Karma

කර්ම විභංගය

කතෘ: පූජ්‍ය පිළියන්දල මහින්දවිජය හිමි

හැඳින්වීම

බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනු ධර්මය වනාහි කර්මය සහ කර්ම විපාක මත පදනම්ව දේශනා කළ ධර්මයක් බව ත්‍රිපිටකය අධ්‍යනය කිරීමේදී පෙනෙන පැහැදිළි කරුණකි. බුදු රජුන් හට සම්බුද්ධත්වයට පෙරදීම බෝධි මූලයේදී පෙරවිසූ කඳ පිළිවෙල දක්නා නුවණ වන පුබ්බේනිවාසානුස්සති ඥානය හා සත්වයන්ගේ චුතිය හා උපත පිළිබඳ දන්නා නුවණ වන චුතූපපාත ඥානය උපදවා ගැනීමෙන් පසු කර්මය පිළිබඳ අවබෝධය ඇතිවූ බව “යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාමි” “කර්මය වූ පරිදි මිය පරලොව යන සත්ත්‍වයන් දනිමි” (මජ්ඣිම නිකාය 1, 2006, p. 294) යන පාඨයෙන් පැහැදිලි වේ. මෙයින් ගම්‍ය වන කරුණක් නම් අති ගාම්භීර වූ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධයට පෙර කර්මය හා කර්ම ඵලය පිළිබඳ වටහා ගැනීමක් අවශ්‍ය වන බවයි. මෙම ඥාණ ද්විත්වය උපදවාගෙන නොමැති ශ්‍රාවකයන් හට ධර්මාවබෝධය පිණිස උපකාර වනු වස් බුදු රජුන් විසින් කර්මය හා කර්ම ඵලය පිළිබඳව නොයෙක් පරියායන්ගෙන් ධර්මය දේශනා කොට තිබෙන බව ත්‍රිපිටකය අධ්‍යනය කිරීමේදී පෙනී යයි.

 කර්මය හා කර්මඵලය පිළිගැනීම ධර්මාවබෝධය පිණිස අත්‍යවශ්‍ය වන අතර එම පිළිගැනීම බුදු රජුන් විසින් අගය කරන ලද්දකි. මේ බවට දැක්විය හැකි හොඳම නිදසුනක් නම් පෙර අන්‍ය තීර්ථකයෙකු බුදු සසුනෙහි පැවිදි උපසම්පදා වන්නේ නම් සංඝයා යටතේ සිවුමසක පරිවාස කාලයක් ලබා දිය යුතු ලෙස බුදු රජාණන් වහන්සේ විසින් පණවා තිබුනද ගිනිපුදන ජටිලයන් මෙම පිරිවෙස් කාලයෙන් නිදහස් කර තිබීමයි. එයට හේතුව ලෙස බුදු රජුන් වදාලේ “යෙ තෙ භික‍්ඛවෙ, අග‍්ගිකා ජටිලකා තෙ ආගතා උපසම‍්පාදෙතබ‍්බා. න තෙසං පරිවාසො දාතබ‍්බො. තං කිස‍්ස හෙතු. කම‍්මවාදිනො එතෙ භික‍්ඛවෙ, කිරියවාදිනො” “මහණෙනි, යම් ඒ ගිනිපුදන ජටිලයන් වෙත් නම් ආවා වූ ඔහු උපසපන් කළ යුතු ය. ඔවුන්ට පිරිවෙස් නො දිය යුතු ය. ඊට හේතු කිම? මහණෙනි, මොහු කර්‍මවාදීහු ක්‍රියාවාදීහු වෙත්” (මහාවග්ගපාළි 1, 2006, p. 176). එසේම පරලොව සුගතිය පිණිස හේතුවන කර්ම කර්මඵල පිළිගැනීම ලෞකික සම්මා දිට්ඨිය තුලද “අත්ථි සුකට දුකකටානං කම්මානං ඵලං විපාකෝ” “යහපත් අයහපත් කර්මයන්ගේ විපාක ඇත්තේය” (අංගුත්තර නිකාය 6, 2006, p. 490) ලෙස නොයෙක් අවස්ථා වලදී බුදු රජහු දේශනා කළ අතර කර්ම කර්මඵල පිළිනොගැනීම මිථ්‍යා දෘෂ්ඨියක් ලෙසද වදාල සේක. 

ත්‍රිපිටකය තුළ කර්මය විවිධ ආකාරයෙන් විස්තර වන සම්බුද්ධ දේශනා අන්තර්ගත වේ. මේ අතර මජ්ඣිම නිකායෙහි විභංග වර්ගයෙහි සඳහන් චුල්ලකම්මවිභංග සූත්‍රය සහ මහාකම්මවිභංග සූත්‍රය කර්මය පිළිබඳ බුදු රජුන් වදාල විග්‍රහය වටහා ගැනීමට මහෝපකාරී වන සුප්‍රකට සම්බුද්ධ දේශනා දෙකකි. එසේම මෙම සුත්‍ර දේශනා දෙක අධ්‍යනය කිරීමේදී ඒවා අතර යම් සම විෂමතා තිබෙන බව දිස්වේ. මෙහිදී එම සම විෂමතා පිළිබඳ පරීක්ෂා කොට බලන අතර එම විෂමතා පිළිබඳ වන සැක සංකා දුරුවන ලෙස ථේරවාද බුදු දහමේ විස්තර වන කර්මය පිළිබඳව අධ්‍යනයක් සිදු කෙරේ.

