නිර්මල ථේරවාද සම්බුදු සසුනෙහි

ගෝතමචේතිය පිළිබඳ

සුපිරිසිදු ථේරවාද සම්බුදු සසුන ලොව චිරාත් කාලයක් බැබලෙනු දකිනු කැමැති සසුන් මග පිළිවෙත් පුරනා පින්වත් ගිහි පැවිදි සම්බුද්ධ ශ්‍රාවකයින්ගේ එකමුතුව

SecPageImageL2

ගෝතමචේතිය ථේරවාද බෞද්ධ සංසදය

      ශ්‍රී බුද්ධ වර්ෂ 2566ක් වූ (ව්‍යවහාර වර්ෂ 2023) නවම් මස 16 වන දින mQcH ms<shkao, uyskaoúch ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සමාරම්භ කරන්නට යෙදුනු “ගෝතමචේතිය ථේරවාද බෞද්ධ සංසදය” අප ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මනාකොට පිහිටුවන ලද, උතුම් ඛීණාශ්‍රව මහරහතන් වහන්සේලා විසින් අනාගත පශ්චිම ජනයා හට දායාද කරන ලද, ලක්දිව මහාවිහාර වංශික සඟ පරපුර විසින් දිවිහිමියෙන් රැකගත් සුපිරිසිදු ථේරවාද සම්බුදු සසුන නියෝජනය කරන්නාවූ ගිහි පැවිදි සත්පුරුෂ සම්බුද්ධ ශ්‍රාවකයන්ගේ එකමුතුවකි.

      අප භාග්‍යවතුන් වහන්සේ දේසේථ භික්ඛවේ, ධම්මං ආදිකල්‍යාණං මජ්‍ඣේකල්‍යාණං පරියෝසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේථ. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ.” “මහණෙනි, මුල මැද අග කල්‍යාණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත ශ්‍රී සද්ධර්මය දේශනා කරවු. සියළු අයුරින් පරිපූර්ණ වූ පිරිසිදු නිවන් මග බඹසර පවසවු. ලොවෙහි කෙලෙස් අඩු සත්වයෝ ඇත්තාහ. ඔවුහු සද්ධර්මය නො ඇසීමෙන් පිරිහෙත්. ධර්මශ්‍රවණයෙන් සද්ධර්මය දැන ගන්නෝ ඇති වන්නාහ. ලෙසින් බොහෝ දෙවිමිනිසුන් හට හිතසුව පිණිස තථාගත ශ්‍රී සද්ධර්මය ලොවට දේශනා කිරීම අනුදැන වදාල සේක. ඒ අනුව යමින් සූත්‍ර, විනය හා අභිධර්ම යන උතුම් ථේරවාද පාළි ත්‍රිපිටක ග්‍රන්ථ රත්නයන්හි ඇතුලත් ශ්‍රී සම්බුද්ධ දේශනා සැදැහැවත් බෞද්ධ ජනයා අතර ප්‍රචලිත කරනු වස් ලක්වැසි සැදැහැවත් බොදු ජනයාගේ මුදුන් මල්කඩ බඳු අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී වාම දළඳා වහන්සේ විරාජමානව වැඩසිටින සෙන්කඩගල පුරවරය කේන්ද්‍ර කර ගනිමින් ධර්ම දේශනා හා භාවනා වැඩසටහන් සංවිධානය කිරීම අපගේ ප්‍රධාන අභිප්‍රාය වන්නේය.

      අපගේ සදහම් වැඩසටහන් හා සම්බන්ධ වීමෙන් මුළු මහත් සසර පුරාවටම රැකවරණය පිණිස පවතින උතුම් නාථකරණ ධර්මයක් වූ බහුශ්‍රැත බව දියුණු පමුණුවා ගෙන ගෞතම සම්බුදු සසුනේ පිහිට පිළිසරණ ලබනා ලෙස ලක්වැසි සැදැහැවත් සාධු ජනයා හට මෙත් සිතින් යුතුව ඇරයුම් කරන්නෙමු!

නිර්මාතෘ සහ ප්‍රධාන අනුශාසක ස්වාමීන් වහන්සේ

      ගෝතමචේතිය ථේරවාද බෞද්ධ සංසදයේ නිර්මාතෘවර mQcH ms<shkao, uyskaoúch ස්වාමීන්ද්‍රයන් වහන්සේ දිගු කලෙක සිටම සම්බුදු දහම කෙරෙහිත් විශේෂයෙන් කායානුපස්සනා භාවනා මාර්ගය කෙරෙහිත් තිබූ පැහැදීම මුල්කොටගෙන තුරුණු වීයෙහිදීම සසුන්ගත වූ සැදැහැවත් භික්ෂූන් වහන්සේ නමකි. ලක්දිව සම්මුති අධ්‍යාපනය ලබමින් සිටි අතරතුරදී මෙරට ප්‍රකට ධර්මධරයන් වහන්සේලා විසින් රචිත දහම් ග්‍රන්ථයන් හා භාවනා ග්‍රන්ථයන් අධ්‍යනය කරමින් සම්බුදු දහම කෙරෙහි ප්‍රාමාණික දැනුමක් ලැබූ උන්වහන්සේ “සැබැවින්ම භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාල සේක් දැයි” තවදුරටත් වටහා ගනු රිසියෙන් අපවත්වී වදාල අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ධුරන්ධර අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි මහා ස්ථවිරයන් වහන්සේගේ සද්ධිවිහාරිකයන් වහන්සේ නමක් ලෙස සම්බුදු සසුනෙහි උතුම් පැවිදි උපසම්පදාව ලැබූහ.

      පැවිදි දිවියට එළඹීමෙන් පසු උන්වහන්සේ උතුම් කල්‍යාණමිත්‍ර ගුරු ඇසුරෙහි ධර්ම විනය හදාරා ලක්දිව නොයෙක් ආරණ්‍ය සේනාසන ඇසුරු කරමින් පාලි භාෂාව, අභිධර්මය, අටුවා හා ටීකා ග්‍රන්ථයන්හි සඳහන් පැරණි ආචාර්ය සම්ප්‍රදාය, වත්මන් ථේරවාදී භාවනා සම්ප්‍රදායන් හා මහායාන ආදී අථේරවාදී සම්ප්‍රදායන් පිළිබඳ ගවේෂණය කරමින් අප භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාල සැබෑම දහම් මග කුමක්දැයි සොයමින් කල් ගත කළහ. පාළි ත්‍රිපිටක ග්‍රන්ථ රත්නයන්හි සඳහන් වන සුපිරිසිදු ථේරවාද ශ්‍රී සද්ධර්මයත් සතර සතිපට්ඨාන භාවනා මාර්ගයත් දිගු කලක සිට සැදැහැ සිතින් යුතුව ඇසුරු කරමින් වැඩසිටින mQcH ms<shkao, uyskaoúch ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් තමන් වහන්සේගේ සදහම් මග පිළිවෙත් පිරුමට සමගාමීව අප භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාල ලෙසට සම්බුදු සසුනේ චිරස්ථිතිය පිණිස ලොවෙහි ශ්‍රී සද්ධර්මය ප්‍රචාරය කරනු වස් ගෝතමචේතිය නමින් මෙම සදහම් සංසදය සමාරම්භ කරන ලදී.