෘජුව වචනයෙන් ප්‍රකාශ කරන අරුතට වඩා වෙනස් ගැඹුරු අරුතක් මෙම ගාථාවෙහි ගැබ් වී තිබේ. 

මෙවැනිම තවත් උදාහරණයක් ලෙස ධම්මපදයෙහිම එන මෙම ගාථාව දැක්විය හැකිය. 

“අස‍්සද‍්ධො අකතඤ‍්ඤූ ච සන්‍ධිච‍්ඡෙදො ච යො නරො

හතාවකාසො වන‍්තාසො ස වෙ උත‍්තමපොරිසො.”

“යම් පුද්ගලයෙක් අනුන්ගේ බසින් නො අදහා ද (ශ්‍රද්ධාව ඉක්මවා ගොස් තෙමේම දැන), (හේතුන් විසින් නො කරන ලද හෙයින් ආකෘත නම් වූ) නිර්‍වාණය ප්‍රත්‍යක්‍ෂ කොට දත්තේ ද, සසර සන්ධි සිඳලූයේ ද, නසන ලද ප්‍රතිසන්ධි අවකාශ ඇත්තේ ද, වමනය කරන ලද සියලු ආශා ඇත්තේ ද, ඒ පුද්ගල තෙම ඒකාන්තයෙන් උත්තම පුරුෂ නම් වේ.” (ඛුද්දක නිකාය 1, 2006, p. 46)

මෙහි මතුපිට අරුත වන්නේ “ශ්‍රද්ධාව නැති, අකෘතඥ, ගෙවල් බිඳින, ඉඩ නැතිකළ, වැමෑරූ දේට ආසා ඇති යම් මිනිසෙක් වේද ඔහු උතුම් පුරුෂයෙකි” යනුයි. එනමුත් මෙහි සැබෑ අරුත වන්නේ ඉහත සඳහන් කළ අරුතයි. මෙලෙස බුදු රජුන් විසින් දේශනා කළ ධර්මයෙහි වචනාර්ථය ඉක්මවාගිය අරුත් ප්‍රකාශ කරන අවස්ථා බොහෝ සෙයින් විද්‍යමාන වේ. 

මෙහිදී වටහා ගත යුතු කරුණක් වන්නේ බුදු රජුන් විසින් යම් ප්‍රකාශනයක අරුත් දෙආකාරයකට දේශනා කොට ඇති බවයි. ඒවා නෙය්‍යාර්ථ සහ නීතාර්ථ ලෙස හැඳින්වේ. නෙය්‍යාර්ථ යනු ඉහත සඳහන් ආකාරයට අර්ථය පමුණුවාගත යුතු දේශනා වේ. නීතාර්ථ යනු සෘජු අරුත් ඇති පමුණුවන ලද අරුත් ඇති දේශනාය. බුදු දහමේ ඇති ගැඹුරු දාර්ශනික ඉගැන්වීම් වටහා ගැනීම සඳහා ශ්‍රාවකයා හට මේ පිළිබඳ අවබෝධයක් අත්‍යවශ්‍ය වේ.

ධර්මයෙහි සඳහන් සාහිත්‍යමය ලක්ෂණ

සම්බුද්ධ දේශනා පුරාවට බොහෝ සෙයින් උපමා, රූපක, ආඛ්‍යාන, සංකේත ආදී සාහිත්‍යමය ලක්ෂණ බොහෝ සෙයින් දිස්වේ. බුදු රජුන් මෙම සාහිත්‍යමය ලක්ෂණ ධර්ම දේශනා කිරීම සඳහා භාවිතා කළ ආකාරයත් ඊට මුල් වූ හේතු කාරණා පිළිබඳවත් යම් අවබෝධයක් ශ්‍රාවකයා හට තිබිය යුතු වේ.

උපමා සහ රූපක

ධර්මය තුළ උපමා සහ රූපක භාවිතා කොට ඇත්තේ විශේෂයෙන් ගැඹුරු අරුත් සරළ ලෙස ශ්‍රාවකයා හට වටහා ගැන්වීමටය. බොහෝ සූත්‍ර වල “උපමායපි ඉධෙකච‍්චෙ විඤ‍්ඤූ පුරිසා භාසිතස‍්ස අත්‍ථං ආජානන‍්ති.” “උපමායෙනුදු මෙහි ඇතැම් නුවණැති පුරුෂයෝ කියන ලද වචනයේ අරුත් දැනගන්නාහ.” (දීඝ නිකාය 3, 2006, p. 550) ලෙස සඳහන් වේ. එසේම බුදු රජුන්ගේ විස්මිත ධර්ම දේශනා පටිභානය ශ්‍රාවකයා හට විදහා දැක්වීමෙන් බුදු රජුන් පිළිබඳ ශ්‍රාවකයා අතිශන් පැහැදුණු අවස්ථා විද්‍යාමාන වේ. උදාහරණයක් ලෙස උපාලි සූත්‍රයේ 

“පුරිමෙනෙවාහං භන‍්තෙ, ඔපම‍්මෙන භගවතො අත‍්තමනො අභිරද‍්ධො අපි චාහං ඉමානි භගවතො විචිත්‍රානි පඤ‍්හපටිභානානි සොතුකාමො එවා’හං භගවන‍්තං පච‍්චනීකාතබ‍්බං අමඤ‍්ඤිස‍්සං.” “වහන්ස, මම පළමු උපමායෙන් මැ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න විසඳීමෙහි සතුටුසිත් ඇතියෙම් ප්‍රසන්න වීමි. එතෙකුදු වත් මම භාග්‍යවතුන් වහන්සේගේ විසිතුරු ප්‍රශ්න විසඳීම් අසනු කැමැති වැ මෙසේ මම් භාග්‍යවතුන් වහන්සේට විරුද්ධ බස් කියයුතු යයි සිතීමි.” (මජ්ඣිම නිකාය 2, 2006, p. 70) යැයි සඳහන් වේ. මේ අනුව ශ්‍රාවකයා හට ධර්මය වටහා ගැනීමටත් ඒ කෙරෙහි පැහැදීමටත් ධර්මය තුල උපමා හා රූපක භාවිතය හේතු වී ඇති බව සිතිය හැකිය.

ආඛ්‍යාන

සම්බුද්ධ දේශනා තුල බොහෝ සෙයින් නොයෙක් ආඛ්‍යානයන් භාවිතා වී තිබේ. බොහෝ සෙයින් ජාතක, ධම්මපද අට්ඨකථා, විමාන වත්ථු, පේත වත්ථු ආදී ග්‍රන්ථ වල පමණක් නොව දීඝ නිකාය, මජ්ඣිම නිකාය ආදී ග්‍රන්ථ වලද නොයෙක් ආඛ්‍යාන දිස්වේ. අංගුලිමාල කථාවස්තුව, නන්ද හිමියන්ගේ කථාවස්තුව, කිසාගෝතමී කථාවස්තුව, පටාචාරා කථාවස්තුව, සේරිස්සක කථාවස්තුව ආදී ආඛ්‍යානයන් බොහෝ දෙනා අතර ප්‍රකටය. මෙබඳු කථාවස්තූන් ශ්‍රාවකයා තුල විශාල ආනන්දයක් ජනිත කිරීමට සමත් වන අතර ජීවිතාවබෝධය සඳහා සුවිශාල ආලෝකයක් සපයයි. ජාතක කථා ඉගෙනීමෙන් ශාස්තෘන් වහන්සේ සම්බුද්ධත්වය පිණිස කළ සුවිශාල කැපකිරීම පිළිබඳ ශ්‍රාවකයා වටහා ගනියි. එය ශාස්තෘ ගෞරවය දියුණු වීමට උපකාර වේ. විමාන වත්ථු පේත වත්ථු වැනි කථා වස්තු තුලින් කුසලයේ විපාකත් අකුසලයේ විපාකත් පිළිබඳ වටහා ගෙන අකුසලයට අකමැති වී කුසලයට කැමැති වීමට ශ්‍රාවකයා අවකාශ ලබයි.

එසේම මෙම කථා වස්තූන් ශ්‍රාවකයාගේ සිත තුල ධර්මාවබෝධයට උපකාර වන ආකාරයේ වින්දනයක් උපදවලීමට සමත් වේ. උදාහරණයක් ලෙස වෙස්සන්තර ජාතක කථා වස්තුව ශ්‍රවණය කරන ශ්‍රාවකයා තුළ නිරාමිස දුක් වින්දනයක් ඇතිවේ. මෙහි තිබෙන වටිනාකම වටහා ගැනීමට උපකාර වන කරුණක් මජ්ඣිම නිකායෙහි සඳහන් සළායතනවිභංග සූත්‍රයෙහි සඳහන් වේ. එනම් සාමිස දුක් විඳීම දුරු කිරමට නිරාමිස දුක් විඳීම සේවනය කළ යුතු බව බුදු රජහු එම සූත්‍රයෙහි වදාල සේක. මෙම කාරණාව බොහෝ කලක් තිස්සේ ලක්දිව ජනතාව අතර කොතරම් කාවැදී තිබුනාද යත් යම් නිවසක යමෙක් මිය ගිය විට එම ශෝකය තුනී කිරීම පිණිස පුරාණ චාරිත්‍රයක් ලෙස වෙස්සන්තර කාව්‍ය සජ්ඣායනා කළ අතර එම ග්‍රන්ථය මළපොත ලෙසද හඳුන්වනු ලැබීය. 

මෙම කථා වස්තූන් වල ඇති තවත් ලක්ෂණයක් නම් ඒවායෙහි අඩංගු සිද්ධි දාමයන් බුදු රජුන් විසින් පුබ්බේනිවාසානුස්සති ඥානයෙන් හා චුතූපපාත ඥානයෙන් දැක දේශනා කරන විස්තර වීමයි. බුදු රජාණන් වහන්සේ බෝධි මූලයේදී චතුරාර්ය සත්‍ය අවබෝධයට පෙරදීම එම ඥානයන් ද්විත්වය සාක්ෂාත් කළ සේක. මෙමගින් සංසාර චක්‍රය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් මහා බෝසතාණන් වහන්සේ තුළ ජනිත විය. කර්මානුරූපව සත්වයා සංසාර ගමනක වැටි ඇති අයුරු දැකගැනීමට හැකිවිය. භව පැවැත්මේ යථා ස්වභාවය වන පටිච්චසමුප්පාද සමුදය සහ නිරෝධය අවබෝධ කරගැනීමට අවශ්‍ය පසුබිම සකස් වූයේ එම අවබෝධයෙනි. මේ අනුව චතුරාර්ය සත්‍ය අවබෝධ කොට මහා බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වය සාක්ෂාත් කළහ. එනමුත් ශ්‍රාවකයා බුදු රජුන්ගේ සාසනයෙහි ධර්මාවබෝධය ලබන්නේ බොහෝ සෙයින් මෙම පෙර සඳහන් කළ ඥාන ද්විත්වයෙන් තොරවයි. එහෙයින් ශ්‍රාවකයා හට ධර්මාවබෝධයට අවශ්‍ය පසුබිම වන කර්ම කර්මඵල සහ භව පැවැත්මේ ස්වභාවය පිළිබඳ වටහා ගැනීමට බුදු රජුන් විසින් දේශනා කොට වදාල මෙම ආඛ්‍යානයන් බොහෝ සෙයින් උපකාර වේ.

සංකේත භාවිතය

බුදු රජුන් දේශනා කොට වදාල ධර්මයෙහි විශේෂ අරුත් ප්‍රකාශ කිරීම සඳහා සංකේත භාවිතා කොට තිබෙන බව පැහැදිලි කරුණකි. මෙයට උදාහරණයක් ලෙස අසනඝ ජාතකය ගත හැක. අසනඝ කුමාරයාව ඉපිද සිටියේ අප මහා බෝසතාණන් වහන්සේ වන අතර එම කුමරා ඊට පෙරභවයේ බ්‍රහ්ම ලෝකයේ සිට මනුලොවට පැමිණි හෙයින් තම මව ඇතුළු සියළු කාන්තාවන්ගේ පහස දැඩිව ප්‍රතික්ෂේප කොට සිටියහ. එනමුත් එක ස්ත්‍රියකගේ උපක්‍රමයට හසුවී අතෘප්තිකර දැඩි කාමාශාවක් ඇතිවී සියලු පිරිමින් මරාගෙන යෑමට තැත් කොට බොහෝ දුක් පීඩා වලට හසු විය. “අසනි” යනු හෙනය යන අරුත වුවද හෙනයක් වැදීමක් පිළිබඳ මෙම කථා වස්තුවෙහි සඳහනක් නැත. අසනඝ යන නමින් මෙම ජාතක කථාව හැඳින්වීමට හේතුව ලෙස පෙනෙන්නේ හෙනයක් වැදුනා සෙයින් කාමාශාවට හසුවූ බව දැක්වීමයි. මේ ආකාරයේ සංකේත භාවිතයෙන් අරුත් මතු කිරීම නොයෙක් අවස්ථා වලදී ධර්මය තුල දැකිය හැකිය.

ශබ්ධ ධ්වනි මඟින් සංකේතාත්මකව අරුත් මතු කිරීමද ධර්මය තුල පෙනෙන කරුණකි. උදාහරණයක් ලෙස රතන සූත්‍රයෙහි “චතුබ්භි වාතෙභි අසම්පකම්පියො” “සිවු දිගින් හමන සුළඟින් කම්පා නොවන්නේය” (ඛුද්දක නිකාය 1, 2006, p. 10) ලෙස සඳහන් පදය පෙන්විය හැක. මෙහිදී බුදු රජුන් හට “චතූහි වාතෙහි අසම්පකම්පියො” ලෙස යෙදීමට තිබුණි. එය ව්‍යාකරණකූලව නිවැරදිය. නමුත් චතුබ්භි වාතෙභි ලෙස මහප්‍රාණ අක්ෂර යෙදීමෙන් ශ්‍රවණය කරන්නා හට දැඩි සුළඟක සඤ්ඤාවක් ලබාදෙයි. එවිට කොතරම් දැඩිව සුළඟ හැමුවත් ඉන්ද්‍රඛීලය නොසෙල්වෙන බව දැක්විය හැකිය. මෙලෙස ශබ්ධ ධ්වනි මඟින්ද සංකේතාත්මකව අරුත් මතු කිරීමට හැකිය. 

මෙසේ ඉහත දැක්වූ ධර්මයෙහි සඳහන් සාහිත්‍යමය ලක්ෂණ පිළිබඳවද ශ්‍රාවකයා හට අවබෝධයක් තිබිය යුතුය.

සරළ වචන ගැඹුරු අරුත් සඳහා යොදා ගැනීම

පෙර සඳහන් කරන ලද පරිදි බුදු රජුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර නොව ලෞකිකය. එනම් බුදු රජුන් ධර්ම දේශනාව සඳහා භාවිතා කලේ එකල සමාජයේ භාවිතා කළ සාමාන්‍ය වචන ය. එසේම බුදු රජුන් භාවිතා කළ භාෂාවෙහි පමණක් නොව ලොව ඕනෑම භාෂාවක ඇති සියළුම වචන ලෝක සම්මුති අනුව පවතින ව්‍යවහාර වේ. පාළි ත්‍රිපිටක ධර්මය අධ්‍යනය කිරීමේදී පැහැදිලි වන්නක් නම් එකල සමාජයේ සාමාන්‍ය ලෝක ව්‍යවහාරය තුළ පවතින සරළ වචන ඉතා ගැඹුරු අරුත් ප්‍රකාශ කිරීම සඳහා බුදුරජුන් විසින් භාවිතා කොට තිබීමයි.

මේ සඳහා හොඳම නිදසුනක් ලෙස ‘නිබ්බාන’ යන වචනය දැක්විය හැකිය. එය ගින්නක් නිවීම හැඳින්වීමට භාවිතා කරන සරළ වචනයකි. ලොව ඕනෑම භාෂාවක මේ සඳහා සරළ වචනක් තිබේ. නමුත් මෙම වචනය බුදු සසුනෙහි ලබන උත්තරීතර අවසන් ඵලය හැඳින්වීමට බුදුරජුන් භාවිතා කළහ. එසේම නිවන අර්ථ දැක්වීමේදී “රාගක්ඛයෝ දොසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං” “රාග ද්වේශ මෝහ ක්ෂය වීම නිවන” (සංයුක්ත නිකාය 4, 2006, p. 474) ලෙස වදාළ අතර අග්ගි සූත්‍රයෙහිදී රාග ද්වේශ මෝහ ගිනි ලෙස වදාළහ (ඛුද්දක නිකාය 1, 2006, p. 444). එහෙයින් රාග ද්වේශ මෝහ නම් වූ ගිනි ක්ෂය වීම නැතහොත් නිවීම නිබ්බාන ලෙස හැඳින්වීම යුක්ති සහගතය. 

තවත් නිදසුනක් ලෙස “සඞ‍්ඛාර” යන වචනය ගනිමු. මෙම වචනය ධර්මයෙහි “පුඤ්ඤාභිසඞ‍්ඛාර, අපුඤ්ඤාභිසඞ‍්ඛාර, ආනෙඤ්ජාභිසඞ‍්ඛාර, කායසඞ‍්ඛාර, වචීසඞ‍්ඛාර, චිත්තසඞ‍්ඛාර, මනෝසඞ‍්ඛාර, ඉද්ධාභිසඞ‍්ඛාර, සබ්බේසඞ‍්ඛාර” ආදී නොයෙක් ආකාරයෙන් ගැඹුරු අරුත් ප්‍රකාශ කිරීම සඳහා යොදා ගෙන තිබේ. එසේම පංචඋපාදානස්කන්ධය, පටිච්චසමුප්පාදය ආදී ගැඹුරු දාර්ශනික ඉගැන්වීම් සඳහා මෙම වචනය භාවිතා වේ. නමුත් මෙම වචනය සරළ අරුතක් ප්‍රකාශ කරන අවස්ථාවක් ධර්මයෙහි සඳහන් වේ. එනම් පචේතනික සූත්‍රයෙහි සඳහන් විස්තරයෙහි පචේතන රජුගේ රාජ රථය පිණිස වඩුවෙකු වූ මහා බෝසතාණන් වහන්සේ සාදා දුන් රෝද දෙක කරකවා යැවූ කල්හි එහි රැස්වූ ජවය යම්තාක්ද ඒ තාක් ගොස් එක් රෝදයක් බිම වැටුනු අතර අනෙක බිම නොවැටී අකුරක් ගැසූ කලක මෙන් සිටියේය. මේ කාරණය එම සූත්‍රයෙහි සඳහන් වන්නේ “තං පවත‍්තිතං සමානං යාවතිකා අභිසඞ‍්ඛාරස‍්ස ගති, තාවතිකං ගන‍්ත්‍වා චිඞ‍්ගුලායිත්‍වා භූමියං පපති“එය පෙරළා හරිණ ලද්දේ ම ප්‍රයෝගයාගේ ගතිය යම් තාක් ද ඒ තාක් ගොස් බමා බිම වැටෙයි” (අංගුත්තර නිකාය 1, 2006, p. 212) මෙයින් පැහැදිලි වන්නේ “සඞ‍්ඛාර” යන වචනය ගැඹුරු අරුත් සඳහා භාවිතා වුවද මෙම සරළ සිදුවීම විග්‍රහ කිරීමටද භාවිතා වන වචනයක් බවයි. මේ අනුව “සඞ‍්ඛාර” පදයෙන් අදහස් කරන අරුත පිළිබඳ වටහා ගැනීමට මෙවැනි යෙදීම් පිළිබඳ විමසීම ප්‍රයෝජනවත් වේ. 

පටිච්චසමුප්පාදයෙහි විග්‍රහ වන භවය ලෙස පරිවර්තනය කරන ලද “භවො” යන වචනයද මෙවැනිම උදාහරණයක් ලෙස දැක්විය හැකිය. මෙය ‘වෙයි’ යන අරුත් ඇති “භවති” යන ක්‍රියා පදයෙහි භාව වාචික කිතක පදයයි. එවිට “භවො” යන්න ‘වීම’ යන සරළ අරුත් ඇති පදයක් ලෙස හැඳින්විය හැකිය. නමුත් භවය පිළිබඳ උපමා ඇසුරින් විග්‍රහ වන සූත්‍ර වල “කම‍්මං ඛෙත‍්තං, විඤ‍්ඤාණං බීජං, තණ‍්හා සිනෙහො.” “කර්මය කෙතය, විඤ්ඤාණය බීජයය, තෘෂ්ණාව තෙත් බවය” (අංගුත්තර නිකාය 1, 2006, p. 394) ලෙස දැක්වෙන කාරණය විමසීමේදී ‘සත්වයාගේ කර්මානුරූප සාංසාරික පැවැත්ම’ යන අදහස අරුත් ගැන්වීමට “භවෝ” යන පදය සුදුසු බව වටහා ගත හැකිය.

මෙලෙස සාමාන්‍ය සමාජ ව්‍යවහාරයේ අදහස් ප්‍රකාශ කිරීමට ගන්නා සාමාන්‍ය වචන ගැඹුරු අරුත් ප්‍රකාශ කිරීම සඳහා යොදා ගැනීම සහ එහි තිබෙන යුක්ති සහගත බව පරික්ෂා කොට බැලිය යුතුය. 

රස සංකල්පය

රස විඳීම යනු බොහෝ ජනයාට රුචි වූ සාධාරණ කාරණාවකි. යම් සාහිත්‍යක රසයක් නොමැතිනම් එම සාහිත්‍ය මිනිසුන් විසින් පිළිගන්නේ නැත. ලෝකයෙහි ඇතැම් රස විඳීම් කෙලෙස් සහිත වන අතර තව තවත් ක්ලේෂ ධර්මයන්ගේ වර්ධනය පිණිස එය හේතු වේ. බුදු රජුන් වදාල ධර්මයෙහිද නොයෙක් රසයන් අන්තර් ගත වේ. එම රසයන් ශ්‍රාවකයාව ක්ලේෂ ධර්මයන්ගෙන් මිදවීම පිණිස හේතු වේ. ධර්මයෙහි මෙම රස විඳීම කේන්ද්‍ර අපසාරී වින්දනයක් ලෙස හැඳින්විය හැකිය. බුදු දහමෙහි ප්‍රධානත්වය දරන්නේ ධර්ම රසයයි. “සබ්බ රසං ධම්ම රසො ජිනාති” “සියළු රස අතුරින් ධර්ම රසය දිනයි” (ඛුද්දක නිකාය 1, 2006, p. 112) ලෙසත් “සච්චං හවේ සාධුතරං රසානං” “රසයන් අතර සත්‍ය රසය වඩාත්ම යහපත් වේ” (සංයුක්ත නිකාය 1, 2006, p. 382) ලෙසත් ධර්මයෙහි සඳහන් වේ. එසේම “අත්ථරසස්ස ධම්මරසස්ස විමුත්තිරසස්ස භාගිනො භවිස්සාම” “අපි අර්ථ රසයටත් ධර්ම රසයටත් විමුත්ති රසයටත් භාජනය වෙමු” (අංගුත්තර නිකාය 1, 2006, p. 76) යන ආකාරයෙන් හික්මිය යුතු බවද බුදු රජහු ශ්‍රාවකයන් හට වදාළහ. 