මජ්ඣිම නිකායෙහි විභංග වර්ගය

චුල්ලකම්මවිභංග සූත්‍රය සහ මහාකම්මවිභංග සූත්‍රය සංග්‍රහ වී තිබෙන්නේ සූත්‍ර පිටකයෙහි, මජ්ඣිම නිකායෙහි විභංග වර්ගයෙහිය. මෙම වර්ගයෙහි සූත්‍ර දේශනා 12ක් අඩංගු වන අතර එම සියළුම සූත්‍ර දේශනා වල දැකිය හැකි පොදු ලක්ෂණය වනුයේ බුදු රජුන් කෙටියෙන් දේශනා කළ යම් දහම් කරුණක් විභජනය කර දැක්වීමයි. නිදසුන් වශයෙන් මෙම වර්ගයෙහි ඇතුලත් ධාතුවිභංග සූත්‍රයෙහි පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස සහ විඤ්ඤාණ යන සය වැදෑරුම් ධාතු පිළිබඳව බෙදා විග්‍රහ කිරීමක් අඩංගු වේ. එසේම සච්චවිභංග සූත්‍රයෙහි චතුරාර්‍ය සත්‍ය පිළිබඳව බෙදා විග්‍රහ කිරීමක් සඳහන් වන අතර දක්ඛිණාවිභංග සූත්‍රයෙහි පුද්ගලික සහ සාංඝික වශයෙන් වන දක්ෂිණාවන් පිළිබඳව බෙදා විග්‍රහ කිරීමක් සඳහන් වේ. මෙ අනුව බලන කල්හි චුල්ලකම්මවිභංග සූත්‍රය සහ මහාකම්මවිභංග සූත්‍රයන්හි සඳහන් වන්නේ කර්මය පිළිබඳව බුදු රජුන් සිදුකළ බෙදා විග්‍රහ කිරීම් දෙකකි. එසේම මෙම විග්‍රහයන් කර්මය යන එකම ධර්මය පිළිබඳව බුදු රජුන් විසින් සිදු කරන ලද වෙනස් ආකාරයේ බෙදා විග්‍රහ කිරීම් දෙකකි. එම සූත්‍ර නාමයන් සළකන කල්හි, පළමු සූත්‍රයෙහි විග්‍රහය සාපේක්ෂව කුඩා බැවින් “චුල්ල” යන පදය භාවිතා කොට තිබෙන බවත් අනෙක් සූත්‍රය සාපේක්ෂව තරමක් විශාල බැවින් “මහා” යන පදය යොදා ඇති බවත් සිතිය හැකිය. කෙසේ වෙතත් මෙම සූත්‍ර දෙකෙහි අඩංගු වන දහම් පරියායන් දෙකම කර්මය පිළිබඳව බුදු රජුන් පෙන්වා වදාල දහම වටහා ගැනීමට අත්‍යවශ්‍ය වන බව කිව හැකිය.

චුල්ලකම්මවිභංග සූත්‍රය

බුදු රජාණන් වහන්සේ සැවත් නුවර වැඩසිටින කල්හි තෝදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පුත්‍ර වූ සුභ නම් තරුණයා බුදු රජුන්ගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මෙම සූත්‍ර දේශනාව වදාරණ ලදී. සුභ තරුණයා මෙම ප්‍රශ්නය බුදු රජුන්ගෙන් විමසීමට හේතුව ලෙස අටුවාව සඳහන් කරන්නේ ඔහුගේ පියා වූ තොදෙය්ය බ්‍රාහ්මණයා මිය යෑමෙන් පසු තම නිවසෙහිම සුනඛයෙකු ලෙස ඉපදුනු විස්තරය ඇතුලත් කථා පුවතයි. දැඩි ලෝභ සිතින් යුක්ත වූ තෝදෙය්‍ය තෙමේ එම සුනඛයා ලෙස ඉපිද සිටිනු බව බුදු රජුන්ගෙන් දැනගත් සුභ තරුණයා ඒ පිළිබඳව සංවේග වී බුදු රජුන්ගෙන් මෙම ප්‍රශ්නය ඇසීය. එනම් “කො නු ඛො භො ගොතම, හෙතු කො පච‍්චයො, යෙන මනුස‍්සානංයෙව සතං මනුස‍්සභූතානං දිස‍්සන‍්ති හීනප‍්පණීතතා. දිස‍්සන‍්ති හි භො ගොතම, මනුස‍්සා අප‍්පායුකා, දිස‍්සන‍්ති දීඝායුකා. දිස‍්සන‍්ති බව‍්හාබාධා, දිස‍්සන‍්ති අප‍්පාබාධා. දිස‍්සන‍්ති දුබ‍්බණ‍්ණා, දිස‍්සන‍්ති වණ‍්ණවන‍්තො. දිස‍්සන‍්ති අප‍්පෙසක‍්ඛා, දිස‍්සන‍්ති මහෙසක‍්ඛා. දිස‍්සන‍්ති අප‍්පභොගා, දිස‍්සන‍්ති මහාභොගා. දිස‍්සන‍්ති නීචකුලීනා, දිස‍්සන‍්ති උච‍්චාකුලීනා. දිස‍්සන‍්ති දුප‍්පඤ‍්ඤා, දිස‍්සන‍්ති පඤ‍්ඤවන‍්තො. කො නු ඛො භො ගොතම හෙතු කො පච‍්චයො, යෙන මනුස‍්සානං යෙව සතං මනුස‍්සභූතානං දිස‍්සන‍්ති හීනප‍්පණීතතාති” “භවත් ගෞතමයන් වහන්ස, යම් කරුණෙකින් මිනිසත් බවට පැමිණි මිනිසුන්ගේ මැ හීනප්‍රණීත බව දක්නා ලැබෙයි. ඊට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ ද: භවත් ගෞතමයන් වහන්ස, අල්පායුෂ්ක මනුෂ්‍යයෝ දක්නා ලැබෙති, දීර්‍ඝායුෂ්කයෝ දක්නා ලැබෙති. බොහෝ ආබාධ ඇත්තාහු දක්නා ලැබෙති, අල්පාබාධයෝ දක්නා ලැබෙති. දුර්වර්‍ණයෝ දක්නා ලැබෙති, වර්‍ණවත් වූවාහු දක්නා ලැබෙති. අල්පේශාක්‍යයෝ දක්නා ලැබෙති, මහේශාක්‍යයෝ දක්නා ලැබෙති. අල්පභෝග ඇත්තාහු දක්නා ලැබෙති, මහාභෝග ඇත්තාහු දක්නා ලැබෙති. නීචකුලීනයෝ දක්නා ලැබෙති, උච්චාකුලීනයෝ දක්නා ලැබෙති. දුෂ්ප්‍රාඥයෝ දක්නා ලැබෙති, ප්‍රඥාවත් වූවාහු දක්නා ලැබෙත්. භවත් ගෞතමයන් වහන්ස, යම් කරුණෙකින් මිනිසත් බවට පැමිණි මිනිසුන්ගේ මැ හීනප්‍රණීත බව දක්නා ලැබෙත් ද ඊට හේතු කවරේ ද ප්‍රත්‍ය කවරේ දැ?” යැයි.

මෙහිදී බුදු රජාණන් වහන්සේ වදාලේ “කම‍්මස‍්සකා මාණව, සත‍්තා කම‍්මදායාදා කම‍්මයොනී කම‍්මබන්‍ධු කම‍්මප‍්පටිසරණා. කම‍්මං සත‍්තෙ විභජති යදිදං හීනප‍්පණීතතායාති.” “මාණවකය, සත්ත්‍වයෝ කර්‍මය ස්වකීය කොට ඇත්තාහ, කර්‍මය දායාදය කොට ඇත්තාහ, කර්‍මය උප්පත්ති ස්ථානය කොට ඇත්තාහ, කර්‍මය ඤාතියා කොට ඇත්තාහ, කර්‍මය පිළිසරණ කොට ඇත්තාහ. කර්‍මය මේ හීනප්‍රණීතභාවය පිණිස සත්ත්‍වයන් විභාග කෙරේ” (මජ්ඣිම නිකාය 3, 2006, p. 432) ලෙසයි. සුභ තරුණයා හට බුදු රජුන් වදාල සැබෑ අරුත වටහා ගැනීමට නොහැකි වූ විට ඒ පිළිබඳ විස්තර වශයෙන් දේශනා කරන ලෙස ඔහු බුදු රජුන්ගෙන් ඉල්ලා සිටියේය. මෙහිදී බුදු රජාණන් වහන්සේ කර්මය පිළිබඳ බෙදා කරන ලද විභජනයක් දේශනා කළ සේක. 

මහාකම්මවිභංග සූත්‍රය

බුදු රජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩවසන කල්හි සමිද්ධි නම් භික්ෂූන් වහන්සේ පෝතලිපුත්ත නම් පරිබ්‍රාජක තෙමේ සමඟ වූ කථා සල්ලාපයක් මුල් කොට මෙම දේශනාව වදාරණ ලදී. පෝතලිපුත්ත පරිබ්‍රාජක තෙමේ සමිද්ධි හිමියන් හට මෙසේ පැවසිය. එනම් “සම‍්මුඛා මෙතං ආවුසො සමිද‍්ධි, සමණස‍්ස ගොතමස‍්ස සුතං, සම‍්මුඛා පටිග‍්ගහිතං: මොඝං කායකම‍්මං, මොඝං වචීකම‍්මං, මනොකම‍්මමෙව සච‍්චන‍්ති. අත්‍ථි ච සා සමාපත‍්ති යං සමාපත‍්තිං සමාපන‍්නො න කිඤ‍්චි වෙදියතීති.” “ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෙනි, ශ්‍රමණ ගෞතමයන් හමුයෙහි මා විසින් තෙල අසනලද, හමුයෙහි පිළිගන්නා ලද: කායකර්‍ම හිස්ය, වාක්කර්‍මය හිස්ය, මනෝකර්‍මය ම සත්‍ය යැ යි. තවද යම් සමවතකට සමවන්නේ කිසි වේදනාවක් නො විඳී ද, එබඳු සමවතක් ඇතැ” (මජ්ඣිම නිකාය 3, 2006, p. 444) ලෙසයි. බුදු රජුන්ගෙන්ම මෙම කාරණාව ඇසූ බව හෙතෙමේ පැවසූ විට සමිද්ධි හිමියන් ප්‍රකාශ කළේ එය නිවැරදි නොවන බවයි. එවිට පෝතලිපුත්ත තෙමේ සමිද්ධි හිමියන්ගෙන් ප්‍රශ්නයක් විමසීය. එනම් “සඤ‍්චෙතනිකං, ආවුසො සමිද‍්ධි, කම‍්මං කත්‍වා කායෙන වාචාය මනසා, කිං සො වෙදියතීති.” “ඇවැත්නි, සමිද්ධි තෙරණුවෙනි, කයින් බසින් සිතින් දැන දැන කර්‍ම කොට හේ කවර වේදානාව විඳී දැ?” ලෙසයි. එවිට සමිද්ධි තෙරණුවෝ “සඤ‍්චෙතනිකං ආවුසො පොතලිපුත‍්ත, කම‍්මං කත්‍වා කායෙන වාචාය මනසා, දුක‍්ඛං සො වෙදියතීති.” “ඇවත් පෝතලිපුත්‍රය, කයින් බසින් සිතින් දැන දැන කර්‍ම කොට හේ දුක්ඛ වේදනා විඳී යයි.” ලෙස පිලිතුරු දුන්හ. තමන් විසින් දුන් පිළිතුර පිළිබඳව යළි විමසා බැලූ කල්හි සමිද්ධි තෙරුන් හට ඒ පිළිබඳ සැක සංකා ඇතිවිය. මේ හේතුවෙන් එම තෙරණුවෝ අනඳ තෙරණුවන් සමඟ බුදු රජුන් මුණ ගැසුනු අතර අනද හිමියන් විසින් එම සියළු විස්තර බුදු රජුන් හට පවසා සිටියහ. මෙහිදී බුදු රජුන් ප්‍රකාශ කොට සිටියේ “ඉමිනා ච ආනන්‍ද, සමිද‍්ධිනා මොඝපුරිසෙන පොතලිපුත‍්තස‍්ස පරිබ‍්බාජකස‍්ස විභජ‍්ජ ව්‍යාකරණීයො පඤ‍්හො එකංසෙන ව්‍යාකතො’ති.” “තවද ආනන්‍දය, සමිද්ධි මෝඝපුරුෂයා විසින් පෝතලිපුත්‍ර පරිව්‍රාජකයාහට බෙදා ප්‍රකාශ කළයුතු ප්‍රශ්නය ඒකාන්ත පිළිතුරෙන් විසඳනලදැය” ලෙසයි. සමිද්ධි තෙරණුවන් විසින් ප්‍රකාශ කළ පිළිතුර පිළිබඳ සතුටු නොවූ බුදු රජුන් නිවැරදි ලෙස පිළිතුරු දිය යුතු ආකාරය පිළිබඳ වදාළහ. එනම් “සඤ‍්චෙතනිකං ආවුසො පොතලිපුත‍්ත, කම‍්මං කත්‍වා කායෙන වාචාය මනසා සුඛවෙදනීයං, සුඛං සො වෙදියති සඤ‍්චෙතනිකං ආවුසො පොතලිපුත‍්ත, කම‍්මං කත්‍වා කායෙන වාචාය මනසා දුක‍්ඛවෙදනීයං, දුක‍්ඛං සො වෙදියති. සඤ‍්චෙතනිකං ආවුසො පොතලිපුත‍්ත, කම‍්මං කත්‍වා කායෙන වාචාය මනසා අදුක‍්ඛමසුඛවෙදනීයං, අදුක‍්ඛමසුඛං සො වෙදියතීති. එවං ව්‍යාකරමානො ඛො ආනන්‍ද, සමිද‍්ධි මොඝපුරිසො පොතලිපුත‍්තස‍්ස පරිබ‍්බාජකස‍්ස සම‍්මා ව්‍යාකරෙය්‍ය. අපිචානන්‍ද, කෙ ච අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා බාලා අව්‍යත‍්තා, කෙ ච තථාගතස‍්ස මහාකම‍්මවිභඞ‍්ගං ජානිස‍්සන‍්ති. සචෙ තුම‍්හෙ ආනන්‍ද, සුණෙය්‍යාථ තථාගතස‍්ස මහාකම‍්මවිභඞ‍්ගං විභජන‍්තස‍්සාති.” “ආනන්‍දය, ඉදින් මේ සමිද්ධි මෝඝපුරුෂ මෙසේ පුළුවුස්නාලදුයේ පෝතලිපුත්‍ර පරිව්‍රාජකයාහට මෙසේ ප්‍රකාශ කෙළේ නම් ‘ඇවැත, පෝතලිපුත්‍රය, කයින් වචසින් මනසින් දැන දැන සුඛවේදනීය කර්‍මය කොට හේ සුව විඳී. ඇවත පෝතලිපුත්‍රය, කයින් වචසින් මනසින් දැන දැන දුක්ඛවේදනීය කර්‍මය කොට හේ දුක් විඳී. ඇවත පෝතලිපුත්‍රය, කයින් වචසින් මනසින් දැන දැන අදුක්ඛමසුඛවේදනිය කර්‍මය කොට හේ අදුක්ඛමසුඛ වේදනාව විඳී’ යයි. ආනන්‍දය, මෙසේ විසඳන සමිද්ධි මෝඝපුරුෂ පෝතලිපුත්‍ර පරිව්‍රාජකයාට මොනොවට ප්‍රකාශ කරන්නේ යැ. තවද ආනන්‍දය, බාල වූ අව්‍යක්ත වූ අන්‍ය තීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ කවරහු ද? තථාගතයන්ගේ මහාකර්‍මවිභඞ්ගය කවරහු දතහෙත් ද? ඉදින් ආනන්‍දය තෙපි මහාකර්‍මවිභඞ්ගය විභාග කරන තථාගතයන්ගේ (දේශනාධර්‍මය) අසන්නහු (නම් මැනැවැ)” (මජ්ඣිම නිකාය 3, 2006, p. 446). මෙසේ සමිද්ධි තෙරුන් නිවැරදි කරන බුදු රජහු කර්මය සතර ආකාරයකට බෙදා විග්‍රහ කරමින් සිදු කළ මහාකම්මවිභංගය නම් සුවිශේෂිත දහම් පරියාය වදාල සේක.