එනමුත් ධර්මයෙහි අර්ථරසය, ධර්මරසය, විමුත්තිරසය, සත්‍යරසය ලෙස හඳුන්වන ලෝකෝත්තර සතුටට අමතරව සාමාන්‍ය ලෝකයෙහි ජනයා ඇලුම් කරන හාස්‍ය රසය, ශෘංගාර රසය, කරුණ රසය, වීර රසය, භයානක රසය ආදී රසයන්ද දකින්නට ලැබේ. විශේෂයෙන් මෙබඳු රසයන් තුලින් සාමාන්‍ය ජනයා හට ධර්මයට යොමු වීමට කැමැත්තක් ඇතිවේ. පාප කර්මය හා දුගතිය කෙරෙහි භය උපදවා ගැනීමටත් කුසල කර්මය හා සුගතිය කෙරෙහි කැමැත්ත උපදවා ගැනීමටත් මෙම රසයන් ඉවහල් වේ. බුදු රජුන්ගේ අනුපිලිවෙල කතාවෙහි මුල් කොටස වන දානකථා, සීලකථා, සග්ගකථා යන්නෙන් පින් රැස් කිරීමේ කුසල් වැඩීමේ යහපත පෙන්වා දෙයි. බුදු රජුන්ගේ සග්ගකථාව පිළිබඳ සඳහන් විමානවත්ථු කථා විස්තරයන්හි දෙව්ලොව සුන්දරත්වය පිළිබඳ මනාව විස්තරවේ. මෙම විස්තරයන්හි ඇති රසය කෙනෙකු ධර්ම මාර්ගය කරා ගෙන ඒමට ඉවහල් වනු බව පැහැදිලිය. උදාහරණයක් ලෙස ජනපද කල්‍යාණි පිළිබඳ වූ තියුණු රාගයෙන් ගිහි වීමට සිතු නන්ද හිමියන් සසුන් බඹසරට ඇළුම් කරවූයේ තව්තිසාවෙහි දිව්‍ය අප්සරාවන් පෙන්වාය. බඹසරට ඇළුනු නන්ද හිමියන් කෙටි කලකින් එම දෙව් ලොව සැප කෙරෙහි ඇති ආසාවද අතහැර ධර්මාවබෝධ කළහ.

එසේම ථේර ගාථා පාලියෙහි රහතන් වහන්සේලා කාමයන්ගෙන් වෙන්ව හුදෙකලාවම වනය තුළ ප්‍රීති ප්‍රමෝදයෙන් වාසය කරන අයුරු විචිත්‍ර ලෙස දැක්වේ. මෙම ගාථාවන් ශ්‍රවණය කිරීමේදී ඇතිවන නිස්කාමී රසය කෙනෙකු කාමයන්ගෙන් මුදවිමට සමත් වේ.

  මේ ආකාරයෙන් ධර්මයෙහි තිබෙන නොයෙක් රසයන් ශ්‍රාවකයා හට ධර්මාවබෝධය පිණිස විවිධ මට්ටම් වලින් උපකාර කරන ආකාරය පිළිබඳව අධ්‍යනය කිරීම වැදගත් වේ.

පරියාය දේශනාව

බුදු රජාණන් වහන්සේ නොයෙක් අවස්ථා වල පරියාය වශයෙන් ධර්මය දේශනා කළ අවස්ථා බොහෝමයක් පවතී. “එවං පරියායදෙසිතො ඛො ආනන්‍ද, මයා ධම‍්මො.” “ආනන්‍ද, මෙසේ මා විසින් දහම් පරියාය වශයෙන් දේශනා කරන ලදී” (සංයුක්ත නිකාය 4, 2006, p. 426) ලෙස පඤ්චකංග සූත්‍රයෙහි සඳහන් වේ. මෙම පරියාය දේශනාව සම්බුද්ධ දේශනාවෙහි බොහෝ සෙයින් යෙදී තිබෙනු දැකිය හැකි අතර ඇතැම් පරියායන් යොදා තිබෙන ආකාරය ආශ්චර්ය ජනක වේ. එසේම ලොව වෙනත් සම්භාවනීය, දාර්ශණික කෘති වල බුදු රජුන්ගේ මෙම දේශනා විලාසය මෙලෙස භාවිතා වී නොමැත. 

සීහසේනාපති සූත්‍රයෙහි බුදු රජහු තමන් වහන්සේව අකිරියවාදී කිරියවාදී උච‍්ඡෙදවාදී වැනි නොයෙක් වචන වලින් හැඳින්විය හැකි බව වදාළහ. එනම්,

“අහං හි සීහ, අකිරියං වදාමි කායදුච‍්චරිතස‍්ස වචීදුච‍්චරිතස‍්ස මනොදුච‍්චරිතස‍්ස, අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම‍්මානං අකිරියං වදාමි. අයං ඛො සීහ, පරියායො යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය අකිරියවාදො සමණො ගොතමො අකිරියාය ධම‍්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතීති.” “සීහය, මම වනාහි කාය දුශ්චරිතයාගේ වාග් දුශ්චරිතයාගේ මනෝ දුශ්චරිතයාගේ අක්‍රියාව කියන්නෙමි, නන් වැදෑරුම් වූ ලාමක අකුශල ධර්‍මයන්ගේ අක්‍රියාව කියන්නෙමි. සීහය, ‘ශ්‍රමණ ගෞතම අක්‍රියවාද ඇත්තේ අක්‍රියාවට දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේය’යි මොනොවට කියන්නෙක් යම් කරුණෙකින් මට කියන්නේ නම් මේ එ කරුණ යි.” 

“අහං හි සීහ, කිරියං වදාමි. කායසුචරිතස‍්ස වචීසුචරිතස‍්ස මනොසුචරිතස‍්ස, අනෙකවිහිතානං කුසලානං ධම‍්මානං කිරියං වදාමි. අයං ඛො සීහ, පරියායො යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය කිරියවාදො සමණො ගොතමො කිරියාය ධම‍්මං දෙසෙති. තෙන ච සාවකෙ විනෙතීති.” “සීහය, මම් වනාහි කාය සුචරිතයාගේ වාක් සුචරිතයාගේ මනස් සුචරිතයාගේ ක්‍රියාව කියමි, නන් වැදැරුම් කුසල්දහමුන්ගේ ක්‍රියාව කියමි. සීහය. ‘ශ්‍රමණ ගෞතම ක්‍රියාවාද ඇත්තේ ක්‍රියාවට දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියන්නෙක් මට කියා නම් මේ එ කරුණ යි.”

“අහං හි සීහ, උච‍්ඡෙදං වදාමි රාගස‍්ස දොසස‍්ස මොහස‍්ස, අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම‍්මානං උච‍්ඡෙදං වදාමි. අයං ඛො සීහ, පරියායො යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය උච‍්ඡෙදවාදො සමණො ගොතමො උච‍්ඡෙදාය ධම‍්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතීති.”

“සීහය මම වනාහි රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ උච්ඡේදය කියන්නෙමි, අනේක විහිත වූ ලාමක අකුශල ධර්‍මයන්ගේ උච්ඡේදය කියන්නෙමි. සීහය, ‘ශ්‍රමණ ගෞතම තෙම උච්ඡේද වාද ඇතියේ උච්ඡේදය පිණිස දම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයේ මට කියන්නේ නම් මේ එ කරුණයි.” (අංගුත්තර නිකාය 5, 2006, p. 56)

අකිරියවාදී යන පදය සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ කර්ම කර්මඵල නොපිළිගන්නා අයෙකුටය. නමුත් මෙම උදාහරණය අනුව අකිරියවාදී යන පදය වෙනත් පරියායකින් බුදු රජුන් හැඳින්වීමට යෙදිය හැකි බව පෙනේ. 

තවද මහා වේදල්ල සූත්‍රයෙහි අප්‍රමාණ චේතෝවිමුක්තිය, ආකිඤ්චඤ්ඤා චේතෝවිමුක්තිය, සුඤ්ඤත චේතෝවිමුක්තිය සහ අනිමිත්ත චේතෝවිමුක්තිය වෙනස් වෙනස් අරුත් ඇති ලෙස දේශනා කළ හැකි පරියායක් දැක්වෙන අතර එකම අරුතක් ඇති ලෙසින් විස්තර කර හැකි පරියායක් ද සඳහන් වේ.

මෙසේ නොයෙක් පරියයන්ගෙන් ධර්මය දේශනා කොට තිබෙන බව මේ අනුසාරයෙන් වටහා ගත හැකිය.

පාලි භාෂාවෙහි විකාශනය

පාලි භාෂාවෙහි වචන පරිණාමය වූ ආකාරය නොයෙක් සූත්‍රයන්හි සඳහන් වේ. මේ පිළිබඳ ප්‍රධාන වශයෙන්ම කරුණු ඇතුලත් සූත්‍රය වන්නේ දීඝ නිකායෙහි අග්ගඤ්ඤ සූත්‍රයයි. මෙම සූත්‍රයෙහි ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුතවී පෘථිවියෙහි වාසයට පැමිණි සත්වයන් කාලයත් සමඟ පරිණාමය වන විට එම සත්වයන් අතර ඇතිවූ නොයෙක් සමාජීය ගැටළු මුල්කොට ගෙන ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ක්ෂුද්‍ර ලෙස සිවු කුලයකට බෙදුණි. සත්වයා තුල ඇතිවූ පරිහානිකර කෙලෙස් ස්වභාවයන් දැක එම සිවු කුලයන්ගෙන් කාමයන් අත්හැර පැවිදි වූ පිරිස ශ්‍රමණ නම් විය. මෙම වචන සෑදුනු ආකාරය මෙම සූත්‍රයෙහි විස්තර වේ. 

“මහාජනසම‍්මතො’ති ඛො වාසෙට‍්ඨා ‘මහාසම‍්මතො මහාසම‍්මතො’ත්‍වෙව පඨමං අක‍්ඛරං උපනිබ‍්බත‍්තං.” “මහා ජනාය විසින් සම්මත හෙයින් ම ඔහුට ‘මහාසම්මත ය, මහාසම්මත යැ’ යි ම පළමු නම් වහර ඇති විය.”

“ඛෙත‍්තානං අධිපතීති ඛො වාසෙට‍්ඨා, ‘ඛත‍්තියො ඛත‍්තියො’ත්‍වෙව දුතියං අක‍්ඛරං උපනිබ‍්බත‍්තං.” “වාශිෂ්ඨයෙනි, කෙත්නට අධිපති වී නු යි ‘ක්‍ෂත්‍රිය ය, ක්‍ෂත්‍රිය යැ’ යි ම දෙවෙනි නම් වහර ඇති විය.”

“ධම‍්මෙන පරෙ රඤ‍්ජෙතීති ඛො වාසෙට‍්ඨා, ‘රාජා, රාජා’ත්‍වෙව තතියං අක‍්ඛරං උපනිබ‍්බත‍්තං.” “වාශිෂ්ඨයෙනි, දැහැමින් අනුන් සුවපත් කෙරෙනු යි ‘රජ ය, රජ’ යැ යි කියා ම තෙවෙනි නම් වහර ඇති විය.”

“පාපකෙ අකුසලෙ ධම‍්මෙ බාහෙන‍්තීති ඛො වාසෙට‍්ඨා, ‘බ්‍රාහ‍්මණා බ්‍රාහ‍්මණා’ත්‍වෙව පඨමං අක‍්ඛරං උපනිබ‍්බත‍්තං.” “වාශිෂ්ඨයෙනි, ලාමක වූ අකුශල ධර්‍මයන් බැහැර ලත් නු යි ම ‘බ්‍රාහ්මණයෝ ය, බ්‍රාහ්මණයෝ ය’ කියා ම පළමු නාම ව්‍යවහාරය පහළ විය.” (දීඝ නිකාය 3, 2006, p. 156)

එසේම ධම්මපදයෙහි මෙසේ සඳහන් වේ.

“බාහිතපාපො’ති බ්‍රාහ‍්මණො සමචරියා සමණො’ති වුච‍්චති.

පබ‍්බාජයත‍්තනො මලං තස‍්මා පබ‍්බජිතො’ති වුච‍්චති.”

“යම් හෙයෙකින් සන්තානයෙන් බැහැර කරණ ලද පාප ධර්‍ම ඇත්තේ නු යි බ්‍රාහ්මණ නැමැ යි කියනු ලැබේ ද, අකුසල් සන්සිඳුවා වසන හෙයින් ශ්‍රමණ යැ යි කියනු ලැබේ ද, එසේ ම යම්හෙයෙකින් තමාගේ රාගාදි මල පහ කෙරේ ද, එ හෙයින් පබ්බජිතයා යී කියනු ලැබේ.” (ඛුද්දක නිකාය 1, 2006, p. 120)

මේ අනුව පෙනෙන්නේ අතීත ජන සමාජය තුල බුදු රජුන් භාවිතා කළ භාෂාවෙහි වචන සකස් වූ යම්කිසි සාධාරණ ආකාරයක් තිබෙන බවයි. එසේම තවත් සූත්‍රයන්හි “ලුජ‍්ජතීති ඛො භික‍්ඛු තස‍්මා ලොකොති වුච‍්චති.” “නැසී යන නිසා ලෝකය යැයි කියනු ලැබේ” (සංයුක්ත නිකාය 4, 2006, p. 118), “රුප්පතීති ඛො භික‍්ඛවෙ තස‍්මා රූපන්ති වුච‍්චති.” “විකාර ස්වරූපයකට පත්වන හෙයින් රූපය යැයි කියනු ලැබේ” (සංයුක්ත නිකාය 3, 2006, p. 148) යන අයුරින් වචන වලින් අදහස් කරන දෙය පිළිබඳව බුදු රජුන් දේශනා කොට තිබේ. මෙසේ සෑම වචනයක් පිටුපසම තිබෙන කථා විස්තරය පිළිබඳව සඳහන් නොවුනද එම වචන සකස් වන ආකාරය පිළිබඳ යම් වටහා ගැනීමක් තිබීම අවශ්‍ය වේ. 

පාලි භාෂාව හා ප්‍රඥාව අතර ඇති සම්බන්ධය

ඉහත සඳහන් කළ පරිදි බුදු රජුන් ධර්මය දේශනා කිරීමට භාවිතා කළ පාලි භාෂාවෙහි වචන සකස්වූ යම් සාධාරණ ආකාරයක් තිබේ. එසේම බුදු රජුන්හට ධර්ම දේශනාවේදී ශ්‍රාවකයාට අවබෝධ කරවීමට අවශ්‍ය සියුම් කාරණා ප්‍රකාශ කිරීම සඳහා පාලි භාෂාවෙහි තිබෙන වචන ඉතා සුදුසු බව ත්‍රිපිටකය අධ්‍යනය කිරීමේදී පෙනී යයි. එනම් එම වචන බුදු රජුන් හට ගැඹුරු ධර්මයක් දේශනා කිරීමට හැකි වන පරිදි ස්වභාවිකව එම ජන සමාජය තුලම සකස් වූ වචන යැයි හැඟේ. 

බුදු දහමෙහි ප්‍රධානතම දහම් නය ලෙස පිළිගනු ලබන පටිච්චසමුප්පාදයෙහි ‘අවිජ්ජා පච්චයා සංඛාරා’ ලෙස සඳහන් වන තැන්හි සංඛාර විස්තර වන්නේ කායසංඛාර, වචීසංඛාර හා චිත්තසංඛාර ලෙසය. මෙහිදී වචී සංඛාර විතක්ක විචාර ලෙස විස්තර වන අතර “පුබ‍්බෙ ඛො ආවුසො විසාඛ, විතක‍්කෙත්‍වා විචාරෙත්‍වා පච‍්ඡා වාචං භින්‍දති. තස‍්මා විතක‍්කවිචාරා වචීසඞ‍්ඛාරො” “ඇවත විසාඛය, කලින්ම විතර්ක කොට විචාර කොට පසුව වචනය බිඳියි” (මජ්ඣිම නිකාය 1, 2006, p. 708) ලෙස චුල්ලවේදල්ල සූත්‍රයෙහි සඳහන් වේ. මෙහි තේරුම නම් අවිද්‍යා සහගත විතක්ක විචාර මුල් වී වචන කථා කිරීම සිදු වන බවයි. මෙම න්‍යායාත්මක පදනම යම් සමාජයක භාෂාවක් විකාෂණය වීමට මූලික වශයෙන් බලපාන අතර බුදු රජුන් භාවිතා කළ භාෂාවෙහි වචන විකාෂණය වූ අයුරු වටහා ගැනීමටද උපකාර වේ.

එසේම නිබ්බේධික සූත්‍රයෙහි “වොහාර වෙපක‍්කාහං භික‍්ඛවෙ සඤ‍්ඤං වදාමි. යථා යථා නං සඤ‍්ජානාති, තථා තථා වොහරති එවං සඤ‍්ඤී අහොසින‍්ති” “මහණෙනි, මම සඤ්ඤාව ව්‍යවහාරය විපාක කොට ඇත්තක් බව පවසමි. යම් යම් ලෙසින් හඳුනා ගනියිද, ඒ ඒ අයුරින් ‘මෙසේ හඳුනා ගතිමි’ යැයි ව්‍යවහාර කරයි” (අංගුත්තර නිකාය 4, 2006, p. 206). මෙසේ භාෂා ව්‍යවහාරය පිණිස ඉන්ද්‍රිය ගෝචර ලෝකය හඳුනා ගැනීම හේතු වන බව පැහැදිලි වේ. 

එපමණක් නොව ධාතු සංයුක්තයෙහි බාහිරධාතුනානත්ත සූත්‍රයෙහි සඳහන් ආකාරයට රූපධාතු, සද්දධාතු, ගන්ධධාතු, රසධාතු, ඵොට්ඨබ්බධාතු හා ධම්මධාතු නම් බාහිර ධාතුනානත්වය සඤ්ඤානානත්වය පිණිස හේතු වන්නේය (සංයුක්ත නිකාය 2, 2006, p. 226). එනම් ඉන්ද්‍රිය ගෝචර නොයෙක් නොයෙක් බාහිර අරමුණු හේතුවෙන් ඊට අදාල වෙනස් වෙනස් සඤ්ඤාවන් (හඳුනාගැනීම්) ඇතිවේ. 

මේ අනුව සිතිය හැක්කේ අවිද්‍යාවෙන් යුක්ත වුවද ප්‍රඥාවන්ත මිනිසුන් සිටින සමාජයක ඔවුන් විසින් ප්‍රඥා සම්පන්න ලෙස හඳුනාගත් ලෝකය විග්‍රහ කිරීමේදී සකස් වූ වචන බුදු රජුන් හට ධර්මය දේශනා කිරීමට යොදාගත හැකි වූ බවයි. එනම් ප්‍රඥාවෙහි අනුග්‍රහයෙන් යුතුව පරිණාමය වූ වාග් ව්‍යවහාරයන් නිසි ලෙස භාවිතා කරමින් දේශනා කරන ධර්මය ශ්‍රවණය කරන ශ්‍රාවකයා තුළ ප්‍රඥා සම්ප්‍රයුක්ත කුසල සඤ්ඤාවන් ඉපිදවිය හැකි බව සිතිය හැකිය.

අග්ගඤ්ඤ සූත්‍රය, චක්කවත්තිසිහනාද සූත්‍රය, ද්‍රෝණ සූත්‍රය වැනි සූත්‍ර වලත්, අපදානපාළිය, ජාතකපාළිය වැනි ත්‍රිපිටක ග්‍රන්ථ වලත් බුදුරජුන් පහළ වීමට පෙර දඹදිව මධ්‍යමණ්ඩලය ඇසුරු කරගත් ජන සමාජය පිළිබඳව නොයෙක් විස්තර සඳහන් වේ. එම විස්තරයන්හි මෙම මහා භද්‍ර කල්පයෙහි ගෞතම බුදුරජුන්ට පළමුව පහළ වූ බුදු රජාණන් වහන්සේලාගේ බුදු සසුන් පිළිබඳවද පසේ බුදුරජාණන් වහන්සේලා පිළිබඳවද නොයෙක් අභිඤ්ඤාවන් සාක්ෂාත් කළ සෘෂි වරුන් පිළිබඳවද තොරතුරු සඳහන් වේ. මෙහි දක්නට ලැබෙන විශේෂ කරුණක් වන්නේ එම සියළු බුදු රජාණන් වහන්සේලා, පසේ බුදු රජාණන් වහන්සේලා හා සෘෂි වරුන් හිමාල පර්වත පෙදෙස ඇසුරු කරගත් දඹදිව මධ්‍යමණ්ඩලය පිහිටි ප්‍රදේශයෙහි වාසය කළ බවයි. එනම් පංච කාමයන් අත්හල “කිං කුසලගවේසී” (මජ්ඣිම නිකාය 1, 2006, p. 400) ලෙස හඳුන්වන විමුක්ති ගවේෂක ශ්‍රමණ සමාජයක් දඹදිව මධ්‍යමණ්ඩලය ඇසුරුකොට ඉතා දිගුකලක් තිස්සේ පැවති බවයි. එසේම මෙහි සත්‍යතාවය පිළිබඳ ලක්ෂ සංඛ්‍යාත සාධු වරයන් වාසය කරන ඉන්දියාව අදටත් සාක්ෂි දරයි. මෙම කරුණු මත පදනම්ව සිතිය හැක්කේ ලෝකයෙහි අනෙක් ප්‍රදේශයන්ට සාපේක්ෂව දඹදිව මධ්‍යමණ්ඩලය පිහිටි සමාජයෙහි බිහිවූ භාෂාවන්හි සත්‍යාවබෝධය, භාවනාව, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය ආදී අධ්‍යාත්මික භාවයන් විග්‍රහ කිරීමට සුදුසු වචන බිහිවී ඇති බවයි. මේ අනුව ත්‍රිපිටක ධර්මයට අනුලොම් වූ සුවිශේෂී දෘෂ්ඨි කෝණයකින් බුදු රජුන් භාවිතා කළ භාෂාව පිළිබඳ අධ්‍යනය කළ හැකිය.