කර්මය

ත්‍රිපිටක ධර්මය තුළ කර්මය පිළිබඳව බොහෝ කරුණු කාරණා සඳහන් වේ. කර්මානුරූප බලපෑම නිසා සංසාරගත සත්වයා ඉපදෙමින් මැරෙමින් දීර්ඝ ගමනක ගමන් කරන බව බුදු රජහු දේශනා කළහ. කර්මයට බැඳුනු සත්වයාගේ ස්වභාවය පිළිබඳ බුදු රජුන් වදාල ගාථාවක් සුත්ත නිපාතයෙහි වසේට්ඨ සූත්‍රයෙහි සඳහන් වන්නේ මෙසේය.

“කම‍්මානා වත‍්තති ලොකො කම‍්මනා වත‍්තති පජා,

කම‍්මනිබන්‍ධනා සත‍්තා රථස‍්සාණීව යායතො.”

“කර්‍මයෙන් ලෝකය පවතී. කර්‍මයෙන් ප්‍රජාව පවතී. සත්ත්‍වයෝ යන්නා වූ රථයාගේ අකුර මෙන් කර්‍මය නිබන්‍ධන කොට ඇත්තාහුය.” (සුත්තනිපාතය, 2006, p. 200)

මේ අනුව ලෝකයෙහි පැවැත්ම පිණිස කර්මයෙහි බලපෑම කොතරම් බලවත් දැයි සිතිය  හැකිය. එනම් සංසාර පැවැත්මට සත්වයා හිර වී තිබෙන්නේ කර්මය නිසාය. කොටින්ම කිවතොත් සුගති දුගති යන සියළු ලෝකයන් සකස්වීමට කර්මයෙහි බලපෑමක් තිබේ. මේ බව අංගුත්තර නිකායෙහි කම්මනිදාන සූත්‍රයෙහි මෙසේ සඳහන් වේ. “අථ ඛො භික‍්ඛවෙ ලොභජෙන කම‍්මෙන දොසජෙන කම‍්මෙන මොහජෙන කම‍්මෙන නිරයො පඤ‍්ඤායති, තිරච‍්ඡානයොනි පඤ‍්ඤායති, පෙත‍්තිවිසයො පඤ‍්ඤායති, යා වා පනඤ‍්ඤාපි කාචි දුග‍්ගතියො.” “වැලිත් මහණෙනි, ලෝභජකර්‍මයෙන්, ද්වේෂජකර්‍මයෙන්, මෝහජකර්‍මයෙන් නිරය පැණෙයි. තිරිසන් යොන් පැණෙයි. ප්‍රේත විෂය පැණෙයි. අනෙක් කිසි දුගතිහුදු පැණෙති.” “අථ ඛො භික‍්ඛවෙ අලොභජෙන කම‍්මෙන අදොසජෙන කම‍්මෙන අමොහජෙන කම‍්මෙන දෙවා පඤ‍්ඤායන‍්ති, මනුස‍්සා පඤ‍්ඤායන‍්ති, යා වා පනඤ‍්ඤාපි කාචි සුගතියො.” “වැලිත් මහණෙනි, අලෝභජ කර්‍මයෙන්, අද්වේෂජකර්‍මයෙන්, අමෝහජ කර්‍මයෙන් දෙවියෝ පැණෙත්. මනුෂ්‍යයෝ පැණෙත්. යම්බඳු අනෙකුදු කිසියම් සුගතිහු පැණෙත්.” (අංගුත්තර නිකාය 4, 2006, p. 96) 

සසර පැවැත්ම පිණිස මේසා බලපෑමක් සිදු කරන කර්මය පිළිබඳ වටහා ගැනීම ධර්මාවබෝධය පිණිස අත්‍යවශ්‍ය වන බව සම්බුද්ධ දේශනා අධ්‍යනය කිරීමේදී පැහැදිලිව පෙනෙන කරුණකි. එසේම සසර දුකින් නිදහස් වීම පිණිස මෙම කර්මානුරූප බලපෑමෙන් නිදහස් විය යුතු බවද බුදු රජහු වදාල සේක. 

දස කුසල හා අකුසල කර්මපථ

බොහෝ සූත්‍රයන්හි සඳහන් වන පරිදි සත්වයා මරණින් මතු දුගතියෙහි ඉපදීමට දස අකුසල කර්ම පථයන්ද සුගතියෙහි ඉපදීමට දස කුසල කර්ම පථයන්ද හේතු වේ. (සං. අසිබන්ධක සුත්ත) මෙහිදී බුදු රජහු දස අකුසල කර්ම පථයන් ලෙස “ප්‍රාණඝාතය, සොරකම, කාම මිත්‍යාචරය, මුසාවාදය, කේලම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම, අන් සතු දේට ආසා කිරීම හෙවත් අභිද්‍යාව, ව්‍යාපාදය සහ මිත්‍යා දෘෂ්ඨිය” පිළිබඳ වදාල අතර දස කුසල කර්ම පථ ලෙස “ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, කාම මිත්‍යාචරයෙන් වැළකීම, මුසාවාදයෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම, අන් සතු දේට ආසා නොකිරීම හෙවත් අනභිද්‍යාව, අව්‍යාපාදය සහ සම්මා දෘෂ්ඨිය” පිළිබඳ වදාල සේක. මෙබඳු සූත්‍රයන්හි මහාකම්මවිභංග සූත්‍රයෙහි සඳහන් පරිදි බුදු රජහු පුද්ගලයින් සිවු ආකාරයක් පිලිබඳ නොවදාල අතර දස අකුසල කර්මපථයන් හි සමාදන් වූ පුද්ගලයා දුගතියෙහි ඉපදෙන අයුරුත් දස කුසල කර්මපථයන් හි සමාදන් වූ පුද්ගලයා සුගතියෙහි ඉපදෙන අයුරුත් පමණක් දේශනා කළහ.

මෙහි කර්මපථ යන සමාස පදය පිළිබඳ විමසීම වැදගත් වේ. පථය යනු මාර්ගය වන අතර ප්‍රාණඝාත ආදී අකුසල ක්‍රියාවන්හි යෙදීමත් ඒවායින් වැලකීම නම් වූ කුසල ක්‍රියාවන්හි යෙදීමත් මාර්ගයන් හෙවත් පථයන් ලෙස මෙහිදී බුදු රජුන් අදහස් කොට ඇති බව සිතිය හැකිය. මජ්ඣිම නිකායෙහි මහාසිහනාද සූත්‍රයෙහි යම් කුසල අකුසල ක්‍රියාවන්හි යෙදී සිටීම මාර්ගයක හෙවත් පථයක බැසගෙන සිටින අයුරින් බුදු රජහු වදාළහ. එනම්, “ඉධාහං සාරිපුත‍්ත එකච‍්චං පුග‍්ගලං එවං චෙතසා චෙතො පරිච‍්ච පජානාමි: තථායං පුග‍්ගලො පටිපන‍්නො තථා ච ඉරීයති තඤ‍්ච මග‍්ගං සමාරූළ‍්හො යථා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජිස‍්සතීති.” “ශාරිපුත්‍රය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මා සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි: කය බිඳී මරණින් මතු අපාය වූ දුර්‍ගති වූ විවස ව පතිත වන නිරයෙහි යම් සේ උපදින්නේ ද, එසේ මේ පුද්ගල තෙමේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ යි.” (මජ්ඣිම නිකාය 1, 2006, p. 180) ලෙසයි.

කර්මයෙහි ප්‍රභේද

කර්මය පිළිබඳ නොයෙක් අදහස් බුදු සසුනෙන් බැහැර ඉගැන්වීම් වල සඳහන් වුවද බුදු රජුන් විසින් වදාල ධර්මයෙහි කර්මය පිළිබඳ අන් කවර ඉගැන්වීමකවත් දැකගත නොහැකි විග්‍රහයක් සඳහන් වේ. අංගුත්තර නිකායෙහි චතුක්ක නිපාතයෙහි බුදු රජහු කර්මය සතර ආකාරයකට බෙදා විග්‍රහ කළහ. එනම්, “අත්‍ථි භික‍්ඛවෙ කම‍්මං කණ‍්හං කණ‍්හවිපාකං. අත්‍ථි භික‍්ඛවෙ කම‍්මං සුක‍්කං සුක‍්කවිපාකං. අත්‍ථි භික‍්ඛවෙ කම‍්මං කණ‍්හසුක‍්කං කණ‍්හසුක‍්කවිපාකං. අත්‍ථි භික‍්ඛවෙ කම‍්මං අකණ‍්හං අසුක‍්කං අකණ‍්හඅසුක‍්කවිපාකං කම‍්මක‍්ඛයාය සංවත‍්තති.” “මහණෙනි, කළු විපාක ඇති කළු (අකුශල) කර්‍මයෙක් ඇත. මහණෙනි, සුදු විපාක ඇති සුදු (කුශල) කර්‍මයෙක් ඇත. මහණෙනි, කළු වූ ද සුදු වූ ද විපාක ඇති (මිශ්‍රක වන) කළු-සුදු කර්‍මයෙක් ඇත. මහණෙනි, කළු ද නො වූ සුදු ද නො වූ විපාක ඇති කර්‍මක්‍ෂය පිණිස පවත්නා කළුත් නොවූ සුදුත් නොවූ කර්‍මයෙක් ඇත.” (අංගුත්තර නිකාය 2, 2006, p. 446) මෙම විග්‍රහයෙහි තිබෙන විශේෂත්වය නම් කර්මය ප්‍රහාණය පිණිස මුල් වන්නේද කර්මයක් ම වන බවයි. මෙහි කළුත් නොවූ සුදුත් නොවූ කළුසුදු නොවන විපාක ඇති කර්මය ක්ෂය වීම පිණිස මුල් වන කර්මය ලෙස බුදු රජුන් වදාලේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. 

කර්මය පිරිසිඳ දැකීම

බුදු රජුන් විසින් වදාරණ ලද කර්මය පිළිබඳ සුප්‍රකට දහම් කරුණු රැසක් සඳහන් වන සූත්‍ර දේශනාවක් වන්නේ අංගුත්තර නිකායෙහි නෙබ්බේධික සූත්‍රයයි. නෙබ්බේධ යන්නෙහි අරුත පිරිසිඳ අවබෝධය යන්නයි. මෙම සූත්‍රයෙහි බුදු රජහු කර්ම නිරෝධය පිණිස පවතින නිබ්බෙධික බ්‍රහ්මචරිය නම් වූ පිරිසිඳ අවබෝධය ඇති කරන ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව නමින් කර්මය පිළිබඳ සුවිශේෂී විග්‍රහයක් වදාළහ (අංගුත්තර නිකාය 4, 2006, p. 208). මෙහිදී කර්මය, කර්මයේ නිදාන සම්භවය, කර්මයේ වේමත්තතාවය, කර්මයේ විපාක, කර්මයේ නිරෝධය සහ කර්මය නිරෝධය පිණිස පවතින ප්‍රතිපදාව යන මාතෘකා 6 පිළිබඳව වදාළ අතර ඒවා පහත පරිදි වේ.