බුදුරජාණන් වහන්සේ පහළ වූ දඹදිව මධ්‍ය මණ්ඩලය ආශ්‍රිත ප්‍රදේශයේ බුදුරජුන් පහළ වීමටත් බොහෝ කලකට පෙර සිට වාසය කළ භාවනා යෝගී විමුක්ති ගවේෂක ශ්‍රමණ පිරිස් කාමයන්ගේ අදීනව නුවණින් දැක කාමයන් අත්හැර ධ්‍යාන වැඩූ අතර නොයෙක් ගැඹුරු සමාධි හා නොයෙක් අභිඤ්ඤාවන් පවා උපදවා ගත්හ. මෙබඳු විශේෂිත පුද්ගලයන්ගේ ප්‍රඥාව එම සමාජයෙහි භාවිතා වන භාෂාව පරිණාමය වීමට සෘජු ලෙස බලපෑමට ඇති බව සිතිය හැකිය. පාලි භාෂාවේ වචන නිර්මාණය වූ ආකාරය පිළිබඳව ත්‍රිපිටකයෙහි සඳහන් කරුණු ඔස්සේ සිදුකළ අධ්‍යනයක් ධර්මයෙහි ගැබ් වූ ගැඹුරු අරුත් වටහාගනු කැමැති ශ්‍රාවකයා හට තිබිය යුතුය.

ඉහත සඳහන් කාරණා සැලකීමේදී පාලි සූත්‍ර අධ්‍යනයේදී දාර්ශනික ඉගැන්වීම් වලට අමතරව අවධානය යොමු කළ යුතු වෙනත් සුවිශේෂී කරුණු රාශියක් තිබෙන බව දැකගත හැකිය. 

ආශ්‍රේය ග්‍රන්ථ

අංගුත්තර නිකාය 1 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

අංගුත්තර නිකාය 4 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

අංගුත්තර නිකාය 5 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

අංගුත්තර නිකාය 6 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

ඛුද්දක නිකාය 1 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

දීඝ නිකාය 2 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

දීඝ නිකාය 3 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

නෙත්තිප්‍රකරණය (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

මජ්ඣිම නිකාය 1 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

මජ්ඣිම නිකාය 2 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

මහාවග්ගපාළි 1 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

සංයුක්ත නිකාය 1 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

සංයුක්ත නිකාය 2 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

සංයුක්ත නිකාය 3 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

සංයුක්ත නිකාය 4 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

Karma

කර්ම විභංගය

කතෘ: පූජ්‍ය පිළියන්දල මහින්දවිජය හිමි

හැඳින්වීම

බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනු ධර්මය වනාහි කර්මය සහ කර්ම විපාක මත පදනම්ව දේශනා කළ ධර්මයක් බව ත්‍රිපිටකය අධ්‍යනය කිරීමේදී පෙනෙන පැහැදිළි කරුණකි. බුදු රජුන් හට සම්බුද්ධත්වයට පෙරදීම බෝධි මූලයේදී පෙරවිසූ කඳ පිළිවෙල දක්නා නුවණ වන පුබ්බේනිවාසානුස්සති ඥානය හා සත්වයන්ගේ චුතිය හා උපත පිළිබඳ දන්නා නුවණ වන චුතූපපාත ඥානය උපදවා ගැනීමෙන් පසු කර්මය පිළිබඳ අවබෝධය ඇතිවූ බව “යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාමි” “කර්මය වූ පරිදි මිය පරලොව යන සත්ත්‍වයන් දනිමි” (මජ්ඣිම නිකාය 1, 2006, p. 294) යන පාඨයෙන් පැහැදිලි වේ. මෙයින් ගම්‍ය වන කරුණක් නම් අති ගාම්භීර වූ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධයට පෙර කර්මය හා කර්ම ඵලය පිළිබඳ වටහා ගැනීමක් අවශ්‍ය වන බවයි. මෙම ඥාණ ද්විත්වය උපදවාගෙන නොමැති ශ්‍රාවකයන් හට ධර්මාවබෝධය පිණිස උපකාර වනු වස් බුදු රජුන් විසින් කර්මය හා කර්ම ඵලය පිළිබඳව නොයෙක් පරියායන්ගෙන් ධර්මය දේශනා කොට තිබෙන බව ත්‍රිපිටකය අධ්‍යනය කිරීමේදී පෙනී යයි.

 කර්මය හා කර්මඵලය පිළිගැනීම ධර්මාවබෝධය පිණිස අත්‍යවශ්‍ය වන අතර එම පිළිගැනීම බුදු රජුන් විසින් අගය කරන ලද්දකි. මේ බවට දැක්විය හැකි හොඳම නිදසුනක් නම් පෙර අන්‍ය තීර්ථකයෙකු බුදු සසුනෙහි පැවිදි උපසම්පදා වන්නේ නම් සංඝයා යටතේ සිවුමසක පරිවාස කාලයක් ලබා දිය යුතු ලෙස බුදු රජාණන් වහන්සේ විසින් පණවා තිබුනද ගිනිපුදන ජටිලයන් මෙම පිරිවෙස් කාලයෙන් නිදහස් කර තිබීමයි. එයට හේතුව ලෙස බුදු රජුන් වදාලේ “යෙ තෙ භික‍්ඛවෙ, අග‍්ගිකා ජටිලකා තෙ ආගතා උපසම‍්පාදෙතබ‍්බා. න තෙසං පරිවාසො දාතබ‍්බො. තං කිස‍්ස හෙතු. කම‍්මවාදිනො එතෙ භික‍්ඛවෙ, කිරියවාදිනො” “මහණෙනි, යම් ඒ ගිනිපුදන ජටිලයන් වෙත් නම් ආවා වූ ඔහු උපසපන් කළ යුතු ය. ඔවුන්ට පිරිවෙස් නො දිය යුතු ය. ඊට හේතු කිම? මහණෙනි, මොහු කර්‍මවාදීහු ක්‍රියාවාදීහු වෙත්” (මහාවග්ගපාළි 1, 2006, p. 176). එසේම පරලොව සුගතිය පිණිස හේතුවන කර්ම කර්මඵල පිළිගැනීම ලෞකික සම්මා දිට්ඨිය තුලද “අත්ථි සුකට දුකකටානං කම්මානං ඵලං විපාකෝ” “යහපත් අයහපත් කර්මයන්ගේ විපාක ඇත්තේය” (අංගුත්තර නිකාය 6, 2006, p. 490) ලෙස නොයෙක් අවස්ථා වලදී බුදු රජහු දේශනා කළ අතර කර්ම කර්මඵල පිළිනොගැනීම මිථ්‍යා දෘෂ්ඨියක් ලෙසද වදාල සේක. 

ත්‍රිපිටකය තුළ කර්මය විවිධ ආකාරයෙන් විස්තර වන සම්බුද්ධ දේශනා අන්තර්ගත වේ. මේ අතර මජ්ඣිම නිකායෙහි විභංග වර්ගයෙහි සඳහන් චුල්ලකම්මවිභංග සූත්‍රය සහ මහාකම්මවිභංග සූත්‍රය කර්මය පිළිබඳ බුදු රජුන් වදාල විග්‍රහය වටහා ගැනීමට මහෝපකාරී වන සුප්‍රකට සම්බුද්ධ දේශනා දෙකකි. එසේම මෙම සුත්‍ර දේශනා දෙක අධ්‍යනය කිරීමේදී ඒවා අතර යම් සම විෂමතා තිබෙන බව දිස්වේ. මෙහිදී එම සම විෂමතා පිළිබඳ පරීක්ෂා කොට බලන අතර එම විෂමතා පිළිබඳ වන සැක සංකා දුරුවන ලෙස ථේරවාද බුදු දහමේ විස්තර වන කර්මය පිළිබඳව අධ්‍යනයක් සිදු කෙරේ.

මජ්ඣිම නිකායෙහි විභංග වර්ගය

චුල්ලකම්මවිභංග සූත්‍රය සහ මහාකම්මවිභංග සූත්‍රය සංග්‍රහ වී තිබෙන්නේ සූත්‍ර පිටකයෙහි, මජ්ඣිම නිකායෙහි විභංග වර්ගයෙහිය. මෙම වර්ගයෙහි සූත්‍ර දේශනා 12ක් අඩංගු වන අතර එම සියළුම සූත්‍ර දේශනා වල දැකිය හැකි පොදු ලක්ෂණය වනුයේ බුදු රජුන් කෙටියෙන් දේශනා කළ යම් දහම් කරුණක් විභජනය කර දැක්වීමයි. නිදසුන් වශයෙන් මෙම වර්ගයෙහි ඇතුලත් ධාතුවිභංග සූත්‍රයෙහි පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස සහ විඤ්ඤාණ යන සය වැදෑරුම් ධාතු පිළිබඳව බෙදා විග්‍රහ කිරීමක් අඩංගු වේ. එසේම සච්චවිභංග සූත්‍රයෙහි චතුරාර්‍ය සත්‍ය පිළිබඳව බෙදා විග්‍රහ කිරීමක් සඳහන් වන අතර දක්ඛිණාවිභංග සූත්‍රයෙහි පුද්ගලික සහ සාංඝික වශයෙන් වන දක්ෂිණාවන් පිළිබඳව බෙදා විග්‍රහ කිරීමක් සඳහන් වේ. මෙ අනුව බලන කල්හි චුල්ලකම්මවිභංග සූත්‍රය සහ මහාකම්මවිභංග සූත්‍රයන්හි සඳහන් වන්නේ කර්මය පිළිබඳව බුදු රජුන් සිදුකළ බෙදා විග්‍රහ කිරීම් දෙකකි. එසේම මෙම විග්‍රහයන් කර්මය යන එකම ධර්මය පිළිබඳව බුදු රජුන් විසින් සිදු කරන ලද වෙනස් ආකාරයේ බෙදා විග්‍රහ කිරීම් දෙකකි. එම සූත්‍ර නාමයන් සළකන කල්හි, පළමු සූත්‍රයෙහි විග්‍රහය සාපේක්ෂව කුඩා බැවින් “චුල්ල” යන පදය භාවිතා කොට තිබෙන බවත් අනෙක් සූත්‍රය සාපේක්ෂව තරමක් විශාල බැවින් “මහා” යන පදය යොදා ඇති බවත් සිතිය හැකිය. කෙසේ වෙතත් මෙම සූත්‍ර දෙකෙහි අඩංගු වන දහම් පරියායන් දෙකම කර්මය පිළිබඳව බුදු රජුන් පෙන්වා වදාල දහම වටහා ගැනීමට අත්‍යවශ්‍ය වන බව කිව හැකිය.

චුල්ලකම්මවිභංග සූත්‍රය

බුදු රජාණන් වහන්සේ සැවත් නුවර වැඩසිටින කල්හි තෝදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පුත්‍ර වූ සුභ නම් තරුණයා බුදු රජුන්ගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මෙම සූත්‍ර දේශනාව වදාරණ ලදී. සුභ තරුණයා මෙම ප්‍රශ්නය බුදු රජුන්ගෙන් විමසීමට හේතුව ලෙස අටුවාව සඳහන් කරන්නේ ඔහුගේ පියා වූ තොදෙය්ය බ්‍රාහ්මණයා මිය යෑමෙන් පසු තම නිවසෙහිම සුනඛයෙකු ලෙස ඉපදුනු විස්තරය ඇතුලත් කථා පුවතයි. දැඩි ලෝභ සිතින් යුක්ත වූ තෝදෙය්‍ය තෙමේ එම සුනඛයා ලෙස ඉපිද සිටිනු බව බුදු රජුන්ගෙන් දැනගත් සුභ තරුණයා ඒ පිළිබඳව සංවේග වී බුදු රජුන්ගෙන් මෙම ප්‍රශ්නය ඇසීය. එනම් “කො නු ඛො භො ගොතම, හෙතු කො පච‍්චයො, යෙන මනුස‍්සානංයෙව සතං මනුස‍්සභූතානං දිස‍්සන‍්ති හීනප‍්පණීතතා. දිස‍්සන‍්ති හි භො ගොතම, මනුස‍්සා අප‍්පායුකා, දිස‍්සන‍්ති දීඝායුකා. දිස‍්සන‍්ති බව‍්හාබාධා, දිස‍්සන‍්ති අප‍්පාබාධා. දිස‍්සන‍්ති දුබ‍්බණ‍්ණා, දිස‍්සන‍්ති වණ‍්ණවන‍්තො. දිස‍්සන‍්ති අප‍්පෙසක‍්ඛා, දිස‍්සන‍්ති මහෙසක‍්ඛා. දිස‍්සන‍්ති අප‍්පභොගා, දිස‍්සන‍්ති මහාභොගා. දිස‍්සන‍්ති නීචකුලීනා, දිස‍්සන‍්ති උච‍්චාකුලීනා. දිස‍්සන‍්ති දුප‍්පඤ‍්ඤා, දිස‍්සන‍්ති පඤ‍්ඤවන‍්තො. කො නු ඛො භො ගොතම හෙතු කො පච‍්චයො, යෙන මනුස‍්සානං යෙව සතං මනුස‍්සභූතානං දිස‍්සන‍්ති හීනප‍්පණීතතාති” “භවත් ගෞතමයන් වහන්ස, යම් කරුණෙකින් මිනිසත් බවට පැමිණි මිනිසුන්ගේ මැ හීනප්‍රණීත බව දක්නා ලැබෙයි. ඊට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ ද: භවත් ගෞතමයන් වහන්ස, අල්පායුෂ්ක මනුෂ්‍යයෝ දක්නා ලැබෙති, දීර්‍ඝායුෂ්කයෝ දක්නා ලැබෙති. බොහෝ ආබාධ ඇත්තාහු දක්නා ලැබෙති, අල්පාබාධයෝ දක්නා ලැබෙති. දුර්වර්‍ණයෝ දක්නා ලැබෙති, වර්‍ණවත් වූවාහු දක්නා ලැබෙති. අල්පේශාක්‍යයෝ දක්නා ලැබෙති, මහේශාක්‍යයෝ දක්නා ලැබෙති. අල්පභෝග ඇත්තාහු දක්නා ලැබෙති, මහාභෝග ඇත්තාහු දක්නා ලැබෙති. නීචකුලීනයෝ දක්නා ලැබෙති, උච්චාකුලීනයෝ දක්නා ලැබෙති. දුෂ්ප්‍රාඥයෝ දක්නා ලැබෙති, ප්‍රඥාවත් වූවාහු දක්නා ලැබෙත්. භවත් ගෞතමයන් වහන්ස, යම් කරුණෙකින් මිනිසත් බවට පැමිණි මිනිසුන්ගේ මැ හීනප්‍රණීත බව දක්නා ලැබෙත් ද ඊට හේතු කවරේ ද ප්‍රත්‍ය කවරේ දැ?” යැයි.

මෙහිදී බුදු රජාණන් වහන්සේ වදාලේ “කම‍්මස‍්සකා මාණව, සත‍්තා කම‍්මදායාදා කම‍්මයොනී කම‍්මබන්‍ධු කම‍්මප‍්පටිසරණා. කම‍්මං සත‍්තෙ විභජති යදිදං හීනප‍්පණීතතායාති.” “මාණවකය, සත්ත්‍වයෝ කර්‍මය ස්වකීය කොට ඇත්තාහ, කර්‍මය දායාදය කොට ඇත්තාහ, කර්‍මය උප්පත්ති ස්ථානය කොට ඇත්තාහ, කර්‍මය ඤාතියා කොට ඇත්තාහ, කර්‍මය පිළිසරණ කොට ඇත්තාහ. කර්‍මය මේ හීනප්‍රණීතභාවය පිණිස සත්ත්‍වයන් විභාග කෙරේ” (මජ්ඣිම නිකාය 3, 2006, p. 432) ලෙසයි. සුභ තරුණයා හට බුදු රජුන් වදාල සැබෑ අරුත වටහා ගැනීමට නොහැකි වූ විට ඒ පිළිබඳ විස්තර වශයෙන් දේශනා කරන ලෙස ඔහු බුදු රජුන්ගෙන් ඉල්ලා සිටියේය. මෙහිදී බුදු රජාණන් වහන්සේ කර්මය පිළිබඳ බෙදා කරන ලද විභජනයක් දේශනා කළ සේක. 

මහාකම්මවිභංග සූත්‍රය

බුදු රජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩවසන කල්හි සමිද්ධි නම් භික්ෂූන් වහන්සේ පෝතලිපුත්ත නම් පරිබ්‍රාජක තෙමේ සමඟ වූ කථා සල්ලාපයක් මුල් කොට මෙම දේශනාව වදාරණ ලදී. පෝතලිපුත්ත පරිබ්‍රාජක තෙමේ සමිද්ධි හිමියන් හට මෙසේ පැවසිය. එනම් “සම‍්මුඛා මෙතං ආවුසො සමිද‍්ධි, සමණස‍්ස ගොතමස‍්ස සුතං, සම‍්මුඛා පටිග‍්ගහිතං: මොඝං කායකම‍්මං, මොඝං වචීකම‍්මං, මනොකම‍්මමෙව සච‍්චන‍්ති. අත්‍ථි ච සා සමාපත‍්ති යං සමාපත‍්තිං සමාපන‍්නො න කිඤ‍්චි වෙදියතීති.” “ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෙනි, ශ්‍රමණ ගෞතමයන් හමුයෙහි මා විසින් තෙල අසනලද, හමුයෙහි පිළිගන්නා ලද: කායකර්‍ම හිස්ය, වාක්කර්‍මය හිස්ය, මනෝකර්‍මය ම සත්‍ය යැ යි. තවද යම් සමවතකට සමවන්නේ කිසි වේදනාවක් නො විඳී ද, එබඳු සමවතක් ඇතැ” (මජ්ඣිම නිකාය 3, 2006, p. 444) ලෙසයි. බුදු රජුන්ගෙන්ම මෙම කාරණාව ඇසූ බව හෙතෙමේ පැවසූ විට සමිද්ධි හිමියන් ප්‍රකාශ කළේ එය නිවැරදි නොවන බවයි. එවිට පෝතලිපුත්ත තෙමේ සමිද්ධි හිමියන්ගෙන් ප්‍රශ්නයක් විමසීය. එනම් “සඤ‍්චෙතනිකං, ආවුසො සමිද‍්ධි, කම‍්මං කත්‍වා කායෙන වාචාය මනසා, කිං සො වෙදියතීති.” “ඇවැත්නි, සමිද්ධි තෙරණුවෙනි, කයින් බසින් සිතින් දැන දැන කර්‍ම කොට හේ කවර වේදානාව විඳී දැ?” ලෙසයි. එවිට සමිද්ධි තෙරණුවෝ “සඤ‍්චෙතනිකං ආවුසො පොතලිපුත‍්ත, කම‍්මං කත්‍වා කායෙන වාචාය මනසා, දුක‍්ඛං සො වෙදියතීති.” “ඇවත් පෝතලිපුත්‍රය, කයින් බසින් සිතින් දැන දැන කර්‍ම කොට හේ දුක්ඛ වේදනා විඳී යයි.” ලෙස පිලිතුරු දුන්හ. තමන් විසින් දුන් පිළිතුර පිළිබඳව යළි විමසා බැලූ කල්හි සමිද්ධි තෙරුන් හට ඒ පිළිබඳ සැක සංකා ඇතිවිය. මේ හේතුවෙන් එම තෙරණුවෝ අනඳ තෙරණුවන් සමඟ බුදු රජුන් මුණ ගැසුනු අතර අනද හිමියන් විසින් එම සියළු විස්තර බුදු රජුන් හට පවසා සිටියහ. මෙහිදී බුදු රජුන් ප්‍රකාශ කොට සිටියේ “ඉමිනා ච ආනන්‍ද, සමිද‍්ධිනා මොඝපුරිසෙන පොතලිපුත‍්තස‍්ස පරිබ‍්බාජකස‍්ස විභජ‍්ජ ව්‍යාකරණීයො පඤ‍්හො එකංසෙන ව්‍යාකතො’ති.” “තවද ආනන්‍දය, සමිද්ධි මෝඝපුරුෂයා විසින් පෝතලිපුත්‍ර පරිව්‍රාජකයාහට බෙදා ප්‍රකාශ කළයුතු ප්‍රශ්නය ඒකාන්ත පිළිතුරෙන් විසඳනලදැය” ලෙසයි. සමිද්ධි තෙරණුවන් විසින් ප්‍රකාශ කළ පිළිතුර පිළිබඳ සතුටු නොවූ බුදු රජුන් නිවැරදි ලෙස පිළිතුරු දිය යුතු ආකාරය පිළිබඳ වදාළහ. එනම් “සඤ‍්චෙතනිකං ආවුසො පොතලිපුත‍්ත, කම‍්මං කත්‍වා කායෙන වාචාය මනසා සුඛවෙදනීයං, සුඛං සො වෙදියති සඤ‍්චෙතනිකං ආවුසො පොතලිපුත‍්ත, කම‍්මං කත්‍වා කායෙන වාචාය මනසා දුක‍්ඛවෙදනීයං, දුක‍්ඛං සො වෙදියති. සඤ‍්චෙතනිකං ආවුසො පොතලිපුත‍්ත, කම‍්මං කත්‍වා කායෙන වාචාය මනසා අදුක‍්ඛමසුඛවෙදනීයං, අදුක‍්ඛමසුඛං සො වෙදියතීති. එවං ව්‍යාකරමානො ඛො ආනන්‍ද, සමිද‍්ධි මොඝපුරිසො පොතලිපුත‍්තස‍්ස පරිබ‍්බාජකස‍්ස සම‍්මා ව්‍යාකරෙය්‍ය. අපිචානන්‍ද, කෙ ච අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා බාලා අව්‍යත‍්තා, කෙ ච තථාගතස‍්ස මහාකම‍්මවිභඞ‍්ගං ජානිස‍්සන‍්ති. සචෙ තුම‍්හෙ ආනන්‍ද, සුණෙය්‍යාථ තථාගතස‍්ස මහාකම‍්මවිභඞ‍්ගං විභජන‍්තස‍්සාති.” “ආනන්‍දය, ඉදින් මේ සමිද්ධි මෝඝපුරුෂ මෙසේ පුළුවුස්නාලදුයේ පෝතලිපුත්‍ර පරිව්‍රාජකයාහට මෙසේ ප්‍රකාශ කෙළේ නම් ‘ඇවැත, පෝතලිපුත්‍රය, කයින් වචසින් මනසින් දැන දැන සුඛවේදනීය කර්‍මය කොට හේ සුව විඳී. ඇවත පෝතලිපුත්‍රය, කයින් වචසින් මනසින් දැන දැන දුක්ඛවේදනීය කර්‍මය කොට හේ දුක් විඳී. ඇවත පෝතලිපුත්‍රය, කයින් වචසින් මනසින් දැන දැන අදුක්ඛමසුඛවේදනිය කර්‍මය කොට හේ අදුක්ඛමසුඛ වේදනාව විඳී’ යයි. ආනන්‍දය, මෙසේ විසඳන සමිද්ධි මෝඝපුරුෂ පෝතලිපුත්‍ර පරිව්‍රාජකයාට මොනොවට ප්‍රකාශ කරන්නේ යැ. තවද ආනන්‍දය, බාල වූ අව්‍යක්ත වූ අන්‍ය තීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ කවරහු ද? තථාගතයන්ගේ මහාකර්‍මවිභඞ්ගය කවරහු දතහෙත් ද? ඉදින් ආනන්‍දය තෙපි මහාකර්‍මවිභඞ්ගය විභාග කරන තථාගතයන්ගේ (දේශනාධර්‍මය) අසන්නහු (නම් මැනැවැ)” (මජ්ඣිම නිකාය 3, 2006, p. 446). මෙසේ සමිද්ධි තෙරුන් නිවැරදි කරන බුදු රජහු කර්මය සතර ආකාරයකට බෙදා විග්‍රහ කරමින් සිදු කළ මහාකම්මවිභංගය නම් සුවිශේෂිත දහම් පරියාය වදාල සේක.