  1. කර්මය යනු : “චෙතනාහං භික‍්ඛවෙ කම‍්මං වදාමි, චෙතයිත්‍වා කම‍්මං කරොති කායෙන වාචාය මනසා,” “මහණෙනි, චේතනාව කර්‍මය ය යි මම කියමි. චේතනා පහළ කොට කයින් වචසින් මනසින් කර්‍ම කෙරෙයි.” 
  2. කර්මයෙහි නිදාන සම්භවය යනු : “ඵස‍්සො භික‍්ඛවෙ කම‍්මානං නිදානසම‍්භවො” “මහණෙනි, ස්පර්‍ශය කර්‍මයන්ගේ නිදානසම්භව යි”
  3. කර්මයෙහි වේමත්තතාව යනු : “අත්‍ථි භික‍්ඛවෙ කම‍්මං නිරයවෙදනියං, අත්‍ථි කම‍්මං තිරච‍්ඡානයොනිවෙදනියා, අත්‍ථි කම‍්මං පෙත‍්තිවිසයවෙදනියං, අත්‍ථි කම‍්මං මනුස‍්සලොකවෙදනියං, අත්‍ථි කම‍්මං දෙවලොකවෙදනියං. අයං වුච‍්චති භික‍්ඛවෙ කම‍්මානං වෙමත‍්තතා.” “මහණෙනි, නිරයෙහි වේදනීය වූ කර්‍මයෙක් ඇත. තිරිසන්යොන්හි වේදනීය වූ කර්‍මයෙක් ඇත. ප්‍රේතවිෂයෙහි වේදනීය වූ කර්‍මයෙක් ඇත. මනුෂ්‍යලෝකයෙහි වේදනීය වූ කර්‍මයෙක් ඇත. දේවලෝකයෙහි වේදනීය වූ කර්‍මයෙක් ඇත. මහණෙනි, මෙය කර්‍මයන්ගේ වේමත්තතා යි කියනු ලැබේ” 
  4. කර්මයෙහි විපාක යනු : “තිවිධාහං භික‍්ඛවෙ කම‍්මානං විපාකං වදාමි: දිට‍්ඨෙවා ධම‍්මෙ, උපජ‍්ජෙ වා, අපරෙ වා පරියායෙ. අයං වුච‍්චති භික‍්ඛවෙ කම‍්මානං විපාකො.” “මහණෙනි, දිටුදැමියෙහි හෝ අනතුරු අත්බව්හි හෝ අනෙක් අත්බවෙක හෝ යි මම කර්‍මයන්ගේ විපාකය ත්‍රිවිධ කොට කියමි. මහණෙනි, මෙ කර්‍මයන්ගේ විපාක ය යි කියනු ලැබේ”
  5. කර්මයෙහි නිරෝධය යනු : “ඵස‍්සනිරොධො භික‍්ඛවෙ කම‍්මනිරොධො.” “මහණෙනි, ස්පර්‍ශනිරෝධය කර්‍මනිරෝධ යි.”
  6. කර්මය නිරෝධ වීම පිණිස පවතින ප්‍රතිපදාව යනු : “අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො කම‍්මනිරොධගාමිනී පටිපදා.” “මෙ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය ම කර්‍මනිරෝධගාමිනිප්‍රතිපදායි.”

මෙම සූත්‍රයෙහි සඳහන් විග්‍රහය අනුව කර්මය යනු චේතනාවයි. එම චේතනාව මුල්වී කය වචනය මනස යන තුන් දොර ඔස්සේ කර්ම සිදු කරයි. එසේ සිදු කරන්නාවූ කර්ම වල විපාක මෙම අත්බවෙහි, අනතුරු අත්බවෙහි හෝ මතු අත්බවෙක විපාක දිය හැකි අතර එසේ විපාක ලබා දීම මනු, දිව්‍ය, අපාය ආදී යම්කිසි ලොවක වේදනීය හෙවත් විඳීම් ඇතිකරන බව මෙම සූත්‍රය අධ්‍යනය කිරීමේදී පැහැදිලි වේ.

කර්මය හා සංස්කාර

සංයුක්ත නිකායෙහි ඛන්ධසංයුක්තයෙහි සත්තට්ඨාන සූත්‍රයෙහි සඳහන් පංච උපාදානස්කන්ධ විග්‍රහයේදී “කතමෙ ච භික‍්ඛවෙ, සඞ‍්ඛාරා: ඡයිමෙ භික‍්ඛවෙ චෙතනාකායා: රූපසඤ‍්චෙතනා, සද‍්දසඤ‍්චෙතනා, ගන්‍ධසඤ‍්චෙතනා, රසසඤ‍්චෙතනා, ඵොට‍්ඨබ‍්බසඤ‍්චෙතනා, ධම‍්මසඤ‍්චෙතනා. ඉමෙ වුච‍්චන‍්ති භික‍්ඛවෙ සඞ‍්ඛාරා” “මහණෙනි, සංස්කාර කවර යැ: මහණෙනි, මේ චේතනා සමූහ සයෙකි: රූපසඤ්චේතනා යැ, ශබ්දසඤ්චේතනා යැ, ගන්‍ධසඤ්චේතනා යැ, රසසඤ්චේතනා යැ ස්ප්‍රෂ්ටව්‍යසඤ්චේතනා යැ, ධර්‍මසඤ්චේතනා යි. මහණෙනි, මොහු ‘සංස්කාර’ යි කියනු ලැබෙත්.” (සංයුක්ත නිකාය 3, 2006, p. 112) ලෙස වදාල සේක. එසේම එම සංයුක්තයෙහිම සඳහන් ඛජ්ජනීය සූත්‍රයෙහි පංච උපාදානස්කන්ධ විග්‍රහයේ සංස්කාර විස්තර වන්නේ “කිඤ‍්ච භික‍්ඛවෙ, සඞ‍්ඛාරෙ වදෙථ: සඞ‍්ඛතං අභිසඞ‍්ඛරොන‍්තීති භික‍්ඛවෙ, තස‍්මා සඞ‍්ඛාරාති වුච‍්චන‍්ති. කිඤ‍්ච සඞ‍්ඛතං අභිසඞ‍්ඛරොන‍්ති: රූපං රූපත‍්තාය සඞ‍්ඛතං අභිසඞ‍්ඛරොන‍්ති. වෙදනං වෙදනත‍්තාය සඞ‍්ඛතං අභිසඞ‍්ඛරොන‍්ති. සඤ‍්ඤං සඤ‍්ඤත‍්තාය සඞ‍්ඛතං අභිසඞ‍්ඛරොන‍්ති. සඞ‍්ඛාරෙ සඞ‍්ඛාරත‍්තාය සඞ‍්ඛතං අභිසඞ‍්ඛරොන‍්ති, විඤ‍්ඤාණං විඤ‍්ඤාණත‍්තාය සඞ‍්ඛතං අභිසඞ‍්ඛරොන‍්ති. සඞ‍්ඛතං අභිසඞ‍්ඛරොන‍්තීති ඛො භික‍්ඛවෙ, තස‍්මා සඞ‍්ඛාරාති වුච‍්චන‍්ති.” “මහණෙනි, කවර කරුණින් සංස්කාර කියන්නේ ය යත්: මහණෙනි, “සඞ්ඛතය අභිසංස්කරණ කෙරෙත්” නුයි එයින් සංස්කාරහ කියනු ලැබෙත්. කවර කරුණින් සඞ්ඛතය අභිසංස්කරණ කෙරෙති යත්: රූපය රූපය පිණිස සඞ්ඛතය අභිසංස්කරණය කෙරෙති. වේදනාව වේදනා පිණිස සඞ්ඛතය අභිසංස්කරණය කෙරෙති. සංඥාව සංඥා පිණිස සඞ්ඛතය අභිසංස්කරණය කෙරෙති. සංස්කාර සංස්කාර පිණිස සඞ්ඛතය අභිසංස්කරණ කෙරෙති. විඥානය විඥානය පිණිස සඞ්ඛතය අභිසංස්කරණය කෙරෙත්. “මහණෙනි, සඞ්ඛතය අභිසංස්කරණය කෙරෙත්” නුයි එයින් සංස්කාරහ යි කියනු ලැබෙත්.” (සංයුක්ත නිකාය 3, 2006, p. 150) ලෙසටය. මෙයින් වැටහෙන කරුණ වනුයේ චේතනාත්මක ක්‍රියාව තුළ වන සකස් වීමෙහි අනාගත විපාක තිබෙන බවයි. එනම් එම චේතනාත්මක සකස්වීම කර්මය වන අතර එහි විපාකය පංච උපාදානස්කන්ධයෙහි අනාගත පැවැත්ම පිණිස හේතු වේ. 

කර්මය හා භවය

බුදු රජහු අංගුත්තර නිකායෙහි තික නිපාතයෙහි භවය පිළිබඳ වදාල සූත්‍රයන්හි “ඉති ඛො ආනන්‍ද, කම‍්මං ඛෙත‍්තං, විඤ‍්ඤාණං බීජං, තණ‍්හා සිනෙහො අවිජ‍්ජානීවරණානං සත‍්තානං තණ‍්හාසංයොජනානං හීනාය ධාතුයා විඤ‍්ඤාණං පතිට‍්ඨිතං. එවං ආයති පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති හොති.” “ආනන්‍දය, මෙසේ කර්‍මය කුඹුර (ක්‍ෂේත්‍රය) වෙයි. විඥානය බීජය වෙයි. තෘෂ්ණාව උදකය වෙයි. අවිද්‍යායෙන් ඇවුරුණු, තෘෂ්ණාබන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයන්ගේ කාමධාතුයෙහි විඥානය පිහිටියේ ය. මෙසේ මතුයෙහි පුනර්‍භවය පහළ වීම වේ” (අංගුත්තර නිකාය 1, 2006, p. 396) ලෙස වදාළහ. කර්මය පිළිබඳ වටහා ගැනීමට බොහෝ වැදගත් වන මෙම සූත්‍ර දේශනාවෙහි සඳහන් කරුණින් ගම්‍යවන දෙයක් නම් චේතනාත්මකව සකස් වන කර්මය විපාක දෙමින් අනාගත භව පැවැත්ම පිණිස උපකාර කරන බවයි. මෙම සූත්‍රයෙහි සඳහන් උපමාවද බොහෝ වැදගත් වේ. එනම් සකස් වූ කෙතක රෝපණය කළ ජලයෙන් තෙත් වූ බීජය වැඩෙන්නා සේ පෙර සකස්වූ කර්මය නම් කෙතෙහි තණ්හාවෙන් තෙත් වූ විඤ්ඤාණය නම් බීජය වැඩෙන්නේය. මෙහිදී පුනර්භවය හටගැනීම යනු විපාක පිණිස කර්ම සකස් වීමයි. අංගුත්තර නිකායෙහි සාරිපුත්ත සූත්‍රයෙහි ධර්ම සේනාධිපති වූ සාරිපුත්ත මහා රහතන් වහන්සේ “භවනිරොධො නිබ්බානං” “භවය නිරුද්ධ වීම නිවනයි” (අංගුත්තර නිකාය 6, 2006, p. 18) යනුවෙන් වදාල සේක.

කර්මය හා පුද්ගල ස්වභාවය

“කම‍්මවිපාකො භික‍්ඛවෙ අචින‍්තෙය්‍යො න චින‍්තෙතබ‍්බො, යං චින‍්තෙන‍්තො උම‍්මාදස‍්ස විඝාතස‍්ස භාගී අස‍්ස.” “මහණෙනි, යම් කරුණක් සිතනුයේ උමතුබවට දුකට හිමි වේද, එබඳු වූ කර්‍මවිපාකය සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය.” (අංගුත්තර නිකාය 2, 2006, p. 151) ලෙසින් සාමාන්‍ය චින්තනයට ගෝචර නොවන විෂයක් ලෙස බුදු රජුන් වදාල කර්ම විපාක පිළිබඳව තවත් වැදගත් කරුණක් අංගුත්තර නිකායෙහි ලෝණඵල සූත්‍රයෙහි සඳහන් වේ. එනම් කර්මය විපාක දෙන ආකාරය පුද්ගල ස්වභාවය අනුව වෙනස් විය හැකි බවයි. මෙහිදී උපමාවක් වදාල බුදු රජහු යම් ලුණු කැටයක් කුඩා ජල බඳුනකට දැමීමේදී එම ජලය ලුණු රස වීමත් එබඳුම ලුණු කැටයක් ගංගානම් ගංගාවට දැමීමේදී එහි ජලය ලුණු රස වීමත් එකිනෙකට වෙනස් වන ලෙසින් පුද්ගල ස්වභාවය කර්මය විපාක දීමට බලපාන බව ප්‍රකාශ කළහ. එනම් එකම කුඩා පාප කර්මය එක් නොදියුණු ගුණ දහම් ඇත්තෙක් නිරයට පමුණුවන බවත් එබඳුම කුඩා පාප කර්මයක් දියුණු ගුණ දහම් ඇත්තෙක් හට මෙලොව විපාක දී අවසන් වන බවත් වදාළහ. 