කර්මය

ත්‍රිපිටක ධර්මය තුළ කර්මය පිළිබඳව බොහෝ කරුණු කාරණා සඳහන් වේ. කර්මානුරූප බලපෑම නිසා සංසාරගත සත්වයා ඉපදෙමින් මැරෙමින් දීර්ඝ ගමනක ගමන් කරන බව බුදු රජහු දේශනා කළහ. කර්මයට බැඳුනු සත්වයාගේ ස්වභාවය පිළිබඳ බුදු රජුන් වදාල ගාථාවක් සුත්ත නිපාතයෙහි වසේට්ඨ සූත්‍රයෙහි සඳහන් වන්නේ මෙසේය.

“කම‍්මානා වත‍්තති ලොකො කම‍්මනා වත‍්තති පජා,

කම‍්මනිබන්‍ධනා සත‍්තා රථස‍්සාණීව යායතො.”

“කර්‍මයෙන් ලෝකය පවතී. කර්‍මයෙන් ප්‍රජාව පවතී. සත්ත්‍වයෝ යන්නා වූ රථයාගේ අකුර මෙන් කර්‍මය නිබන්‍ධන කොට ඇත්තාහුය.” (සුත්තනිපාතය, 2006, p. 200)

මේ අනුව ලෝකයෙහි පැවැත්ම පිණිස කර්මයෙහි බලපෑම කොතරම් බලවත් දැයි සිතිය  හැකිය. එනම් සංසාර පැවැත්මට සත්වයා හිර වී තිබෙන්නේ කර්මය නිසාය. කොටින්ම කිවතොත් සුගති දුගති යන සියළු ලෝකයන් සකස්වීමට කර්මයෙහි බලපෑමක් තිබේ. මේ බව අංගුත්තර නිකායෙහි කම්මනිදාන සූත්‍රයෙහි මෙසේ සඳහන් වේ. “අථ ඛො භික‍්ඛවෙ ලොභජෙන කම‍්මෙන දොසජෙන කම‍්මෙන මොහජෙන කම‍්මෙන නිරයො පඤ‍්ඤායති, තිරච‍්ඡානයොනි පඤ‍්ඤායති, පෙත‍්තිවිසයො පඤ‍්ඤායති, යා වා පනඤ‍්ඤාපි කාචි දුග‍්ගතියො.” “වැලිත් මහණෙනි, ලෝභජකර්‍මයෙන්, ද්වේෂජකර්‍මයෙන්, මෝහජකර්‍මයෙන් නිරය පැණෙයි. තිරිසන් යොන් පැණෙයි. ප්‍රේත විෂය පැණෙයි. අනෙක් කිසි දුගතිහුදු පැණෙති.” “අථ ඛො භික‍්ඛවෙ අලොභජෙන කම‍්මෙන අදොසජෙන කම‍්මෙන අමොහජෙන කම‍්මෙන දෙවා පඤ‍්ඤායන‍්ති, මනුස‍්සා පඤ‍්ඤායන‍්ති, යා වා පනඤ‍්ඤාපි කාචි සුගතියො.” “වැලිත් මහණෙනි, අලෝභජ කර්‍මයෙන්, අද්වේෂජකර්‍මයෙන්, අමෝහජ කර්‍මයෙන් දෙවියෝ පැණෙත්. මනුෂ්‍යයෝ පැණෙත්. යම්බඳු අනෙකුදු කිසියම් සුගතිහු පැණෙත්.” (අංගුත්තර නිකාය 4, 2006, p. 96) 

සසර පැවැත්ම පිණිස මේසා බලපෑමක් සිදු කරන කර්මය පිළිබඳ වටහා ගැනීම ධර්මාවබෝධය පිණිස අත්‍යවශ්‍ය වන බව සම්බුද්ධ දේශනා අධ්‍යනය කිරීමේදී පැහැදිලිව පෙනෙන කරුණකි. එසේම සසර දුකින් නිදහස් වීම පිණිස මෙම කර්මානුරූප බලපෑමෙන් නිදහස් විය යුතු බවද බුදු රජහු වදාල සේක. 

දස කුසල හා අකුසල කර්මපථ

බොහෝ සූත්‍රයන්හි සඳහන් වන පරිදි සත්වයා මරණින් මතු දුගතියෙහි ඉපදීමට දස අකුසල කර්ම පථයන්ද සුගතියෙහි ඉපදීමට දස කුසල කර්ම පථයන්ද හේතු වේ. (සං. අසිබන්ධක සුත්ත) මෙහිදී බුදු රජහු දස අකුසල කර්ම පථයන් ලෙස “ප්‍රාණඝාතය, සොරකම, කාම මිත්‍යාචරය, මුසාවාදය, කේලම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම, අන් සතු දේට ආසා කිරීම හෙවත් අභිද්‍යාව, ව්‍යාපාදය සහ මිත්‍යා දෘෂ්ඨිය” පිළිබඳ වදාල අතර දස කුසල කර්ම පථ ලෙස “ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, කාම මිත්‍යාචරයෙන් වැළකීම, මුසාවාදයෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම, අන් සතු දේට ආසා නොකිරීම හෙවත් අනභිද්‍යාව, අව්‍යාපාදය සහ සම්මා දෘෂ්ඨිය” පිළිබඳ වදාල සේක. මෙබඳු සූත්‍රයන්හි මහාකම්මවිභංග සූත්‍රයෙහි සඳහන් පරිදි බුදු රජහු පුද්ගලයින් සිවු ආකාරයක් පිලිබඳ නොවදාල අතර දස අකුසල කර්මපථයන් හි සමාදන් වූ පුද්ගලයා දුගතියෙහි ඉපදෙන අයුරුත් දස කුසල කර්මපථයන් හි සමාදන් වූ පුද්ගලයා සුගතියෙහි ඉපදෙන අයුරුත් පමණක් දේශනා කළහ.

මෙහි කර්මපථ යන සමාස පදය පිළිබඳ විමසීම වැදගත් වේ. පථය යනු මාර්ගය වන අතර ප්‍රාණඝාත ආදී අකුසල ක්‍රියාවන්හි යෙදීමත් ඒවායින් වැලකීම නම් වූ කුසල ක්‍රියාවන්හි යෙදීමත් මාර්ගයන් හෙවත් පථයන් ලෙස මෙහිදී බුදු රජුන් අදහස් කොට ඇති බව සිතිය හැකිය. මජ්ඣිම නිකායෙහි මහාසිහනාද සූත්‍රයෙහි යම් කුසල අකුසල ක්‍රියාවන්හි යෙදී සිටීම මාර්ගයක හෙවත් පථයක බැසගෙන සිටින අයුරින් බුදු රජහු වදාළහ. එනම්, “ඉධාහං සාරිපුත‍්ත එකච‍්චං පුග‍්ගලං එවං චෙතසා චෙතො පරිච‍්ච පජානාමි: තථායං පුග‍්ගලො පටිපන‍්නො තථා ච ඉරීයති තඤ‍්ච මග‍්ගං සමාරූළ‍්හො යථා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජිස‍්සතීති.” “ශාරිපුත්‍රය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මා සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි: කය බිඳී මරණින් මතු අපාය වූ දුර්‍ගති වූ විවස ව පතිත වන නිරයෙහි යම් සේ උපදින්නේ ද, එසේ මේ පුද්ගල තෙමේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ යි.” (මජ්ඣිම නිකාය 1, 2006, p. 180) ලෙසයි.

කර්මයෙහි ප්‍රභේද

කර්මය පිළිබඳ නොයෙක් අදහස් බුදු සසුනෙන් බැහැර ඉගැන්වීම් වල සඳහන් වුවද බුදු රජුන් විසින් වදාල ධර්මයෙහි කර්මය පිළිබඳ අන් කවර ඉගැන්වීමකවත් දැකගත නොහැකි විග්‍රහයක් සඳහන් වේ. අංගුත්තර නිකායෙහි චතුක්ක නිපාතයෙහි බුදු රජහු කර්මය සතර ආකාරයකට බෙදා විග්‍රහ කළහ. එනම්, “අත්‍ථි භික‍්ඛවෙ කම‍්මං කණ‍්හං කණ‍්හවිපාකං. අත්‍ථි භික‍්ඛවෙ කම‍්මං සුක‍්කං සුක‍්කවිපාකං. අත්‍ථි භික‍්ඛවෙ කම‍්මං කණ‍්හසුක‍්කං කණ‍්හසුක‍්කවිපාකං. අත්‍ථි භික‍්ඛවෙ කම‍්මං අකණ‍්හං අසුක‍්කං අකණ‍්හඅසුක‍්කවිපාකං කම‍්මක‍්ඛයාය සංවත‍්තති.” “මහණෙනි, කළු විපාක ඇති කළු (අකුශල) කර්‍මයෙක් ඇත. මහණෙනි, සුදු විපාක ඇති සුදු (කුශල) කර්‍මයෙක් ඇත. මහණෙනි, කළු වූ ද සුදු වූ ද විපාක ඇති (මිශ්‍රක වන) කළු-සුදු කර්‍මයෙක් ඇත. මහණෙනි, කළු ද නො වූ සුදු ද නො වූ විපාක ඇති කර්‍මක්‍ෂය පිණිස පවත්නා කළුත් නොවූ සුදුත් නොවූ කර්‍මයෙක් ඇත.” (අංගුත්තර නිකාය 2, 2006, p. 446) මෙම විග්‍රහයෙහි තිබෙන විශේෂත්වය නම් කර්මය ප්‍රහාණය පිණිස මුල් වන්නේද කර්මයක් ම වන බවයි. මෙහි කළුත් නොවූ සුදුත් නොවූ කළුසුදු නොවන විපාක ඇති කර්මය ක්ෂය වීම පිණිස මුල් වන කර්මය ලෙස බුදු රජුන් වදාලේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. 

කර්මය පිරිසිඳ දැකීම

බුදු රජුන් විසින් වදාරණ ලද කර්මය පිළිබඳ සුප්‍රකට දහම් කරුණු රැසක් සඳහන් වන සූත්‍ර දේශනාවක් වන්නේ අංගුත්තර නිකායෙහි නෙබ්බේධික සූත්‍රයයි. නෙබ්බේධ යන්නෙහි අරුත පිරිසිඳ අවබෝධය යන්නයි. මෙම සූත්‍රයෙහි බුදු රජහු කර්ම නිරෝධය පිණිස පවතින නිබ්බෙධික බ්‍රහ්මචරිය නම් වූ පිරිසිඳ අවබෝධය ඇති කරන ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව නමින් කර්මය පිළිබඳ සුවිශේෂී විග්‍රහයක් වදාළහ (අංගුත්තර නිකාය 4, 2006, p. 208). මෙහිදී කර්මය, කර්මයේ නිදාන සම්භවය, කර්මයේ වේමත්තතාවය, කර්මයේ විපාක, කර්මයේ නිරෝධය සහ කර්මය නිරෝධය පිණිස පවතින ප්‍රතිපදාව යන මාතෘකා 6 පිළිබඳව වදාළ අතර ඒවා පහත පරිදි වේ.

  1. කර්මය යනු : “චෙතනාහං භික‍්ඛවෙ කම‍්මං වදාමි, චෙතයිත්‍වා කම‍්මං කරොති කායෙන වාචාය මනසා,” “මහණෙනි, චේතනාව කර්‍මය ය යි මම කියමි. චේතනා පහළ කොට කයින් වචසින් මනසින් කර්‍ම කෙරෙයි.” 
  2. කර්මයෙහි නිදාන සම්භවය යනු : “ඵස‍්සො භික‍්ඛවෙ කම‍්මානං නිදානසම‍්භවො” “මහණෙනි, ස්පර්‍ශය කර්‍මයන්ගේ නිදානසම්භව යි”
  3. කර්මයෙහි වේමත්තතාව යනු : “අත්‍ථි භික‍්ඛවෙ කම‍්මං නිරයවෙදනියං, අත්‍ථි කම‍්මං තිරච‍්ඡානයොනිවෙදනියා, අත්‍ථි කම‍්මං පෙත‍්තිවිසයවෙදනියං, අත්‍ථි කම‍්මං මනුස‍්සලොකවෙදනියං, අත්‍ථි කම‍්මං දෙවලොකවෙදනියං. අයං වුච‍්චති භික‍්ඛවෙ කම‍්මානං වෙමත‍්තතා.” “මහණෙනි, නිරයෙහි වේදනීය වූ කර්‍මයෙක් ඇත. තිරිසන්යොන්හි වේදනීය වූ කර්‍මයෙක් ඇත. ප්‍රේතවිෂයෙහි වේදනීය වූ කර්‍මයෙක් ඇත. මනුෂ්‍යලෝකයෙහි වේදනීය වූ කර්‍මයෙක් ඇත. දේවලෝකයෙහි වේදනීය වූ කර්‍මයෙක් ඇත. මහණෙනි, මෙය කර්‍මයන්ගේ වේමත්තතා යි කියනු ලැබේ” 
  4. කර්මයෙහි විපාක යනු : “තිවිධාහං භික‍්ඛවෙ කම‍්මානං විපාකං වදාමි: දිට‍්ඨෙවා ධම‍්මෙ, උපජ‍්ජෙ වා, අපරෙ වා පරියායෙ. අයං වුච‍්චති භික‍්ඛවෙ කම‍්මානං විපාකො.” “මහණෙනි, දිටුදැමියෙහි හෝ අනතුරු අත්බව්හි හෝ අනෙක් අත්බවෙක හෝ යි මම කර්‍මයන්ගේ විපාකය ත්‍රිවිධ කොට කියමි. මහණෙනි, මෙ කර්‍මයන්ගේ විපාක ය යි කියනු ලැබේ”
  5. කර්මයෙහි නිරෝධය යනු : “ඵස‍්සනිරොධො භික‍්ඛවෙ කම‍්මනිරොධො.” “මහණෙනි, ස්පර්‍ශනිරෝධය කර්‍මනිරෝධ යි.”
  6. කර්මය නිරෝධ වීම පිණිස පවතින ප්‍රතිපදාව යනු : “අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො කම‍්මනිරොධගාමිනී පටිපදා.” “මෙ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය ම කර්‍මනිරෝධගාමිනිප්‍රතිපදායි.”

මෙම සූත්‍රයෙහි සඳහන් විග්‍රහය අනුව කර්මය යනු චේතනාවයි. එම චේතනාව මුල්වී කය වචනය මනස යන තුන් දොර ඔස්සේ කර්ම සිදු කරයි. එසේ සිදු කරන්නාවූ කර්ම වල විපාක මෙම අත්බවෙහි, අනතුරු අත්බවෙහි හෝ මතු අත්බවෙක විපාක දිය හැකි අතර එසේ විපාක ලබා දීම මනු, දිව්‍ය, අපාය ආදී යම්කිසි ලොවක වේදනීය හෙවත් විඳීම් ඇතිකරන බව මෙම සූත්‍රය අධ්‍යනය කිරීමේදී පැහැදිලි වේ.

කර්මය හා සංස්කාර

සංයුක්ත නිකායෙහි ඛන්ධසංයුක්තයෙහි සත්තට්ඨාන සූත්‍රයෙහි සඳහන් පංච උපාදානස්කන්ධ විග්‍රහයේදී “කතමෙ ච භික‍්ඛවෙ, සඞ‍්ඛාරා: ඡයිමෙ භික‍්ඛවෙ චෙතනාකායා: රූපසඤ‍්චෙතනා, සද‍්දසඤ‍්චෙතනා, ගන්‍ධසඤ‍්චෙතනා, රසසඤ‍්චෙතනා, ඵොට‍්ඨබ‍්බසඤ‍්චෙතනා, ධම‍්මසඤ‍්චෙතනා. ඉමෙ වුච‍්චන‍්ති භික‍්ඛවෙ සඞ‍්ඛාරා” “මහණෙනි, සංස්කාර කවර යැ: මහණෙනි, මේ චේතනා සමූහ සයෙකි: රූපසඤ්චේතනා යැ, ශබ්දසඤ්චේතනා යැ, ගන්‍ධසඤ්චේතනා යැ, රසසඤ්චේතනා යැ ස්ප්‍රෂ්ටව්‍යසඤ්චේතනා යැ, ධර්‍මසඤ්චේතනා යි. මහණෙනි, මොහු ‘සංස්කාර’ යි කියනු ලැබෙත්.” (සංයුක්ත නිකාය 3, 2006, p. 112) ලෙස වදාල සේක. එසේම එම සංයුක්තයෙහිම සඳහන් ඛජ්ජනීය සූත්‍රයෙහි පංච උපාදානස්කන්ධ විග්‍රහයේ සංස්කාර විස්තර වන්නේ “කිඤ‍්ච භික‍්ඛවෙ, සඞ‍්ඛාරෙ වදෙථ: සඞ‍්ඛතං අභිසඞ‍්ඛරොන‍්තීති භික‍්ඛවෙ, තස‍්මා සඞ‍්ඛාරාති වුච‍්චන‍්ති. කිඤ‍්ච සඞ‍්ඛතං අභිසඞ‍්ඛරොන‍්ති: රූපං රූපත‍්තාය සඞ‍්ඛතං අභිසඞ‍්ඛරොන‍්ති. වෙදනං වෙදනත‍්තාය සඞ‍්ඛතං අභිසඞ‍්ඛරොන‍්ති. සඤ‍්ඤං සඤ‍්ඤත‍්තාය සඞ‍්ඛතං අභිසඞ‍්ඛරොන‍්ති. සඞ‍්ඛාරෙ සඞ‍්ඛාරත‍්තාය සඞ‍්ඛතං අභිසඞ‍්ඛරොන‍්ති, විඤ‍්ඤාණං විඤ‍්ඤාණත‍්තාය සඞ‍්ඛතං අභිසඞ‍්ඛරොන‍්ති. සඞ‍්ඛතං අභිසඞ‍්ඛරොන‍්තීති ඛො භික‍්ඛවෙ, තස‍්මා සඞ‍්ඛාරාති වුච‍්චන‍්ති.” “මහණෙනි, කවර කරුණින් සංස්කාර කියන්නේ ය යත්: මහණෙනි, “සඞ්ඛතය අභිසංස්කරණ කෙරෙත්” නුයි එයින් සංස්කාරහ කියනු ලැබෙත්. කවර කරුණින් සඞ්ඛතය අභිසංස්කරණ කෙරෙති යත්: රූපය රූපය පිණිස සඞ්ඛතය අභිසංස්කරණය කෙරෙති. වේදනාව වේදනා පිණිස සඞ්ඛතය අභිසංස්කරණය කෙරෙති. සංඥාව සංඥා පිණිස සඞ්ඛතය අභිසංස්කරණය කෙරෙති. සංස්කාර සංස්කාර පිණිස සඞ්ඛතය අභිසංස්කරණ කෙරෙති. විඥානය විඥානය පිණිස සඞ්ඛතය අභිසංස්කරණය කෙරෙත්. “මහණෙනි, සඞ්ඛතය අභිසංස්කරණය කෙරෙත්” නුයි එයින් සංස්කාරහ යි කියනු ලැබෙත්.” (සංයුක්ත නිකාය 3, 2006, p. 150) ලෙසටය. මෙයින් වැටහෙන කරුණ වනුයේ චේතනාත්මක ක්‍රියාව තුළ වන සකස් වීමෙහි අනාගත විපාක තිබෙන බවයි. එනම් එම චේතනාත්මක සකස්වීම කර්මය වන අතර එහි විපාකය පංච උපාදානස්කන්ධයෙහි අනාගත පැවැත්ම පිණිස හේතු වේ. 

කර්මය හා භවය

බුදු රජහු අංගුත්තර නිකායෙහි තික නිපාතයෙහි භවය පිළිබඳ වදාල සූත්‍රයන්හි “ඉති ඛො ආනන්‍ද, කම‍්මං ඛෙත‍්තං, විඤ‍්ඤාණං බීජං, තණ‍්හා සිනෙහො අවිජ‍්ජානීවරණානං සත‍්තානං තණ‍්හාසංයොජනානං හීනාය ධාතුයා විඤ‍්ඤාණං පතිට‍්ඨිතං. එවං ආයති පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති හොති.” “ආනන්‍දය, මෙසේ කර්‍මය කුඹුර (ක්‍ෂේත්‍රය) වෙයි. විඥානය බීජය වෙයි. තෘෂ්ණාව උදකය වෙයි. අවිද්‍යායෙන් ඇවුරුණු, තෘෂ්ණාබන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයන්ගේ කාමධාතුයෙහි විඥානය පිහිටියේ ය. මෙසේ මතුයෙහි පුනර්‍භවය පහළ වීම වේ” (අංගුත්තර නිකාය 1, 2006, p. 396) ලෙස වදාළහ. කර්මය පිළිබඳ වටහා ගැනීමට බොහෝ වැදගත් වන මෙම සූත්‍ර දේශනාවෙහි සඳහන් කරුණින් ගම්‍යවන දෙයක් නම් චේතනාත්මකව සකස් වන කර්මය විපාක දෙමින් අනාගත භව පැවැත්ම පිණිස උපකාර කරන බවයි. මෙම සූත්‍රයෙහි සඳහන් උපමාවද බොහෝ වැදගත් වේ. එනම් සකස් වූ කෙතක රෝපණය කළ ජලයෙන් තෙත් වූ බීජය වැඩෙන්නා සේ පෙර සකස්වූ කර්මය නම් කෙතෙහි තණ්හාවෙන් තෙත් වූ විඤ්ඤාණය නම් බීජය වැඩෙන්නේය. මෙහිදී පුනර්භවය හටගැනීම යනු විපාක පිණිස කර්ම සකස් වීමයි. අංගුත්තර නිකායෙහි සාරිපුත්ත සූත්‍රයෙහි ධර්ම සේනාධිපති වූ සාරිපුත්ත මහා රහතන් වහන්සේ “භවනිරොධො නිබ්බානං” “භවය නිරුද්ධ වීම නිවනයි” (අංගුත්තර නිකාය 6, 2006, p. 18) යනුවෙන් වදාල සේක.

කර්මය හා පුද්ගල ස්වභාවය

“කම‍්මවිපාකො භික‍්ඛවෙ අචින‍්තෙය්‍යො න චින‍්තෙතබ‍්බො, යං චින‍්තෙන‍්තො උම‍්මාදස‍්ස විඝාතස‍්ස භාගී අස‍්ස.” “මහණෙනි, යම් කරුණක් සිතනුයේ උමතුබවට දුකට හිමි වේද, එබඳු වූ කර්‍මවිපාකය සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය.” (අංගුත්තර නිකාය 2, 2006, p. 151) ලෙසින් සාමාන්‍ය චින්තනයට ගෝචර නොවන විෂයක් ලෙස බුදු රජුන් වදාල කර්ම විපාක පිළිබඳව තවත් වැදගත් කරුණක් අංගුත්තර නිකායෙහි ලෝණඵල සූත්‍රයෙහි සඳහන් වේ. එනම් කර්මය විපාක දෙන ආකාරය පුද්ගල ස්වභාවය අනුව වෙනස් විය හැකි බවයි. මෙහිදී උපමාවක් වදාල බුදු රජහු යම් ලුණු කැටයක් කුඩා ජල බඳුනකට දැමීමේදී එම ජලය ලුණු රස වීමත් එබඳුම ලුණු කැටයක් ගංගානම් ගංගාවට දැමීමේදී එහි ජලය ලුණු රස වීමත් එකිනෙකට වෙනස් වන ලෙසින් පුද්ගල ස්වභාවය කර්මය විපාක දීමට බලපාන බව ප්‍රකාශ කළහ. එනම් එකම කුඩා පාප කර්මය එක් නොදියුණු ගුණ දහම් ඇත්තෙක් නිරයට පමුණුවන බවත් එබඳුම කුඩා පාප කර්මයක් දියුණු ගුණ දහම් ඇත්තෙක් හට මෙලොව විපාක දී අවසන් වන බවත් වදාළහ. 

බුදු රජහු මෙකරුණ පැහැදිලි කරමින් තව දුරටත් වදාලේ “යො භික‍්ඛවෙ, එවං වදෙය්‍ය : යථා යථායං පුරිසො කම‍්මං කරොති, තථා තථා තං පටිසංවෙදියතීති. එවං සන‍්තං භික‍්ඛවෙ, බ්‍රහ‍්මචරියවාසො න හොති, ඔකාසො න පඤ‍්ඤායති සම‍්මා දුක‍්ඛස‍්ස අන‍්තකිරියාය.” “මහණෙනි, “යම් යම් ආකාරයෙකින් මේ පුරුෂ කර්‍ම කෙරේ ද, ඒ ඒ ආකාරයෙන් එය විපාක විසින් විඳුනේමය” යි යමෙක් මෙසේ බෙණේ ද, මහණෙනි, මෙසේ වත් ම කර්‍මක්‍ෂයකරබ්‍රහ්මචර්‍ය්‍යවාසයෙක් නම් නො වේ. මැනවින් දුක් කෙළවර කරන්නට අවකාශයෙක් නො පැණේ.”

“යො ච ඛො භික‍්ඛවෙ, එවං වදෙය්‍ය : යථා යථා වෙදනීයං අයං පුරිසො කම‍්මං කරොති, තථා තථා අස‍්ස විපාකං පටිසංවෙදියතීති. එවං සන‍්තං භික‍්ඛවෙ, බ්‍රහ‍්මචරියවාසො හොති, ඔකාසො පඤ‍්ඤායති සම‍්මා දුක‍්ඛස‍්ස අන‍්තකිරියායාති.” “මහණෙනි, යම් යම් ආකාරයෙකින් වේදනීය කර්‍මයක් මේ පුරුෂ කෙරේ ද, ඒ ඒ ආකාරයෙන් ඒ කර්‍මයාගේ විපාක විඳුනේ ය”යි යමෙක් මෙසේ බෙණේ ද, මහණෙනි, මෙසේ වත් ම කර්‍මක්‍ෂයකරබ්‍රහ්මචර්‍ය්‍යවාසය වෙයි. මැනවින් දුක් කෙළවර කරන්නට අවකාශයෙක් පැණේ.” (අංගුත්තර නිකාය 1, 2006, p. 450) මෙහිදී පැහැදිලි වනුයේ යම් පුරුෂයෙක් යම් විපාකයක් විඳින ආකාරයේ කර්මයක් කරන විට ඊට අනුරූපව එහි විපාක විඳින බවයි. එසේම එක් එක් පුද්ගලන්ට සාපේක්ෂව එම කර්මයේ විපාක විඳින ස්වභාවය වෙනස් වන බවත් එම පුද්ගල සන්තානය තුළ වර්ධනය කර ගන්නා කුසල ධර්මයන් හේතුවෙන් කර්ම විපාක සංඛ්‍යාත දුක්ඛයන්ගෙන් මිදිය හැකි බවත්ය. ඒ සඳහා නිබ්බේධික සූත්‍රයෙහි සඳහන් පරිදි කර්මය නිරෝධ වීම පිණිස පවතින ප්‍රතිපදාව වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිය යුතුය.

කර්මය වෙනස් කිරීම හා ක්ෂය කිරීම

කර්මය පිළිබඳ සඳහන් තවත් වැදගත් කරුණක් මජ්ඣිම නිකායෙහි දේවදහ සූත්‍රයෙහි බුදු රජහු දේශනා කළ සේක. එනම් “ඉති කිරාවුසො නිගණ‍්ඨා, යමිදං කම‍්මං දිට‍්ඨධම‍්මවෙදනීයං තං උපක‍්කමෙන වා පධානෙන වා ‘සම‍්පරායවෙදනීයං හොතූ’ති අලබ‍්භමෙතං. යමිදං කම‍්මං සම‍්පරායවෙදනීයං, තං උපක‍්කමෙන වා පධානෙන වා ‘දිට‍්ඨධම‍්මවෙදනීයං හොතූ’ති අලබ‍්භමෙතං. යමිදං කම‍්මං සුඛවෙදනීයං, තං උපක‍්කමෙන වා පධානෙන වා ‘දුක‍්ඛවෙදනීයං හොතූ’ති අලබ‍්භමෙතං. යමිදං කම‍්මං දුක‍්ඛවෙදනීයං, තං උපක‍්කමෙන වා පධානෙන වා සුඛවෙදනීයං හොතූති අලබ‍්භමෙතං. යමිදං කම‍්මං පරිපක‍්කවෙදනීයං, තං උපක‍්කමෙන වා පධානෙන වා ‘අපරිපක‍්කවෙදනීයං හොතූ’ති අලබ‍්භමෙතං, යමිදං කම‍්මං අපරිපක‍්කවෙදනීයං, තං උපක‍්කමෙන වා පධානෙන වා ‘පරිපක‍්කවෙදනීයං හොතූ’ති අලබ‍්භමෙතං. යමිදං කම‍්මං බහුවෙදනීයං, තං උපක‍්කමෙන වා පධානෙන වා අප‍්පවෙදනීයං හොතූති අලබ‍්භමෙතං. යමිදං කම‍්මං අප‍්පවෙදනීයං, තං උපක‍්කමෙන වා පධානෙන වා බහුවෙදනීයං හොතූ’ති අලබ‍්භමෙතං. යමිදං කම‍්මං වෙදනීයං, තං උපක‍්කමෙන වා පධානෙන වා අවෙදනීයං හොතූ’ති අලබ‍්භමෙතං. යමිදං කම‍්මං අවෙදනීයං, තං උපක‍්කමෙන වා පධානෙන වා වෙදනීයං හොතූ’ති අලබ‍්භමෙතං.” “ඇවැත්නි, නිගණ්ඨයෙනි, මෙසේ නම් මේ ආත්මයෙහි විඳුමට නිසි වූ යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “මීළඟ ආත්මයෙහි වේදනීය වේවා” යන තෙල නො ලැබියැ හෙයි. මීළඟ ආත්මයෙහි වේදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “මේ ආත්මයෙහි විඳුමට නිසි වේවා” යන තෙල කරුණ නො ලැබියැ හෙයි. යම් කර්‍මයෙක් සුඛවේදනීය වේ ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “දුක්ඛවේදනීය වේවා” යන තෙල කරුණ නො ලැබියැ හෙයි. දුක්ඛවේදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “සුඛවේදනීය වේවා” යන තෙල කරුණ නො ලැබියැ හෙයි. මෝරා යෑමෙන් වේදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “මෝරා නොයෑමෙන් වේදනීය වේවා” යන තෙල කරුණ නො ලැබිය හෙයි. මෝරා නොයෑමෙන් වෙදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, එය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “මෝරා යෑමෙන් වේදනීය වේවා” යන තෙල කරුණ නො ලැබියැ හෙයි. බහුවේදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, එය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “අල්පවෙදනීය වේවා” යන තෙල කරුණ නො ලැබියැ හෙයි. අල්පවෙදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, එය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “බහුවේදනීය වේවා” යන මෙ කරුණ නො ලැබියැ හෙයි. සවිපාක වූ යම් කර්‍මයෙක් ඇද්ද, එය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “අවිපාක වේවා” යන තෙල නො ලැබියැ හෙයි. අවිපාක වූ යම් කර්‍මයෙක් ඇද්ද, එය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “සවිපාක වේවා” යන තෙල කරුණ නො ලැබියැ හෙයි.” (මජ්ඣිම නිකාය 3, 2006, p. 14) යන්නයි. මෙයින් වටහා ගත හැකි කරුණ වන්නේ යම් වේදනීය වූ කර්මයක් චේතනාත්මකව සකස් වූයේද, එය උපක්‍රමයෙන් වෙනත් ආකාරයකට පරිවර්තනය කළ නොහැකි බවයි. 

එසේම අංගුත්තර නිකායෙහි පඨම හා දුතිය සඤ්චේතනික සූත්‍රයන්හි සඳහන් වන්නේ “නාහං භික‍්ඛවෙ සඤ‍්චෙතනිකානං කම‍්මානං කතානං උපචිතානං ව්‍යන‍්තීභාවං වදාමි. තඤ‍්ච ඛො දිට‍්ඨෙ වා ධම‍්මෙ, උපපජ‍්ජෙ වා අපරෙ වා පරියායෙ. න ත්‍වෙවාහං භික‍්ඛවෙ සඤ‍්චෙතනිකානං කම‍්මානං කතානං උපචිතානං අප‍්පටිසංවිදිත්‍වා දුක‍්ඛස‍්ස අන‍්තකිරියං වදාමීති.” “මහණෙනි, මම දැන දැන කළ රැස්කළ කර්‍මයන්ගේ නො විඳ අවසන් වීමක් නො කියමි. හෙ ද මේ අත් බැව්හි හෝ වෙයි, දෙවෙනි අත් බැව්හි හෝ වෙයි, අනාගත ජන්මයෙහි හෝ වෙයි. මහණෙනි, මම දැන දැන කළ රැස්කළ කර්‍මයන්ගේ විපාක නො විඳ දුක් කෙළවර කිරීමක් නො කියමි යී.” (අංගුත්තර නිකාය 6, 2006, p. 550) ලෙසයි. 

ඉහත කරුණු වලින් පැහැදිලි වන දෙයක් නම් චේතනාත්මකව සිදු කළ කර්මයන්හි විපාකයන් අනිවාර්යයෙන් විඳිය යුතු අතර ලෝණඵල ආදී සූත්‍රයන්හි සඳහන් කාරණා අනුව බුදු රජුන් පෙන්වා වදාල මග අනුගමනය කිරීමෙන් අනුක්‍රමණයෙන් එම කර්ම විපාකයන්හි බලවත් බව අඩු කරමින් සියළු කර්මයන් නිරුද්ධ කොට නිදහස් විය හැකි බවයි.

මෙසේ ඉහත දැක්වූ ආකාරයෙන් බුදු රජාණන් වහන්සේ කර්මය පිළිබඳ නොයෙක් පරියායන්ගෙන් ධර්මය දේශනා කර තිබේ. කර්මය පිළිබඳව එසේ දේශනා කර තිබෙන නොයෙක් විස්තරයන් පිළිබඳ ඇති දැනුම මජ්ඣිම නිකායෙහි කර්මය බෙදා විග්‍රහ කර තිබෙන ප්‍රධාන සූත්‍ර දෙකක් වන චුල්ලකම්මවිභංග හා මහාකම්මවිභංග සූත්‍රයන්ගේ අරුත් වටහා ගැනීමට මහෝපකාරී වේ.

කර්ම විභංගය

චුල්ලකම්මවිභංග සූත්‍රයෙහි කර්ම විග්‍රහය

පෙර සඳහන් කළ ආකාරයට තෝදෙය්‍ය බ්‍රාහ්මණ පුත්‍ර සුභ නම් තරුණයා බුදු රජුන්ගෙන් විමසූ ප්‍රශ්නයට පිළිතුරු ලෙස  වදාල චුල්ලකම්මවිභංග සූත්‍රයෙහි (මජ්ඣිම නිකාය 3, 2006, p. 432) සඳහන් වන ආකාරයට සත්වයා හීන ප්‍රනීත ස්වභාවයන්ට බෙදී වෙන් වී තිබෙන්නේ කර්මානුරූපීවය. අකුසල කර්මයන් සමාදන් වූ පුද්ගලයා මරණින් මතු දුගතියෙහි ඉපිද යම් කලෙක මනු ලොව උපත ලැබීමේදී සහ කුසල කර්මයන සමාදන් වූ පුද්ගලයා මරණින් මතු සුගතියෙහි ඉපිද යම් කලෙක මනු ලොව උපත ලැබීමේදී ඔවුනොවුන් අතර මෙම වෙනස්කම් දැකිය හැකි බව මෙම සූත්‍රයෙහි සඳහන් වේ. මෙහිදී ප්‍රධාන කරුණු 7ක් ඔස්සේ සත්වයන් කර්මානුරූපීව බෙදෙන අයුරු බුදු රජහු පෙන්වූ සේක. එම ආකාර 7 සහ ඊට අදාල කර්මානුරූප පසුබිම පහත පරිදි වේ.

  1. අල්පායුෂ ඇති හා දීර්‍ඝායුෂ ඇති ලෙස සත්වයා බෙදීම 
    1. සසරෙහි ප්‍රාණඝාතයෙහි යෙදීම අල්පායුෂ ඇති බවටත් 
    2. සසරෙහි ප්‍රාණඝාතයෙන් වැලකීම දීර්‍ඝායුෂ ඇති බවටත් හේතු වේ.
  2. බොහෝ ආබාධ ඇති හා අල්පාබාධ ඇති ලෙස සත්වයා බෙදීම
    1. සසරෙහි සත්ව හිංසාවෙහි යෙදීම බොහෝ ආබාධ ඇති බවටත් 
    2. සසරෙහි සත්ව හිංසාවෙන් වැලකීම අල්පාබාධ ඇති බවටත් හේතු වේ.
  3. දුර්වර්‍ණ හා වර්‍ණවත් ලෙස සත්වයා බෙදීම
    1. සසරෙහි ක්‍රෝධ හා වෛර කිරීම දුර්වර්‍ණ බවටත් 
    2. සසරෙහි ක්‍රෝධ හා වෛර කිරීමෙන් වැලකීම වර්‍ණවත් බවටත් හේතු වේ.
  4.  අල්පේශාක්‍ය හා මහේශාක්‍ය ලෙස ලෙස සත්වයා බෙදීම 
    1. සසරෙහි ඊර්ෂ්‍යා කිරීම අල්පේශාක්‍ය බවටත් 
    2. සසරෙහි ඊර්ෂ්‍යා කිරීමෙන් වැලකීම මහේශාක්‍ය බවටත් හේතු වේ.
  5. අල්පභෝග ඇති හා මහාභෝග ඇති ලෙස සත්වයා බෙදීම 
    1. සසරෙහි දන් නොදීම අල්පභෝග ඇති බවටත් 
    2. සසරෙහි දන් දීම මහාභෝග ඇති බවටත් හේතු වේ.
  6. නීචකුලීන බව හා උච්චාකුලීන බව ලෙස සත්වයා බෙදීම 
    1. සසරෙහි ගරු කළ යුත්තන් හට ගරු නොකිරීම නීචකුලීන බවටත් 
    2. සසරෙහි ගරු කළ යුත්තන් හට ගරු කිරීම උච්චාකුලීන බවටත් හේතු වේ.
  7. දුෂ්ප්‍රාඥ හා ප්‍රඥාවන්ත ලෙස සත්වයා බෙදීම
    1. සසරෙහි කුසල් අකුසල් පිළිබඳ නොසෙවීම දුෂ්ප්‍රාඥ බවටත් 
    2. සසරෙහි කුසල් අකුසල් පිළිබඳ සෙවීම ප්‍රඥාවන්ත බවටත් හේතු වේ.

මෙම සූත්‍රයෙහි සඳහන් කරුණු මහා කම්මවිභංග සූත්‍රය මෙන් නොව අනෙක් බොහෝ සූත්‍ර වල සඳහන් කුසල අකුසල ක්‍රියාවන්ගේ විපාක පිළිබඳ දේශනා කොට තිබෙන විස්තර හා සෘජුව ගැලපේ.

මහාකම්මවිභංග සූත්‍රයෙහි කර්ම විග්‍රහය

පෙර සඳහන් කළ පරිදි සමිද්ධි හිමියන් විසින් පෝතලිපුත්ත පරිබ්‍රාජකයා ඇසු ප්‍රශ්නයට දුන් පිළිතුරෙහි වූ දෝෂය මුල් කොට ගෙන බුදු රජහු මෙම මහාකම්මවිභංගය (මජ්ඣිම නිකාය 3, 2006, p. 444) දේශනා කොට වදාළහ. මෙම සූත්‍රයෙහි පහත සඳහන් පරිදි පුද්ගලයන් සිවු දෙනෙකු පිළිබඳ දේශනා කොට ඇත.

  1. ප්‍රාණඝාත ආදී දස අකුසල කර්ම පථයන්හි ගමන් කරන මරණින් මතු දුගතියෙහි ඉපදෙන පුද්ගලයා.
  2. ප්‍රාණඝාත ආදී දස අකුසල කර්ම පථයන්හි ගමන් කරන මරණින් මතු සුගතියෙහි ඉපදෙන පුද්ගලයා.
  3. ප්‍රාණඝාතයෙන් වැළකීම ආදී දස කුසල කර්ම පථයන්හි ගමන් කරන මරණින් මතු සුගතියෙහි ඉපදෙන පුද්ගලයා.
  4. ප්‍රාණඝාතයෙන් වැළකීම ආදී දස කුසල කර්ම පථයන්හි ගමන් කරන මරණින් මතු දුගතියෙහි ඉපදෙන පුද්ගලයා.

මෙහිදී බොහෝ සූත්‍රයන්හි සඳහන් ආකාරයට වඩා වෙනස් දහම් පරියායක් බුදු රජහු දේශනා කොට තිබේ. එනම් මෙහිදී දස අකුසල කර්ම සිදු කරන මරණින් මතු සුගතියෙහි ඉපදෙන පුද්ගලයෙකු හා දස කුසල කර්ම සිදු කරන මරණින් මතු දුගතියෙහි ඉපදෙන පුද්ගලයෙකු පිළිබඳ සඳහන්ය. බැලු බැල්මට අනෙක් සම්බුද්ධ දේශනා සමඟ පරස්පර විරෝධී ලෙස පෙනුනත්, මෙම සූත්‍රයෙහි එය සිදු වන ආකාරය විස්තර කොට තිබේ. 

සත්වයා මරණින් මතු උපත ලබන ආකාරය දැකිය හැකි ඥාණ උපදවාගත් ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් එසේ උපදවා ගත් ඥාණයන්හි ඇති අසම්පුර්ණ බව හේතුවෙන් එසේ කුසල අකුසල කර්ම සිදු කරන පුද්ගලයාගේ සම්පුර්ණ සංසාරික ගමන පිළිබඳ නියමාකාරයෙන් අවබෝධයක් නොලබයි. මේ හෙයින් එම පුද්ගලයාගේ එක් කාල පරිච්ඡේදයක් පමණක් සළකා අදහසකට පැමිණ තම අදහස පමණක් සත්‍ය බවටත් අනෙක් සියල්ල සාවද්‍ය බවටත් දෘෂ්ඨිගත වේ.

බුදු රජුන්ගේ මහාකම්මවිභංග ඥානය අනුව දස කුසලයන්හි යෙදුනු හෝ දස අකුසලයන්හි යෙදුනු දුගතියෙහි උපත ලබන පුද්ගලයන් දෙදෙනා පිළිබඳව එම සූත්‍රයෙහි මෙසේ සඳහන් වේ. එනම්: “පුබ‍්බෙ වාස‍්ස තං කතං හොති පාපකම‍්මං දුක‍්ඛවෙදනීයං. පච‍්ඡා වාස‍්ස තං කතං හොති පාපකම‍්මං දුක‍්ඛවෙදනීයං. මරණකාලෙ වාස‍්ස හොති මිච‍්ඡාදිට‍්ඨි සමත‍්තා සමාදින‍්නා. තෙන සො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති.” “ඔහු විසින් දුඃඛවේදනීය වූ ඒ පාපකර්‍මය පෙර කරනලද හෝ වෙයි. ඔහු විසින් දුඃඛවේදනාවට හිත වූ ඒ පාපකර්‍මය පසු වැ කරන ලද හෝ වෙයි. ඔහු විසින් මිථ්‍යාදෘෂ්ටිය මරණකාලයෙහි හෝ සම්පූර්‍ණ කරනලද සමාදාන කරනලද වෙයි. එහෙයින් හේ කය බිඳී මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත නම් වූ නිරයට එළැඹෙයි.”

එසේම දස කුසලයන්හි යෙදුනු හෝ දස අකුසලයන්හි යෙදුනු සුගතියෙහි උපත ලබන පුද්ගලයන් දෙදෙනා පිළිබඳව එම සූත්‍රයෙහි මෙසේ සඳහන් වේ. එනම් “පුබ‍්බෙ වාස‍්ස තං කතං හොති කල්‍යාණකම‍්මං සුඛවෙදනීයං. පච‍්ඡා වාස‍්ස තං කතං හොති කල්‍යාණකම‍්මං සුඛවෙදනීයං. මරණකාලෙ වාස‍්ස හොති සම‍්මාදිට‍්ඨි සමත‍්තා සමාදින‍්නා. තෙන සො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති.” “ඔහු විසින් සුඛවේදනාවට ප්‍රත්‍යය වූ ඒ කල්‍යාණකර්‍මය පෙර කරනලද හෝ වෙයි. ඔහු විසින් පසු වැ සුඛවේදනාවට ප්‍රත්‍යය වූ ඒ කල්‍යාණකර්‍ම කරනලද හෝ වෙයි. ඔහු විසින් මරණකාලයෙහි සම්‍යග්දෘෂ්ටිය සම්පූර්‍ණ කරනලද සමාදාන කරනලද හෝ වෙයි. එකරුණින් හේ කායභේදයෙන් පසු මරණින් මතු ඉෂ්ටගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණෙයි.”

මේ අනුව පෙනෙනුයේ මෙම ජීවිතයෙහි ගමන් කරන පථය කුසල් හෝ වේවා අකුසල් හෝ වේවා පෙර සසරෙහි හෝ පසුව හෝ සිදු කරන ලද කුසල හෝ අකුසල කර්මයන්ගේ විපාක අනුවත් මරණාසන්න කාලයේ සමාදන් වන දෘෂ්ඨිය අනුවත් එම පුද්ගලයාගේ පරලොව ගතිය තීරණය වන බවයි. මෙයින් ගම්‍ය වන්නේ කර්ම විපාකයන්ගේ තිබෙන අචින්තනීය බවයි. ඉහත සඳහන් කළ පුද්ගලයින් සිව් දෙනා විසින් මෙම ජීවිතයෙහි කරන ලද කුසල අකුසල කර්මයන්ගේ විපාක පිළිබඳ බුදු රජුන් වදාලේ “තස‍්ස දිට‍්ඨෙව ධම‍්මෙ විපාකං පටිසංවෙදෙති, උපපජ‍්ජෙ වා, අපරෙ වා පරියායෙ.” “ඒ කර්‍මයාගේ විපාක මෙලොවැමැ විඳුනේ යැ, දෙවන භවයෙහි හෝ එයින් අන්‍යභවයෙක දී හෝ විඳුනේ යැ.” ලෙසයි. පෙර සඳහන් කරන ලද අංගුත්තර නිකායෙහි සඤ්චේතනික සූත්‍රයන්හි සඳහන් ආකාරයෙන් චේතනාත්මකව සිදු කරන ලද කර්මයන්ගේ විපාක නොවිඳ එම කර්මයන් අවසන් නොවන බවද මෙහිදී වටහා ගැනීමද වැදගත් වේ.

චේතනාත්මකව රැස්වෙන කර්මයන්ගේ ඇති සංකීර්ණ බව පිළිබඳව තවත් වැදගත් කරුණක් මෙම සූත්‍රයෙහි සඳහන් වේ. එනම් “ඉති ඛො ආනන්‍ද, අත්‍ථි කම‍්මං අභබ‍්බං අභබ‍්බාභාසං, අත්‍ථි කම‍්මං අභබ‍්බං භබ‍්බාභාසං, අත්‍ථි කම‍්මං භබ‍්බඤ‍්චෙව භබ‍්බාභාසඤ‍්ච, අත්‍ථි කම‍්මං භබ‍්බං අභබ‍්බාභාසන‍්ති.” “ආනන්‍දය, මෙසෙයින් අකුශලය මැඩලන අකුශලකර්‍මයෙක් ඇත. කුශලය මැඩලන අකුශලකර්‍මයෙක් ඇත. කුශලය මැඩලන කුශලකර්‍මයෙක් ද ඇත. අකුශලය මැඩලන කුශලකර්‍මයෙක් ඇතැ” යනුයි. මේ අනුව පෙනෙනුයේ පුද්ගලයෙකුගේ චරිත ස්වභාවය බාහිරින් අධ්‍යනය කොට ඔහුගේ පරලොව ගතිය පිළිබඳ නිගමනයකට එළඹිය නොහැකි බවයි.

එම සූත්‍රයන්හි සම විෂමතා

චුල්ලකම්මවිභංග හා මහාකම්මවිභංග සූත්‍රයන් දෙක පමණක් සැළකීමේදී විද්‍යමාන වන සමාන ලක්ෂණය නම් එම සුත්‍ර දෙකෙහිම කුසල කර්ම සිදු කරන පුද්ගලයා මරණින් මතු සුගතියෙහි ඉපදීමත් අකුසල කර්ම සිදු කරන පුද්ගලයා දුගතියෙහි ඉපදීමත් සඳහන්ව තිබීමය. එහි විද්‍යමාන වන විෂමතාවය නම් මහාකම්මවිභංගයෙහි කුසල කර්ම සිදු කරන ඇතැම් පුද්ගලයෙක් මරණින් මතු දුගතියෙහි ඉපදීමට හැකි බවත් අකුසල කර්ම සිදු කරන ඇතැම් පුද්ගලයෙක් මරණින් මතු සුගතියෙහි ඉපදීමට හැකි බවත් සඳහන් කර තිබීමය. එනමුත් ඉහත සඳහන් කර තිබෙන අනෙකුත් සූත්‍රයන් සමඟද සසඳා බැලීමේදී මෙම විෂමතා ලෙස පෙනෙන කරණා සැබවින්ම විෂමතාවන් නොවන බව වටහා ගැනීමට හැකිවේ. එසේම කර්මය සහ කර්ම විපාක පිළිබඳව තිබෙන බුදු රජුන්ගේ ඥාණ දර්ශණයට පමණක් ගෝචර වන සංකීර්ණත්වය පිළිබඳවද වටහා ගැනීමට හැකි වේ. 

බුදු රජුන් හට තිබෙන්නාවූ දස බල ඥාණයන් අතර තිබෙන කර්මය හා කර්ම විපාක පිළිබඳ ඥාණය විස්තර වන්නේ මෙසේය. එනම්. “පුන චපරං සාරිපුත‍්ත තථාගතො අතීතානාගතපච‍්චුප‍්පන‍්නානං කම‍්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති. යම‍්පි සාරිපුත‍්ත, තථාගතො අතීතානාගතපච‍්චුප‍්පන‍්නානං කම‍්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, ඉදම‍්පි සාරිපුත‍්ත, තථාගතස‍්ස තථාගතබලං හොති යං බලං ආගම‍්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති.” “තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ අතීත අනාගත වර්‍තමාන කර්‍මසමාදානයන්ගේ විපාක ප්‍රත්‍ය වශයෙන් හේතු වශයෙන් තත් වූ පරිදි දන්නේය. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ අතීතඅනාගතවර්‍තමාන කර්‍මයන්ගේ විපාකය ප්‍රත්‍ය වශයෙන් හේතු වශයෙන් තතු සේ දන්නේ ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ කර්‍මවිපාකඥානය ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.” (මජ්ඣිම නිකාය 1, 2006, p. 168)

ඉහත සඳහන් සියළු කරුණු සැලකීමෙන් පැමිණිය හැකි නිගමනය වන්නේ බුදු රජුන් වදාල ධර්මයට අනුව කර්මයන්ගේ විපාක පිළිබඳ සම්පුර්ණ අවබෝධයකට සම්බුද්ධ ශ්‍රාවකයෙකු හට පැමිණීමට නොහැකි බවත්, ඒ පිළිබඳ මෙම චුල්ලකම්මවිභංග, මහාකම්මවිභංග සූත්‍රයන් සහ අනෙකුත් සම්බුද්ධ දේශනාවන්හි සඳහන් කරුණු අධ්‍යනය කොට ත්‍රිපිටක සම්බුද්ධ වචනය අනුව කර්මයන්ගේ ස්වභාවය පිළිබඳ අදහසකට පැමිණිය හැකි බවත්ය. එනම් මෙහිදී ශ්‍රාවකයා හට තම ශාස්තෘ වූ බුදු රජුන්ගේ වචනය මත ශ්‍රද්ධාවෙන් පිහිටීමට සිදුවේ. මෙමඟින් කර්ම විපාක පිළිබඳව ශ්‍රාවකයෙකු හට ශ්‍රද්ධාව මුල් කොට ඇතිවෙන වටහා ගැනීම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වන බව නිගමනය කළ හැකිය.

ආශ්‍රේය ග්‍රන්ථ

අංගුත්තර නිකාය 1 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

අංගුත්තර නිකාය 2 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

අංගුත්තර නිකාය 4 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

අංගුත්තර නිකාය 6 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

මජ්ඣිම නිකාය 1 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

මජ්ඣිම නිකාය 3 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

මහාවග්ගපාළි 1 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

සංයුක්ත නිකාය 3 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

සුත්තනිපාතය (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

SriDaladaMaligawa1

වාම ශ්‍රී දළඳා වහන්සේ

දෙසම‍්හි සෙන‍්කඩගලෙ සුපතිට‍්ඨිතස‍්මිං

පසාදයම‍්හි වර දෙව විමාන රූපී

ලංකා මහී මකුට සීස මණිං විලාසී                                       

ධාතුං සුදන‍්ත සුගතස‍්ස සිරසා නමාමි

සෙන්කඩගල දේශයෙහි මනා ලෙස පිහිටා ඇති දෙව් විමනක් බඳු ප්‍රාසාදයෙහි වැඩ සිටින ලංකා මහී කාන්තාවගේ කිරීට මාණික්‍යය වැනි වූ ඒ සුගතයන් වහන්සේගේ සොඳුරු දළඳා වහන්සේ මම සිරසින් වඳිමි.

දන‍්තො කුමාර සහ සුන්‍දර හෙමමාලා

ආනෙසු දාඨ මුනිනො ඉධ ජම‍්බුදීපා

ලංකාය සීහළ ජනස‍්ස වටංසකො හි

ධාතුං සුදන‍්ත සුගතස‍්ස සිරසා නමාමි

දන්ත කුමරුන් සහ සොඳුරු හේමමාලා කුමරිය ඒ මුනි රජුන්ගේ දළඳා වහන්සේ දඹදිවින් මෙහි වැඩමවූහ. ඒකාන්තයෙන් සිංහල ජනයාහට වටංසකයක් (සිරසෙහි පළඳින මල්දමක්) බඳු වූ ඒ සුගතයන් වහන්සේගේ සොඳුරු දළඳා වහන්සේ මම සිරසින් වඳිමි.

ලංකාය දිබ‍්බනගරංව මහා පුරස‍්මිං

ආදිච‍්ච තත්‍ථ සදිසො විරාජමානො

තොසෙති බ්‍රහ‍්ම නර දෙව සුසාවකෙ හි 

ධාතුං සුදන‍්ත සුගතස‍්ස සිරසා නමාමි

ලක්දිව දිව්‍ය පුරයක් බඳු වූ මහනුවර නගරයෙහි හිරුමඬලක් සෙයින් විරාජමානව වැඩ සිටින ඒ දළඳා වහන්සේ ඒකාන්තයෙන් දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය වූ සම්බුද්ධ ශ්‍රාවකයන් තුටු කරන සේක. ඒ සුගතයන් වහන්සේගේ සොඳුරු දළඳා වහන්සේ මම සිරසින් වඳිමි.

සම‍්බුද‍්ධ රාජ ගුණ සෙට‍්ඨ සුචින‍්තයන‍්තො

දෙවින්‍ද නාග නර බ්‍රහ‍්ම සුපූජයිංසු

පුඤ‍්ඤාකරං සකල ලොක ජනස‍්ස හොති

ධාතුං සුදන‍්ත සුගතස‍්ස සිරසා නමාමි

සම්බුදු රජුන්ගේ ශ්‍රේෂ්ඨ සම්බුදු ගුණ මැනවින් සිහිකරමින් ඒ දළඳා වහන්සේ වෙත දේව ඉන්ද්‍ර බ්‍රහ්ම නාග මනුෂ්‍ය සැම පූජා පැවැත්වූහ. ඒ දළඳා වහන්සේ සකළ ලෝක ජනයාහට පුණ්‍ය ආකරයකි. ඒ සුගතයන් වහන්සේගේ සොඳුරු දළඳා වහන්සේ මම සිරසින් වඳිමි.

දෙසෙසි බුද‍්ධ රතනං කරුණාය ධම‍්මං

සත‍්තස‍්ස සබ‍්බ තරිතුං භව සාගරම‍්හා

ඵස‍්සෙසි බුද‍්ධ වචනං මුනිනො සදා තං

වන්‍දාමහං සුගත වාම සුදන‍්ත ධාතුං

ඒ සම්බුදු රජුන් නම් මහා රත්නය මහා කරුණාවෙන් සියලු සත්ත්වයන්හට භව සයුරින් එතෙර වීම පිණිස ධර්මය දේශනා කළ සේක. ඒ මුනි රජුන්ගේ සියලු බුද්ධ වචන ඒ දළඳා වහන්සේ සැමදා ස්පර්ශ කළ සේක. ඒ සුගතයන් වහන්සේගේ වාම දළඳා වහන්සේ මම වන්දනා කරමි.

-පූජ්‍ය පිළියන්දල මහින්දවිජය හිමියන් විසින් රචිත ගාථාවන්ය 

    mahindaThero

    අනුබුදු මහා මහින්ද තෙරණුවෝ

    සම‍්බුද‍්ධ රාජ මුනි ධම‍්ම සරෙභිජාතං  

    පද‍්මංව වායමතිගන්‍ධ දිසාසු සබ‍්බං 

    ලංකාය සාසන වරං අතිජොතයී සො

    වන්‍දාමි තං හතකිලෙස මහා මහින්‍දං

    සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මය නමැති විලෙහි හටගත් සෑම දිශාවකටම සුවඳ හමන නෙල්ම් මලක් සෙයින් ඒ මිහිඳු හිමියෝ ලක්දිව උතුම් බුදු සසුන බොහෝසෙයින් බැබලවූ සේක. ඒ සියලු කෙලෙසුන් දුරුකළ මහා මහින්ද තෙරණුවන් මම වන්දනා කරමි.

    රඤ‍්ඤො අසොක වර පුත‍්ත සුසාසනම‍්හි

    ඔහාය රාජසුඛ පබ‍්බජි ධම‍්මචාරී

    ඛිප‍්පං විසෙසමධිගම‍්මගමාසි පාරං  

    වන්‍දාමි තං හතකිලෙස මහා මහින්‍දං

    අශෝක රජුගේ ශ්‍රේෂ්ඨ පුත්‍ර රත්නය වූ ධර්මචාරී ඒ මිහිඳු හිමියෝ රාජ සුඛය හැරදා පැවිදි ව ඉතා ඉක්මනින් විශේෂ අවබෝධය ලැබ සසරින් එතෙරට වැඩි සේක. ඒ සියලු කෙලෙසුන් දුරුකළ මහා මහින්ද තෙරණුවන් මම වන්දනා කරමි.

    ථෙරෙන තිස‍්සමුනි සික‍්ඛිත ඉද‍්ධිමන‍්තො

    භාණෙත්‍වතීණි පිටකං නභසා ඉධාග

    දෙසෙසි බුද‍්ධ වචනං අනුකම‍්පකො සො

    වන්‍දාමි තං හතකිලෙස මහා මහින්‍දං

    මොග්ගලීපුත්තතිස්ස මහා තෙරුන් විසින් සසුනෙහි හික්මවන ලද මහා සෘධිමත් ඒ මිහිඳු හිමියෝ තුන් පිටකය උගෙන අහසින් මෙලක්දිවට වැඩ අනුකම්පාවෙන් උතුම් බුද්ධ වචනය දේශනා කළ සේක. ඒ සියලු කෙලෙසුන් දුරුකළ මහා මහින්ද තෙරණුවන් මම වන්දනා කරමි.

    ජාතෙසි සංඝ ගණ සීහල ථෙරවාදං

    කාරෙසි මෙඝවන භූමි මහා විහාරං 

    ආනෙසි සත්‍ථු වර ධාතු දයාය අම‍්හෙ

    වන්‍දාමි තං හතකිලෙස මහා මහින්‍දං

    ඒ මිහිඳු හිමියෝ ථේරවාද සිංහල මහා සඟරුවන බිහිකර අනුරපුර මහමෙව්නා භූමියෙහි මහා විහාරය කරවා අප කෙරෙහි දයාවෙන් උතුම් ශාස්තෘන් වහන්සේගේ ධාතූන් වහන්සේලා දඹදිවින් මෙහි වැඩමවාගෙන ආ සේක. ඒ සියලු කෙලෙසුන් දුරුකළ මහා මහින්ද තෙරණුවන් මම වන්දනා කරමි.

    බුද‍්ධොව සීහල ජනස‍්ස කථෙසි ධම‍්මං

    කත්‍වාන සාසන වරං කරුණාය කිච‍්චං

    සීහොව මිස‍්සක වනෙ පරිනිබ‍්බුතො සො

    වන්‍දාමහං සුගතපුත‍්ත මහා මහින්‍දං

    ඒ මිහිඳු හිමියෝ සිංහල ජනයාහට බුදුකෙනෙකු සෙයින් කරුණාවෙන් ධර්මය දේශනා කර උතුම් සාසන කෘත්‍ය සිදුකර මිස්සක වනයෙහි සිංහ රාජයෙකු සෙයින් පිරිනිවන් පා වදාල සේක. ඒ සුගත පුත්‍ර වූ මහා මහින්ද තෙරණුවන් මම වන්දනා කරමි.

    -පූජ්‍ය පිළියන්දල මහින්දවිජය හිමියන් විසින් රචිත ගාථාවන්ය 

      PaticcaSamup

      හේතුඵල දහම සහ විවිධ දර්ශනවාද

      කතෘ: පූජ්‍ය පිළියන්දල මහින්දවිජය හිමි

      හැඳින්වීම

      තථාගත බුදු රජුන්ගේ සම්මා සම්බුද්ධත්වය පිළිබඳ මූලික ත්‍රිපිටක දේශනා තුළ සඳහන් වන්නේ පටිච්චසමුප්පාදයෙහි සමුදය හා නිරෝධය පිළිබඳව බෝධි මූලයේදී ඇතිවූ අවබෝධයෙහි විස්තරයත් සමඟමය. එය මහාවග්ග පාළියෙහි එන පහත ගාථාවන්ගෙන් පැහැදිලි වේ. එනම්,

      “යදා හවෙ පාතුභවන‍්ති ධම‍්මා

      ආතාපිනො ඣායතො බ්‍රාහ‍්මණස‍්ස,

      අථස‍්ස කඞ‍්ඛා වපයන‍්ති සබ‍්බා

      යතො පජානාති සහෙතුධම‍්මං”

      “යම් කලෙක කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුත් ධ්‍යාන කරන්නා වූ බැහැර කළ පව් ඇති රහතුන් වහන්සේට හෙතුප්‍රත්‍යයධර්‍මයෝ ප්‍රකට ව වැටහෙත් ද, එකල්හි උන්වහන්සේ අවිද්‍යාදි හේතුවෙන් සහේතුක වූ ධර්‍මය දනිති. එහෙයින් ඒ රහතුන් වහන්සේගේ සියලු සැක දුරු වේ.”

      “යදා හවෙ පාතුභවන‍්ති ධම‍්මා

      ආතාපිනො ඣායතො බ්‍රාහ‍්මණස‍්ස,

      අථස‍්ස කඞ‍්ඛා වපයන‍්ති සබ‍්බා

      යතො ඛයං පච‍්චයානං අවෙදී”

      “යම් කලෙක්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තා වූ ධ්‍යාන කරන්නා වූ බැහැර කළ පව් ඇති රහතුන් වහන්සේට හෙතුප්‍රත්‍යයධර්‍මයෝ ප්‍රකට ව වැටහෙත් ද, එකල්හි අවිද්‍යාදිප්‍රත්‍යයයන්ගේ ක්‍ෂය වීම දැනගත් හෙයින් ඒ රහතුන් වහන්සේගේ සියලු සැකයෝ දුරු වෙත්.”

      “යදා හවෙ පාතුභවන‍්ති ධම‍්මා

      ආතාපිනො ඣායතො බ්‍රාහ‍්මණස‍්ස,

      විධූපයං තිට‍්ඨති මාරසෙනං

      සුරියො’ව ඔභාසයමන‍්තලික‍්ඛ”න‍්ති

      “යම් කලෙක්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තා වූ ධ්‍යාන කරන්නා වූ බැහැර කළ පව් ඇති රහතුන් වහන්සේට හෙතුප්‍රත්‍යයධර්‍මයෝ ප්‍රකට ව වැටහෙත් ද, එකල්හි ඒ රහතුන් වහන්සේ මරසෙනඟ පිඹ හරිමින් අහස බබුළුවන්නා වූ හිරු මෙන්, සිටින සේක. (මහාවග්ගපාළි 1, 2006, p. 4)

      පිරිසිදු මුල් බුදු දහම පිළිබඳව සඳහන් වන ථේරවාද පාළි ත්‍රිපිටකය තුල පටිච්ච සමුප්පාදය පිළිබඳව බොහෝ දහම කොටස් සඳහන් වේ. එනමුත් මුල් ධර්ම සංගායනාවන්ගෙන් පසු කලෙක නොයෙක් මති මතාන්තර වලට සංඝයා බෙදී යෑමෙන් පසු පටිච්ච සමුප්පාදය පිළිබඳ විග්‍රහයන් ඒ ඒ නිකායන් වල භික්ෂූන්ට වැටහෙන ආකාරයට සකස් විය. අවබෝධයට ඉතා දුෂ්කර වූ, සියුම් වූ මෙම පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳව තිබෙන අවබෝධය මඳ බැවින් බොහෝ ජනයා ඒ පිළිබඳව නා නා ප්‍රකාර දෘෂ්ඨි ඇති කරගත්හ. එසේම බුදු රජුන්ගේ මෙම හේතු ඵල දහම පිළිබඳ වන විග්‍රහය කල් යත්ම ලෝකයෙහි වෙනත් දර්ශන වාද විකාශනය වීමටද බලපෑමක් ඇතිකර තිබෙන බවද පැහැදිලිව පෙනෙන කරුණකි.

              මෙහිදී හේතු ඵල වාදයෙහි බෞද්ධ සහ අබෞද්ධ විකාශනයන් පිළිබඳව සාකච්ඡා කෙරෙන අතර මෙම වාදයන් මුල් බුදු සමය සමඟ සසඳා බැලීමක්ද සිදු කෙරේ.

      බුදු දහමින් බැහැර හේතුඵල වාදය

      සත්කාර්ය වාදය

      පෙරදිග හේතුඵල වාදයන්හි දක්නට ලැබෙන සත්කාර්ය වාදය උපනිෂද් දර්ශනය ආශ්‍රයෙන් ප්‍රභවය වී පසුව ජෛන සහ බුදු සමයේ අභාෂයෙන් බිහිවූ බව සැලකේ. ‘සත්’ යනු පැවැත්ම (existence) වන අතර ‘කාර්ය’ යනු එයින් ඇතිවන බලපෑමයි (Satkaryavada, 2023). මෙහිදී අදහස් කරනුයේ යම් හේතුවකින් ඵලයක් උපදින්නේද එම හෙතුවෙහි ඵලයද ගැබ් වී තිබෙන බවයි. උපමාවක් ලෙස පොල් වලින් හට ගන්නා තෙල් පොල් තෙල් වන අතර එම තෙල් එහි හේතුව වන පොල් ගෙඩියෙහි අධ්‍යාහාරව ගැබ් වී තිබේ. මෙම දෘෂ්ඨි වාදය අනුව සෑම හෙතුවකම ඵලය අඩංගු වන නිසා සියලුම ඵල ධර්මයන් ගැබ් වී තිබෙන මූලික හේතුවක් දැක්විය යුතුය. මෙම මූලික හේතුව ප්‍රකෘතිය ලෙස මෙම දර්ශන වාදයෙහි පෙන්වයි.

      මෙම දැක්ම වර්තමානයෙහි හින්දු දර්ශනයෙහි දැක්වෙන බ්‍රහ්මන් නමැති බ්‍රහ්ම ආත්මය පිළිබඳ ඉගැන්වීමට සමානකමක් දැකිය හැකිය. එම දර්ශනයෙහි දැක්වෙන ආකාරයට විශ්වයෙහි හටගන්නා සියල්ලම මෙම බ්‍රහ්මාත්මය හේතුවෙන් හටගන්නා අතර ඒ සියල්ල අවසානයේ නැවත එම බ්‍රහ්මාත්මය සමඟම එකතු වේ. බ්‍රහ්මාත්මය වනාහි නොවෙනස්ව පවතින්නකි.

      බුදු දහම අනුව මෙම දර්ශනය සයංකත වාදය යන දෘෂ්ඨි වාදයට සමගාමී වේ. සයංකත යන්නෙහි තේරුම තමන් විසින් කරන ලද්ද යන්නයි. මෙහිදී ප්‍රකෘතිය ලෙස හඳුන්වන මූලික හේතුව තමා වශයෙන් හෝ හෝ තමාව නිර්මාණය කල බාහිර නොවෙනස්වන ආත්මයක් වශයෙන් හෝ පිළිගන්නා දෘෂ්ඨි වාද ඇතිවේ. සියල්ල තමා විසින් කරන ලද පෙර කර්මය අනුව සිදු වන බව සිතීමද මෙම දෘෂ්ඨියෙහි තිබිය හැකි ලක්ෂණයක් වේ. එසේම මෙම දර්ශනය අනුව ලෝක නිර්මාපක දේවත්වයක් පිළිබඳ දෘෂ්ඨි වාද ඇතිවීමට පසුබිමක්ද තිබේ

      අසත්කාර්ය වාදය

      ඉහත දැක්වූ සත්කාර්ය වාදයට සෘජුව ප්‍රති විරුද්ධ වන දර්ශන වාදයක් ලෙස අසත්කාර්ය වාදය දැක්විය හැකිය. මෙහිදී දක්වන අදහස වන්නේ හේතුව තුළ ඵලය තිබේ නම් නැවත ඵලය උත්පාදනය කිරීමට අවශ්‍ය නොවන බවයි. එනම් අඹ ඇටයක් තුළ අඹ ගසක් දැකිය හැකි විය යුතුය.  මේ අනුව හේතුව හා ඵලය සර්වප්‍රකාරයෙන්ම වෙනස් ස්වභාවයන් දෙකක් බව හැඟවේ. තමා විසින් කරන ලද ක්‍රියාවක් හේතුවෙන් අනාගත විපාකයක් ඵලයක් ලෙස ඇතිවිය හැකි බව මෙම දෘෂ්ඨි වාදය පිළිනොගනී. මෙම අදහසට විරුද්ධ මතයක් දක්වන්නෝ හේතුව තුළ ඵලය නැත්නම් අඹ ඇටයෙන් අඹ නොවන වෙනත් ගසක් පවා හට ගත යුතු බවට තර්ක කළහ (විජිත ස්ථවිර, 2020).

      ශක්තිවාදය

      මෙය සත්කාර්ය වාදය හා අසත්කාර්ය වාදය ප්‍රතික්ෂේප කොට හේතු ඵල දහම පිළිබඳ ඉදිරිපත් වූ තවත් දෘෂ්ඨි වාදයකි. මෙහිදී හේතුව හා ඵලය අතර සඤ්ඤාමය සම්බන්ධයක් ඇති බව සඳහන් කරයි. ප්‍රාණියෙකු සිතා මතා නව නිර්මාණයක් කරන සෙයින් සියළුම හේතූන් සඤ්ඤාමය වශයෙන් ඵලයන් නිර්මාණය කරන බව මෙයින් කියවේ (විජිත ස්ථවිර, 2020).

      සත්කාරණ වාදය

      ක්‍රි.ව. 8 වන සියවසෙහි සිටි ශංකරාචාර්යයන් මෙම මතය ඉදිරිපත් කළ අතර සමස්ථ ලෝකය මායාවක් බවත් බ්‍රහ්මාත්මය හෙවත් බ්‍රහ්මන් පමණක් සත්‍ය බවත් ඔහු ප්‍රකාශ කළේය. මෙම වාදය අනුව සත්‍ය වශයෙන් පවතින්නේ හේතුව පමණක් වන අතර ඵලය මායාවකි. එසේම මෙම මතය පෙර සඳහන් කළ සත්කාර්ය වාදය හා සම්බන්ධතාවක් පවතින බව පෙනේ. ඔහු විසින් ඉදිරිපත් කළ සුප්‍රකට නාගයා සහ කඹය උපමාව මෙහිදී සඳහන් කළ හැකිය. එනම් මිනිසෙක් පාර හරහා වැටී ඇති ගවයන් බඳින විශාල කඹයක් දැක එයට නාගයෙකු යැයි රැවටේ. මෙහිදී ශංකරාචාර්යයන්ට අනුව නාගයා යනු මායාවක් වන අතර කඹය පමණක් සත්‍ය වේ (විජිත ස්ථවිර, 2020).

      මුල් බුදු සමයේ හේතුඵල දහම

      මුල් බුදු දහමේ පටිච්චසමුප්පාදය පිළිබඳ බොහෝ විස්තරයන් ථේරවාද ත්‍රිපිටකය පුරාවට දක්නට ලැබේ. පටිච්චසමුප්පාදය චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා කොතරම් අත්‍යාවශ්‍ය වේද යන්න සංයුක්ත නිකායෙහි පටිච්චසමුප්පාදය සඳහා වෙන්වූ සංයුක්තය හැඳින්වීමට අභිසමය සංයුක්තය යන නම භාවිතා වී තිබීමෙන් වටහා ගත හැකිය. හේතුව හා ඵලය අතර ඇති සම්බන්ධය ඉතා කෙටියෙන් විස්තර වන බොහෝ දෙනා අතර ප්‍රකට ගාථාවක් විනය පිටකයෙහි මහා වග්ගපාලියෙහි සඳහන් වේ. එනම්

      යේ ධම්මා හේතුප්පභවා තේසං හේතු තථාගතෝ ආහ

      තේසඤ්චයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමණෝ

      යම් ධර්මයන් හේතූන්ගෙන් ප්‍රභවය වේද ඒවායේ හේතු තථාගතයන් වහන්සේ වදාළහ. ඒවායේ නිරෝධයද වදාළහ. ඒ මහා ශ්‍රමණයන් වහන්සේ මෙබඳු වාද ඇති සේක්ය (මහාවග්ගපාළි 1, 2006, p. 84).

      සාරිපුත්ත මහා රහතන් වහන්සේ ගිහි කළ උපතිස්ස පරිබ්‍රාජකයන් හට අස්සජී මහා රහතන් වහන්සේ විසින් වදාල මෙම ගාථාවෙහි සමස්ථ සම්බුද්ධ ධර්මයෙහි ඇතුලත් හේතු ඵල දහම කෙටියෙන් සඳහන් වේ.

      හේතුව හා ඵලය අතර සම්බන්ධය

      නොයෙක් සූත්‍ර දේශනා වලදී බුදු රජුන් පටිච්චසමුප්පාදය තුල හේතුව සහ ඵලය පිළිබඳව වටහා ගතහැකි ලෙසින් සිහිකළ යුතු ආකාරය පිළිබඳ වදාලහ.

      ඉති ඉමස‍්මිං සති ඉදං හොති, ඉමස‍්සුප‍්පාදා ඉදං උප‍්පජ‍්ජති. ඉමස‍්මිං අසති ඉදං න හොති, ඉමස‍්ස නිරොධා ඉදං නිරුජ‍්ඣති.

      මෙය ඇති කල්හි මෙය ඇත. මෙය ඉපදීමෙන් මෙය උපදී, මෙය නැති කළ මෙය නැත. මෙය නිරෝධයෙන් මෙය නිරුද්ධ වේ (සංයුක්ත නිකාය 2, 2006, p. 41).

      මෙහි ප්‍රථම කොටසෙහි අරුත නම් හේතුව ඇති කල්හි ඵලය ඇති බවත්. හේතුව ඉපදීමෙන් ඵලය උපදින බවත් ය. මෙය බොහෝ තැන්වල පටිච්චසමුප්පාද සමුදය හෙවත් හට ගැනීම ලෙස සඳහන් වේ. එසේම දෙවෙනි කොටසෙහි හේතුව නැති කළ ඵලය නැති බවත් හේතුව නිරෝධයෙන් ඵලය නිරුද්ධ වන බවත් අර්ථවත් වේ. මෙය පටිච්චසමුප්පාද නිරෝධය ලෙස හැඳින්වේ.

      මෙහිදී පටිච්චසමුප්පාදයෙහි සඳහන් කොටස් 12වන අවිද්‍යාව, සංස්කාර, විඤ්ඤාණය, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරාමරණසෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාස යන කේවල දුක්ඛස්කන්ධය හට ගන්නා ආකාරයත් නිරුද්ධ වන ආකාරයත් ඉහත සඳහන් ආකාරයට ගලපා වටහා ගත යුතුය.

              පටිච්චසමුප්පාදය වටහා ගැනීම සඳහා බුදු රජුන් වදාල උපමාවක් සූත්‍රයන්හි සඳහන් වේ. එනම් කඳුකරයට වැස්ස වසින විට කුඩා දිය පහරවල්ද, ඒ මඟින් කුඩා පොකුණුද, එමගින් මහා වැව් පොකුණුද එමඟින් ඇළ, දොළ, කුඩා ගංගා, මහා ගංගාද පිරී මහා සාගරය පිරෙන සෙයින්, අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාරත්, සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණයත්, ආදී වශයෙන් අවසානයේ මුළුමහත් දුක්ඛස්කන්ධයම හට ගන්නා ආකාරය සඳහන් වේ (සංයුක්ත නිකාය 2, 2006, p. 186).

      මහා නිදානය

      පටිච්චසමුප්පාදය පිළිබඳ බුදු රජුන් වදාල සූත්‍ර අතුරින් අති සුප්‍රකට දෙසුමක් වන්නේ දීඝ නිකායෙහි සඳහන් මහා නිදාන සූත්‍රයයි. ත්‍රිපිටකයෙහි වෙනත් තැන් වල සඳහන් ආකාරයට වඩා තරමක් වෙනස් ආකාරයෙන් මෙහි පටිච්චසමුප්පාදය විස්තර කර තිබේ. එනම් වෙනත් බොහෝ තැන් වල නාමරූප පච්චයා සළායතනං, සළායතන පච්චයා ඵස්සෝ ලෙසින් සඳහන් වුවත් මෙහිදී සළායතන පිළිබඳ සඳහන් නොකොට නාමරූප පච්චයා ඵස්සෝ ලෙසින් සඳහන් කර තිබේ. මෙහි ඇති තවත් විශේෂයක් වනුයේ නාමරූප හා විඤ්ඤාණය අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකොට තිබීමයි. මුළු සසර පවත්මටම මෙම නාමරූප හා විඤ්ඤාණය අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාවය බලපාන බව මෙහි සඳහන් වේ.

      “එත‍්තාවතා ඛො ආනන්‍ද, ජායෙථ වා ජීයෙථ වා මීයෙථ වා චවෙථ වා උපපජ‍්ජෙථ වා, එත‍්තාවතා අධිවචනපථො, එත‍්තාවතා නිරුත‍්තිපථො, එත‍්තාවතා විඤ‍්ඤත‍්තිපථො, එත‍්තාවතා පඤ‍්ඤාවචරං, එත‍්තාවතා වට‍්ටං වත‍්තති, එත‍්තාවතා ඉත්‍ථත‍්තං පඤ‍්ඤාපනාය, යදිදං නාමරූපං සහ විඤ‍්ඤාණෙන අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයතා පවත‍්තති.” “ආනන්‍දය, යම් නාමරූපයෙක් විඥාණය හා අන්‍යෝන්‍ය ප්‍රත්‍යයභාවයෙන් පවත්නේ ද, මෙතෙකින් ම උපදනේ යැ යි හෝ දිරන්නේ යැ යි හෝ මැරෙන්නේ යැ යි හෝ ච්‍යුත වන්නේ යැ යි හෝ ච්‍යුත ව උපදනේ යැ යි හෝ පැනැවෙන්නේය, මෙතෙකින් නාම ව්‍යවහාරයට මාර්‍ග වේ. මෙතෙකින් නිරුක්තියට මාර්‍ග වේ. මෙතෙකින් ප්‍රඥප්තියට මාර්‍ගය වේ. මෙතෙකින් ප්‍රඥාවෙහි හැසිරීම වේ. මෙතෙකින් සසරවට පවතියි. මෙතෙකින් ආත්මභාවය පැණවීම පිණිස නාමරූප විඤ්ඤාණය සමඟ අන්‍යෝන්‍ය ප්‍රත්‍යතාව පවතී” (දීඝ නිකාය 2, 2006, p. 94). තවද නාමරූප සහ විඤ්ඤාණය අතර තිබෙන සම්බන්ධතාවය නළකලාප සූත්‍රයේදී බටමිටි දෙකක් එකිනෙකට හේත්තු කොට තිබෙන ආකාරයට පවතින බව සඳහන් වේ (සංයුක්ත නිකාය 2, 2006, p. 176).

              සංසාරික සත්වයා හට ජරා මරණ ආදී දුක් හට ගන්නා ආකාරයට අමතරව ලෝකයෙහි ජන සමාජය තුළ කලකෝලාහල ආදී බාහිර දුක් කම්කටොළු හට ගන්නා ආකාරය පිළිබඳවද මහා නිදාන සූත්‍රයෙහි විස්තර වේ. මෙයද හේතු ඵල දහම සම්බන්ධයෙන් ධර්මයෙහි විග්‍රහ වන තවත් ආකාරයකි. එනම්;

      “ඉති ඛො පනෙතං ආනන්‍ද, වෙදනං පටිච‍්ච තණ‍්හා, තණ‍්හං පටිච‍්ච පරියෙසනා, පරියෙසනං පටිච‍්ච ලාභො, ලාභං පටිච‍්ච විනිච‍්ඡයො, විනිච‍්ඡයං පටිච‍්ච ඡන්‍දරාගො, ඡන්‍දරාගං පටිච‍්ච අජ‍්ඣොසානං, අජ‍්ඣොසානං පටිච‍්ච පරිග‍්ගහො, පරිග‍්ගහං පටිච‍්ච මච‍්ඡරියං, මච‍්ඡරියං පටිච‍්ච ආරක‍්ඛො, ආරක‍්ඛාධිකරණං පටිච‍්ච දණ‍්ඩාදාන-සත්‍ථාදාන-කලහ-විග‍්ගහ-විවාද-තුවන‍්තුවං-පෙසුඤ‍්ඤ-මුසාවාදා අනෙකෙ පාපකා අකුසලා ධම‍්මා සම‍්භවන‍්ති.” “ආනන්‍දය, මෙසේ මේ වේදනාව නිසා තෘෂ්ණාව වේ. තෘෂ්ණාව නිසා පර්‍ය්‍යෙෂණය වේ. පර්‍ය්‍යෙෂණය නිසා ලාභය වේ. ලාභය නිසා විනිශ්චය වේ. විනිශ්චය නිසා ඡන්‍දරාගය වේ. ඡන්‍දරාගය නිසා මම ය, මගේ යැ යි බැසගැනීම වේ. බැසගැනීම නිසා අයත් කර ගැන්ම වේ. අයත් කර ගැන්ම නිසා මසුරුබව වේ. මසුරුබව නිසා රැක්ම වේ. රැක්ම කරණකොට ගෙන දඬුමුගුරු දැරුම්, අවි දැරුම්, විරෝධ පෑම්, විවාද, නුඹ නුඹ යැයි වාද, මුසාබිණුම්, නෙයෙක් ලාමක අකුසල්දහම්හු පහළ වෙත්” (දීඝ නිකාය 2, 2006, p. 86).

      මේ අනුව වටහා ගත යුත්තේ අවිද්‍යාව මුල්කොටගෙන ඇතිවන තෘෂ්ණාව සාංසාරික දුක් පමණක් නොව, සමාජීය ගැටළුද ඇති කරවන බවයි.

      ලෝකෝත්තර පටිච්චසමුප්පාදය

      ඛුද්දක නිකායෙහි නෙත්තිප්‍රකරණයෙහි අවිජ්ජා පච්චයා සංඛාරා ආදී නයින් සඳහන් වන පටිච්චසමුප්පාදය නම් කර ඇත්තේ ලෞකික පටිච්චසමුප්පාදය නමිනි. එනම් එමඟින් විස්තර වන්නේ ලෝකය තුල දුක් හට ගැනීම වේ. මීට අමතරව මෙහි ලෝකෝත්තර පටිච්චසමුප්පාදය ලෙසද විස්තර වන්නක් ඇත (නෙත්තිප්‍රකරණය, 2006, p. 100). මෙහිදී විස්තර වන්නේ නොයෙක් සූත්‍රයන්හි සඳහන් කොට තිබෙන සීලාදී ගුණ දහම් මුල් කොට ගෙන අනුපිළිවෙලින් අරහත්වය දක්වා එම ගුණ දහම් උපනිශ්‍රය වන ආකාරයයි. එනම්,

      “සීලවතො භික‍්ඛවෙ සීලසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නො හොති අවිප‍්පටිසාරො. අවිප‍්පටිසාරෙ සති අවිප‍්පටිසාරසම‍්පන‍්නස‍්ස උපනිසස‍්මපන‍්නං හොති පාමොජ‍්ජං. පාමොජ‍්ජෙ සති පාමොජ‍්ජසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නා හොති පීති. පීතියා සති පීතිසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නා හොති පස‍්සද‍්ධි. පස‍්සද‍්ධියා සති පස‍්සද‍්ධිසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නං හොති සුඛං. සුඛෙ සති සුඛසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නො හොති සම‍්මාසමාධි. සම‍්මාසමාධිම‍්හි සති සම‍්මාසමාධිසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නං හොති යථාභූතඤාණදස‍්සනං. යථාභූතඤාණදස‍්සනෙ සති යථාභූතඤාණදස‍්සනසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නො හොති නිබ‍්බිදාවිරාගො. නිබ‍්බිදාවිරාගෙ සති නිබ‍්බිදාවිරාගසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නං හොති විමුත‍්තිඤාණදස‍්සනං.” “මහණෙනි, සිල්සපන් සිල්වත්හට අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරසම්පන්නහට ප්‍රාමෝද්‍යය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රාමෝද්‍යය ඇතිවත් ම ප්‍රාමෝද්‍යයසම්පන්නහට ප්‍රීතිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රීතිය ඇතිවත් ම ප්‍රීතිසම්පන්නහට ප්‍රශ්‍රබ්ධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රශ්‍රබ්ධිය ඇතිවත් ම ප්‍රශ්‍රබ්ධිසම්පන්නහට සුඛය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සුඛය ඇතිවත් ම සුඛසම්පන්නහට සම්මාසමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්මාසමාධිය ඇතිවත් ම සම්මාසමාධිසම්පන්නහට යථාභූතඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇතිවත් ම යථාභූතඥානදර්‍ශනසම්පන්නහට නිබ්බිදාවිරාගය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය ඇතිවත් ම නිබ්බිදාවිරාගසම්පන්නහට විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි” (අංගුත්තර නිකාය 6, 2006, p. 8).

      මෙසේ ලෞකික පටිච්චසමුප්පාදය සසර පැවැත්මටත් ලෝකෝත්තර පටිච්චසමුප්පාදය සසර නැවැත්මටත් මුල් වන බව වටහා ගත හැකිය.

      සූවිසි ප්‍රත්‍ය

      ථේරවාද අභිධර්මයෙහි මෙම හේතුව හා ඵලය අතර ඇති සම්බන්ධතාව ප්‍රත්‍ය 24කින් විස්තර වේ. ඒවා නම්

      1. හේතු ප්‍ර‍ත්‍යය
      2. ආරම්මණ ප්‍ර‍ත්‍යය
      3. අධිපති ප්‍ර‍ත්‍යය
      4. අනන්තර ප්‍ර‍ත්‍යය
      5. සමනන්තර ප්‍ර‍ත්‍යය
      6. සහජාත ප්‍ර‍ත්‍යය
      7. අන්‍යොන්‍ය ප්‍ර‍ත්‍යය
      8. නිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය
      9. උපනිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය
      10. පුරේජාත ප්‍ර‍ත්‍යය
      11. පශ්චාජ්ජාත ප්‍ර‍ත්‍යය
      12. ආසේවන ප්‍ර‍ත්‍යය
      13. කර්ම ප්‍ර‍ත්‍යය
      14. විපාක ප්‍ර‍ත්‍යය
      15. ආහාර ප්‍ර‍ත්‍යය
      16. ඉන්ද්‍රිය ප්‍ර‍ත්‍යය
      17. ධ්‍යාන ප්‍ර‍ත්‍යය
      18. මාර්ග ප්‍ර‍ත්‍යය
      19. සම්ප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යය
      20. විප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යය
      21. අස්ති ප්‍ර‍ත්‍යය
      22. නාස්ති ප්‍ර‍ත්‍යය
      23. විගත ප්‍ර‍ත්‍යය
      24. අවිගත ප්‍ර‍ත්‍යය

      මෙම සූවිසි ප්‍රත්‍යයන් සංසාර ගත පැවැත්මට උපකාර කරන ආකාරය ඉතා සංකීර්ණ ලෙස අභිධර්ම ප්‍රකරණයෙහි පට්ඨානප්‍රකරණයෙහි සඳහන් වේ. මේ අනුව මෙම හේතු ඵල සම්බන්ධය සෑම විටම විස්තර කරන්නේ යම් ධර්මයක් තවත් ධර්මයක පැවැත්මට උපකාර කරන ආකාරය බව පැහැදිලි වේ (පට්ඨානප්ප්‍රකරණය 1, 2006).

      පරමාර්ථ වශයෙන් ලැබීම සහ නොලැබීම

      හේතුව හා ඵලය අතර ඇති සම්බන්ධතාවය ථේරවාද ත්‍රිපිටකයෙහි දැක්වෙන්නේ සමුදය හා නිරෝධය නැතහොත් අත්ථංගමය වශයෙනි. එසේම සමුදය හා අත්ථංගමය විස්තර වන්නේ පරමාර්ථ වශයෙන් ලැබිය හැකි ධර්මයන් පිළිබඳව පමණි. එනම් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර හා විඤ්ඤාණය යන පංච උපාදානස්කන්ධය, සය වැදෑරුම් ආයතන, ශ්‍රද්ධා ආදී පංච ඉන්ද්‍රීයන් වැනි ධර්මයන් පිළිබඳවයි. සත්ව, පුග්ගල හා ආත්ම යනු පරමාර්ථ වශයෙන් ලැබිය හැකි ධර්මයන් නොවේ. කථාවත්ථුප්‍රකරණයෙහි පර වාදයන් නැතහොත් අථේරවාද මතයන් ඛණ්ඩනය කරමින් ස්වකීය වාද ලෙස දක්වන ථේරවාද මතය මෙසේ සඳහන් වේ. එනම්, 

      “රූපං උපලබ‍්භති සච‍්චිකට‍්ඨපරමත්‍ථෙන

      “රූපය සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් ලබයි…”

      “පුග්ගලෝ නූපලබ‍්භති සච‍්චිකට‍්ඨපරමත්‍ථෙන.”

      “පුද්ගලයා සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් නොලබයි.” (කථාවත්ථුප්‍රකරණය 1, 2006, p. 44)

      එසේම භික්ඛුණී සංයුක්තයෙහි වජිරා භික්ෂුණිය මුළා කිරීම සඳහා පාපී මාර තෙමේ ප්‍රශ්නයක් ඇසුවේය. එනම්,

      “කෙනායං පකතො සත‍්තො කුවං සත‍්තස‍්ස කාරකො,

      කුවං සත‍්තො සමුප‍්පන‍්නො කුවං සත‍්තො නිරුජ‍්ඣතීති.”

      “මේ සත්‍වයා කවරකු විසින් කරණ ලද්දේ ද? මේ සත්‍වයා කළ තැනැත්තා කොහි ද? මේ සත්‍වයා කොහි හටගත්තේ ද? මේ සත්‍වයා කොහි නිරුද්ධ වේ ද?”

      මෙහිදී අරහත් භික්ෂුණියක් වූ වජිරා භික්ෂුණිය මාරයා හට පිළිතුරු දුන්නේ. “සුද‍්ධසඞ‍්ඛාරපුඤ‍්ජොයං නයිධ සත‍්තුපලබ‍්භති” “මෙහි ඇත්තේ හුදු සංස්කාර පුංජයකි. මෙහි සත්වයෙකු ලැබිය නොහැය” ලෙසය. එසේම,

      “දුක‍්ඛමෙව හි සම‍්භොති දුක‍්ඛං තිට‍්ඨති වෙති ච,

      නාඤ‍්ඤත්‍ර දුක‍්ඛා සම‍්භොති නාඤ‍්ඤත්‍ර දුක‍්ඛා නිරුජ‍්ඣතීති”

      “හටගන්නේ දුක මය. පවතින්නේ දුක ම. නැති වන්නේ දුක ම ය. දුක හැර අනිකෙක් නො හටගනී. දුක හැර අනිකෙක් නිරුද්ධ නො වේ.” (සංයුක්ත නිකාය 1, 2006, p. 246)

      මේ අනුව පෙනෙන්නේ මුල් බුදුසමයෙහි නැතහොත් ථේරවාද ත්‍රිපිටකයෙහි හේතු ඵල දහම විස්තර වන්නේ පරමාර්ථ වශයෙන් ලැබිය හැකි ධර්මයන් කෙරෙහි පමණක් බවත් පටිච්චසමුප්පන්න සියළු ධර්මයන් දුක්ඛාර්ය සත්‍යයෙහි ඇතුලත් බවත්ය.

      මහායාන හේතුඵල වාදය

      හේතු ඵල දහම පිළිබඳව පශ්චාත් බෞද්ධ දර්ශණ වාද දෙකක් ප්‍රධාන වශයෙන් පෙන්වා දිය හැකිය. එනම් මාධ්‍යමක සහ යෝගාචාර මතයන්ය. මාධ්‍යමකයින් ශුන්‍යතා වාදයක්ද යෝගාචාරයන් විඤ්ඤාණ වාදයක්ද ඉදිරිපත් කළහ. මෙම දර්ශණ වාදයන් තුළ මුල් බුදු දහම සමඟ ප්‍රධාන වශයෙන් නොයෙක් වෙනස්කම් දක්නට ලැබේ.

      මාධ්‍යමක පටිච්චසමුප්පාදය

      නාගර්ජුනපාදයන් විසින් නිර්මාණය කළ මාධ්‍යමක නම් මහායානික ගුරු කුලයෙහි පටිච්චසමුප්පාදය තුළ බොහෝ සෙයින් ඉස්මතු කිරීමට උත්සාහවත් වී ඇත්තේ ශූන්‍යතාවයි. හේතුන් නිසා හටගත් සෑම දෙයක්ම ස්වභාවයකින් හෙවත් ස්වාධීන පැවැත්මකින් හිස් (Empty of self nature or independent existence) බවත් එම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සියල්ල ප්‍රඥප්තියක් බවත් මෙහෙදී ඉගැන්වේ.

      ක්‍රි.පූ. 2 හා 3වැනි සියවස් අතර කාලයේදී නාගර්ජුනයන් විසින් රචිත මූලමාධ්‍යමකකාරිකා නම් ග්‍රන්ථයෙහි මෙම ශුන්‍යතා දර්ශනය පිළිබඳ දීර්ඝ විස්තරයක් සඳහන් වේ. මෙහිදී නාගර්ජුනයන් මෙම ශුන්‍යතාවය යනු කිසිවක් නැත යන උච්චේදය නොවන බව විශේෂයෙන් කියා තිබේ. එසේම හටගැනීම හා වැයවීම දක්නට ලැබෙන්නේ සියල්ල ස්වාධීන පැවැත්මකින් ශුන්‍ය නිසා බව ඔහු සඳහන් කරයි (Kalupahana, 1986).

      මාධ්‍යමක දර්ශණ වාදයෙහි දැක්වෙන ශුන්‍යතාවය මුල් බුදු සමය හා වෙනස් වන ආකාරය මූලික සූත්‍ර දේශනා අනුසාරයෙන් කරුණු පෙන්වා දිය හැකිය. පෙර සඳහන් කළ පරිදි මාධ්‍යමක ශුන්‍යතාවය යනු සියළු ධර්මයන් ස්වභාවයෙන් හෙවත් ස්වාධීන පැවැත්මෙන් හිස් බවයි. එනමුත් ථේරවාද ත්‍රිපිටකයෙහි සඳහන් වන ශුන්‍යතාවය මීට වෙනස් ය.  “සුඤ‍්ඤො ලොකො” “ලෝකය ශුන්‍යය” යන්න ථේරවාද මුල් බුදු දහමෙහි සඳහන් කරන්නේ,

      “යස‍්මා ච ඛො ආනන්‍ද, සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වා, තස‍්මා සුඤ‍්ඤො ලොකොති වුච‍්චති.” “ආනන්ද, ආත්මයකින් හෝ ආත්මයට අයත් දෙයකින් හිස්ය, එබැවින් ලෝකය ශුන්‍ය යයි පවසනු ලැබේ.” (සංයුක්ත නිකාය 4, 2006, p. 120)

      ශූන්‍ය” යන පදය භාවිතා කිරීමේදී කුමක්, කුමකින් ශූන්‍ය දැයි පැවසිය යුතුය. මුල් ථේරවාදය තුළ ලෝකය ආත්මයකින් හිස් ලෙස දැක්වේ. එසේම ලෝකය ලෙස පරමාර්ථ වශයෙන් ලැබිය හැකි ඇස, කණ, නාසය ආදී ආයතනද, පංචඋපාදානස්කන්ධයද වැනි ධර්මයන් ආත්මයකින් හෝ ආත්මයකට අයත් දෙයකින් හිස් යැයි මුල් ථේරවාදය තුළ සැලකේ. නමුත් මාධ්‍යමක ශූන්‍යතාවය තුල ශූන්‍ය ලෙස අදහස් කරන්නේ ස්වභාවයකින් හෙවත් ස්වාධීන පැවැත්මකින් හිස් බවයි.

      ථේරවාද මුල් බුදු දහම තුල ස්වභාවය යන අදහස ධාතු යන වචනයෙන් අර්ථවත් කරයි. සංයුක්ත නිකායෙහි ධාතු සංයුක්තයෙහි හීන ධාතු, මජ්ඣිම ධාතු, පනීත ධාතු ලෙස සත්‍ය වශයෙන් පවතින ධාතු (ස්වභාවයන්) පිළිබඳව දේශනා කොට තිබේ. හීන ධාතුවෙන් හීන දෙයත්, මජ්ඣිම ධාතුවෙන් මධ්‍යම දෙයත්, පනීත ධාතුවෙන් ප්‍රනීත දෙයත් උපදින බව එහි සඳහන් ය.

      “හීනං කච‍්චාන, ධාතුං පටිච‍්ච උප‍්පජ‍්ජති හීනා සඤ‍්ඤා, හීනා දිට‍්ඨි, හීනො විතක‍්කො, හීනා චෙතනා, හීනා පත්‍ථනා, හීනො පණිධි, හීනො පුග‍්ගලො, හීනා වාචා. හීනං ආචික‍්ඛති, දෙසෙති, පඤ‍්ඤපෙති, පට‍්ඨපෙති, විවරති, විභජති, උත‍්තානීකරොති. හීනා තස‍්ස උප‍්පත‍්තීති වදාමි.” “කච්චාන හීන ධාතුව නිසා හීන සංඥාව උපදී. හීන දෘෂ්ටිය, හීන විතර්‍කය හීන චේතනාව, හීන ප්‍රාර්‍ත්‍ථනාව, හීන ප්‍රණිධිය, හීන පුද්ගලයා, හීන වචන උපදී, හීන වූවක් කියයි, දේශනා කෙරෙයි, පණවයි, පිහිටුවයි, විවෘත කෙරෙයි, බෙදයි, ඉස්මතු කෙරෙයි. ඔහුගේ ඉපැද්ම හීන ය යි කියමි” (සංයුක්ත නිකාය 2, 2006, p. 240). මේ අයුරින්ම මධ්‍යම හා පනීත ධාතු පිළිබඳවද මුල් බුදු දහමේ විස්තර වේ.

      නාගර්ජුනයන් විසින් රචිත මූලමාධ්‍යමකකාරිකාවෙහි ධාතු පිළිබඳ සඳහන් කරන්නේ මෙසේය;

      තස්මාන් න භාවෝ නාභාවෝ නලක්ෂ්‍යම් නාපි ලක්ෂ්‍යනම්

      ආකාසං ආකාස සමා ධාතවඃ පඤ්ච යේ පරේ

      එබැවින් පැවැත්මක්ද නැත නොපැවත්මක්ද නැත. ලක්ෂණ ද නැත අලක්ෂණද නැත. ආකාස ධාතුව හා අනෙක් පස් වැදෑරුම් ධාතුන් අහස හා සමය. (Kalupahana, 1986, p. 151)

      මෙයින් පැහැදිලි වන්නේ මුල් ථේරවාදයෙහි සඳහන් ශූන්‍යතාවය සහ මාධ්‍යමක ශූන්‍යතාවය බොහෝ වෙනස් බවයි.

      ශූන්‍යතාවය යනු උච්චේදය නොවන බව නාගර්ජුනයන් ප්‍රකාශ කරන්නේ මෙසේය.

      යදි අශුන්‍යං ඉදං සර්වං උදයෝ නාස්ති න ව්‍යයඃ

      චතුර්ණං ආර්යසත්‍යානං අභාවස්තේ ප්‍රසජ්යතේ

      මෙම සියල්ල (ස්වභාවයෙන්) ශූන්‍ය නොවේ නම්, හටගැනීමක් හෝ ව්‍යයවීමක් නැත්තේය. මෙයින් ගම්‍ය වන්නේ චතුරාර්ය සත්‍යයන්ගේ අභාවයයි. (Kalupahana, 1986, p. 342)

      මෙහිදී නාගර්ජුනයන් සියල්ල (ස්වභාවයෙන්) ශූන්‍ය නොවේ නම්, ස්වාධීන වශයෙන් පවතින්නේ නම්, හට ගැනීම හා වැයවීම විද්‍යමාන නොවිය යුතු බවත්, එවිට චතුරාර්ය සත්‍යයද, අවබෝධයද, මාර්ගඵලද, ආර්ය පුද්ගලයින්ද, ත්‍රිවිධ රත්නයද නැති විය යුතු බවත් තර්ක කරමින් ප්‍රකාශ කරයි. එසේම නාගර්ජුනයන් සියල්ල (ස්වභාවයෙන්) ශූන්‍ය යනු කිසිවක් නැත යන්න නොවන බව වටහා ගැනීම සඳහා සම්මුති සත්‍ය හා පරමාර්ථ සත්‍ය ලෙස සත්‍ය දෙකක් තිබෙන බව පෙන්වා දෙයි. එනම්;

      ද්වේ සත්‍යේ සමුපාශ්‍රිත්‍ය බුද්ධානං ධර්ම දේශනා

      ලෝක සංව්‍රති සත්‍යං ච සත්‍යං ච පරමාර්ථතඃ

      ලෝක සම්මුති සත්‍යද පරමාර්ථ සත්‍ය ද වශයෙන් බුදු වරුන්ගේ ධර්ම දේශනාව සත්‍ය දෙකක් ආශ්‍රිත කොට තිබේ. (Kalupahana, 1986, p. 331)

      ව්‍යවහාරං අනාශ්‍රිත්‍ය පරමාර්තෝ න දේශ්‍යතේ

      පරමාර්ථං අනාගම්‍ය නිර්වාණං නාධිගම්‍යතේ

      ව්‍යවහාරය ආශ්‍රය නොකොට පරමාර්ථය දේශනා නොකරයි. පරමාර්ථයට නොපැමිණ නිර්වාණය අවබෝධ නොකරයි. (Kalupahana, 1986, p. 333)

      යඃ ප්‍රතීත්‍ය සමුත්පාදං ශූන්යතාං තාං ප්‍රචක්‍ෂ්මහේ

      සා ප්‍රඥප්තිරූපාදාය ප්‍රතිපත් සෛව මධ්‍යමා

      යමක් හේතු ප්‍රත්‍ය ධර්මයන්ගෙන් ජනිත වේද, එය ශුන්‍යතාවය යැයි අපි කියමු. එය තවෙකක් මත පවත්නා ප්‍රඥප්තියකි. එයම මධ්‍යම ප්‍රතිපදාව වේ. (Kalupahana, 1986, p. 339)

      මේ අනුව පෙනෙන්නේ හටගැනීම, නැතිවීම, චතුරාර්‍ය සත්‍ය, ආර්ය පුද්ගලයින්, මාර්ගඵල ඇතුළු පටිච්චසමුප්පන්න සියල්ල සම්මුති සත්‍යයෙහි ඇතුලත් ප්‍රඥප්තියක් බවත් ඒ සියල්ලෙහි ස්වාධීන පැවැත්මක් නොමැති බව දක්නා ශුන්‍යතාව නමැති පරමාර්ථයට පැමිණ නිවන අවබෝධ කළයුතු බවත් නාගර්ජුනයන්ගේ අදහස බවයි.

      මෙම සම්මුති සහ පරමාර්ථ සත්‍ය පිළිබඳ විග්‍රහය පසු කාලීන අටුවා ග්‍රන්ථයන්හි සඳහන් වුවද මුල් ථේරවාද දහම සඳහන් ත්‍රිපිටකයෙහි සඳහන් නොවේ.

      යෝගාචාර විඤ්ඤාණවාදී පටිච්චසමුප්පාදය

      ක්‍රි.පූ. 4 වන සියවසෙහි අසංග සහ වසුබන්ධු යන මහායානික භික්ෂූන් විසින් බිහිකල විඤ්ඤාණවාදී සම්ප්‍රදාය යෝගාචාර නමින් හැඳින්වේ. මෙම යෝගවචාර විඤ්ඤාණවාදීහු බාහිර සහ අධ්‍යාත්මික පටිච්ච සමුප්පාදය වශයෙන් දෙආකාරයකින් විස්තර කරති. මෙහිදී බාහිර ලෝකයෙහි තිබෙන වස්තූන් හේතු ප්‍රත්‍ය ධර්මයන් නිසා උපදින ආකාරය බාහිර පටිච්චසමුප්පාදය වශයෙනුත් අවිද්‍යාව තෘෂ්ණාව ආදී අධ්‍යාත්මික හේතූන් මුල් කොට ගෙන ස්කන්ධ, ධාතු ආදී ධර්මයන් උපදින ආකාරය ආධ්‍යාත්මික පටිච්චසමුප්පාදය වශයෙනුත් විස්තර වේ. මොවුන්ගේ පටිච්චසමුප්පාදයෙහි ඇති විශේෂත්වය වනුයේ මුල් බුදු දහමෙහි ඇතුලත් නොවන ආලය විඤ්ඤාණය හා ක්ලිෂ්ටමන විඤ්ඤාණය ඇතුළුව විඤ්ඤාණ අටක් විස්තර කිරීමයි. මෙම දර්ශනයට අනුව සත්වයාගේ කුසල අකුසල කර්මබීජ හා සසර ගති පැවතුම් තැන්පත්ව පවතින්නේ ආලය විඤ්ඤාණයෙහි වන අතර එය ගලා බසිනා සැඩපහරක් සෙයින් සාගරයෙහි තරංග මාලාවක් සෙයින් වෙනස් වෙමින් පටිච්චසමුත්පන්නව සසර පවතින බව දැක්වේ. ක්ලිෂ්ටමන විඤ්ඤාණය විස්තර වන්නේ කෙලෙස් සහිත සිත ලෙසයි. ඔවුන්ගේ දැක්මට අනුව හේතු ප්‍රත්‍ය නිසා ජනිත වූ ධර්මයන් පිළිබඳ පවතින විද්‍යාමානබව පරිකල්පනයකි. සියල්ල විඥප්ති මාත්‍ර වන අතර පරමාර්ථ වශයෙන් එවන් ලෝකයක් කියා දෙයක් නැතැයි ඔවුහු පවසති. එසේම ඔවුන්ගේ පටිච්චසමුප්පාද විග්‍රහයේදී ශාස්වත උච්චේද, ඇත නැත යන අන්ත පිළිබඳවද පවසා එම අන්ත වලට නොවැටී අවබෝධ කළ යුතු විඤ්ඤාණ පරිණාමයක් පිලිබඳ ඉගැන්වේ (විජිත ස්ථවිර, 2020).

      විඤ්ඤාණවදයක් වූ යෝගාචාර දර්ශණය මාධ්‍යමක දර්ශණය මෙන් නොව මුල් බුදු දහම හා මුළුමනින්ම වෙනස් බව පහසුවෙන් තේරුම් ගත හැකිය. මෙහිදී ඉන්ද්‍රිය ගෝචර සියල්ල විඤ්ඤාණයෙන් දැනගන්නා හෙයින්ද බුදු රජුන් විසින් විඤ්ඤාණය මායාවකට උපමා කොට තිබෙන බැවින්ද “චිත්තමාත්‍රමිදං සර්වං” “මේ සියල්ල චිත්තමාත්‍ර වේ” යැයි සියල්ල සිතෙහි නිර්මාණය වන මායාවක් බව පෙන්වා දෙයි. මෙය “විඤ්ඤප්ති මාත්‍ර” ලෙසද හඳුන්වනු ලැබේ. බාහිර ලෝකය සත්‍ය වශයෙන්ම පවතින යථාර්තයක් නොවන බව පවසන මෙම විඤ්ඤාණ වාදීන් එය ආලය විඤ්ඤාණයේ හේතුවෙන් ඇතිවන ප්‍රක්ෂේපණයක් ලෙසත්, උපමාවක් ලෙස එය කැඩපතකින් මුහුණ බලන විට ඇතිවන ප්‍රතිබිම්බය වැනි ලෙසත් දක්වත්. (විජිත ස්ථවිර, 2020)

              මුල් ථේරවාද බුදු දහමෙහි සියල්ල චිත්තමාත්‍ර යැයි පවසා නැත. සංයුක්ත නිකායෙහි පුප්ඵ සූත්‍රයෙහි මෙසේ සඳහන් වේ,

      “රූපං භික‍්ඛවෙ, නිච‍්චං ධුවං සස‍්සතං අවිපරිණාමධම‍්මං නත්‍ථි සම‍්මතං ලොකෙ පණ‍්ඩිතානං අහම‍්පි තං නත්‍ථීති වදාමි.” “මහණෙනි, නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමධර්‍ම රූපයක් ලොව නැතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ. මම ද එය නැතැ යි කියමි.”

      “රූපං භික‍්ඛවෙ, අනිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං අත්‍ථිසම‍්මතං ලොකෙ පණ‍්ඩිතානං අහම‍්පි තං අත්‍ථීති වදාමි.” “මහණෙනි, අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්‍ම රූපයක් ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත ය. මම ද එය ඇතැ යි කියමි.” (සංයුක්ත නිකාය 3, 2006, p. 238)

      මේ අනුව මුල් බුදු දහම තුළ ඇති දේ ඇති සැටියටත්, නැති දේ නැති සැටියටත් පවසා තිබේ. පුප්ඵ සූත්‍රයෙහි දැක්වෙන මෙම කරුණ අනුව යෝගාචර මතය මුල් බුදු සමයට පටහැනි බව පෙන්විය හැකිය.

      මෙයින් වැටහෙන කරුණ වන්නේ මුල් බුදු සමයෙහි සඳහන් පටිච්චසමුප්පාදය පසු කාලීනව සංඝයා අතර යම් අයුරකින් වෙනස් වුවද, එම කරණා ත්‍රිපිටක ධර්මය හා ගලපා බැලීමේදී එම වෙනස්කම් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි බවයි.

      ආශ්‍රේය ග්‍රන්ථ

      Kalupahana, D. J. (1986). Mulamadhayamakakarika of Nagarjuna. Delhi: Motilal Banarsidass Publishers.

      Satkaryavada. (2023). From Wikipedia: https://en.wikipedia.org/wiki/Satkaryavada

      Theory of relativity. (2023). From Wikipedia: https://en.wikipedia.org/wiki/Theory_of_relativity

      අංගුත්තර නිකාය 6 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

      කථාවත්ථුප්‍රකරණය 1 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

      දීඝ නිකාය 2 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

      නෙත්තිප්‍රකරණය (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

      පට්ඨානප්ප්‍රකරණය 1 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

      මහාවග්ගපාළි 1 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

      විජිත ස්ථවිර, ප. (2020). බුදු සාමය හා බටහිර දර්ශනය. වාද්දූව: ශ්‍රී ලංකා පාලි ග්‍රන්ථ සමාගම.

      සංයුක්ත නිකාය 1 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

      සංයුක්ත නිකාය 2 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

      සංයුක්ත නිකාය 3 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

      සංයුක්ත නිකාය 4 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.