බුදු රජහු මෙකරුණ පැහැදිලි කරමින් තව දුරටත් වදාලේ “යො භික‍්ඛවෙ, එවං වදෙය්‍ය : යථා යථායං පුරිසො කම‍්මං කරොති, තථා තථා තං පටිසංවෙදියතීති. එවං සන‍්තං භික‍්ඛවෙ, බ්‍රහ‍්මචරියවාසො න හොති, ඔකාසො න පඤ‍්ඤායති සම‍්මා දුක‍්ඛස‍්ස අන‍්තකිරියාය.” “මහණෙනි, “යම් යම් ආකාරයෙකින් මේ පුරුෂ කර්‍ම කෙරේ ද, ඒ ඒ ආකාරයෙන් එය විපාක විසින් විඳුනේමය” යි යමෙක් මෙසේ බෙණේ ද, මහණෙනි, මෙසේ වත් ම කර්‍මක්‍ෂයකරබ්‍රහ්මචර්‍ය්‍යවාසයෙක් නම් නො වේ. මැනවින් දුක් කෙළවර කරන්නට අවකාශයෙක් නො පැණේ.”

“යො ච ඛො භික‍්ඛවෙ, එවං වදෙය්‍ය : යථා යථා වෙදනීයං අයං පුරිසො කම‍්මං කරොති, තථා තථා අස‍්ස විපාකං පටිසංවෙදියතීති. එවං සන‍්තං භික‍්ඛවෙ, බ්‍රහ‍්මචරියවාසො හොති, ඔකාසො පඤ‍්ඤායති සම‍්මා දුක‍්ඛස‍්ස අන‍්තකිරියායාති.” “මහණෙනි, යම් යම් ආකාරයෙකින් වේදනීය කර්‍මයක් මේ පුරුෂ කෙරේ ද, ඒ ඒ ආකාරයෙන් ඒ කර්‍මයාගේ විපාක විඳුනේ ය”යි යමෙක් මෙසේ බෙණේ ද, මහණෙනි, මෙසේ වත් ම කර්‍මක්‍ෂයකරබ්‍රහ්මචර්‍ය්‍යවාසය වෙයි. මැනවින් දුක් කෙළවර කරන්නට අවකාශයෙක් පැණේ.” (අංගුත්තර නිකාය 1, 2006, p. 450) මෙහිදී පැහැදිලි වනුයේ යම් පුරුෂයෙක් යම් විපාකයක් විඳින ආකාරයේ කර්මයක් කරන විට ඊට අනුරූපව එහි විපාක විඳින බවයි. එසේම එක් එක් පුද්ගලන්ට සාපේක්ෂව එම කර්මයේ විපාක විඳින ස්වභාවය වෙනස් වන බවත් එම පුද්ගල සන්තානය තුළ වර්ධනය කර ගන්නා කුසල ධර්මයන් හේතුවෙන් කර්ම විපාක සංඛ්‍යාත දුක්ඛයන්ගෙන් මිදිය හැකි බවත්ය. ඒ සඳහා නිබ්බේධික සූත්‍රයෙහි සඳහන් පරිදි කර්මය නිරෝධ වීම පිණිස පවතින ප්‍රතිපදාව වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිය යුතුය.

කර්මය වෙනස් කිරීම හා ක්ෂය කිරීම

කර්මය පිළිබඳ සඳහන් තවත් වැදගත් කරුණක් මජ්ඣිම නිකායෙහි දේවදහ සූත්‍රයෙහි බුදු රජහු දේශනා කළ සේක. එනම් “ඉති කිරාවුසො නිගණ‍්ඨා, යමිදං කම‍්මං දිට‍්ඨධම‍්මවෙදනීයං තං උපක‍්කමෙන වා පධානෙන වා ‘සම‍්පරායවෙදනීයං හොතූ’ති අලබ‍්භමෙතං. යමිදං කම‍්මං සම‍්පරායවෙදනීයං, තං උපක‍්කමෙන වා පධානෙන වා ‘දිට‍්ඨධම‍්මවෙදනීයං හොතූ’ති අලබ‍්භමෙතං. යමිදං කම‍්මං සුඛවෙදනීයං, තං උපක‍්කමෙන වා පධානෙන වා ‘දුක‍්ඛවෙදනීයං හොතූ’ති අලබ‍්භමෙතං. යමිදං කම‍්මං දුක‍්ඛවෙදනීයං, තං උපක‍්කමෙන වා පධානෙන වා සුඛවෙදනීයං හොතූති අලබ‍්භමෙතං. යමිදං කම‍්මං පරිපක‍්කවෙදනීයං, තං උපක‍්කමෙන වා පධානෙන වා ‘අපරිපක‍්කවෙදනීයං හොතූ’ති අලබ‍්භමෙතං, යමිදං කම‍්මං අපරිපක‍්කවෙදනීයං, තං උපක‍්කමෙන වා පධානෙන වා ‘පරිපක‍්කවෙදනීයං හොතූ’ති අලබ‍්භමෙතං. යමිදං කම‍්මං බහුවෙදනීයං, තං උපක‍්කමෙන වා පධානෙන වා අප‍්පවෙදනීයං හොතූති අලබ‍්භමෙතං. යමිදං කම‍්මං අප‍්පවෙදනීයං, තං උපක‍්කමෙන වා පධානෙන වා බහුවෙදනීයං හොතූ’ති අලබ‍්භමෙතං. යමිදං කම‍්මං වෙදනීයං, තං උපක‍්කමෙන වා පධානෙන වා අවෙදනීයං හොතූ’ති අලබ‍්භමෙතං. යමිදං කම‍්මං අවෙදනීයං, තං උපක‍්කමෙන වා පධානෙන වා වෙදනීයං හොතූ’ති අලබ‍්භමෙතං.” “ඇවැත්නි, නිගණ්ඨයෙනි, මෙසේ නම් මේ ආත්මයෙහි විඳුමට නිසි වූ යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “මීළඟ ආත්මයෙහි වේදනීය වේවා” යන තෙල නො ලැබියැ හෙයි. මීළඟ ආත්මයෙහි වේදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “මේ ආත්මයෙහි විඳුමට නිසි වේවා” යන තෙල කරුණ නො ලැබියැ හෙයි. යම් කර්‍මයෙක් සුඛවේදනීය වේ ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “දුක්ඛවේදනීය වේවා” යන තෙල කරුණ නො ලැබියැ හෙයි. දුක්ඛවේදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “සුඛවේදනීය වේවා” යන තෙල කරුණ නො ලැබියැ හෙයි. මෝරා යෑමෙන් වේදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “මෝරා නොයෑමෙන් වේදනීය වේවා” යන තෙල කරුණ නො ලැබිය හෙයි. මෝරා නොයෑමෙන් වෙදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, එය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “මෝරා යෑමෙන් වේදනීය වේවා” යන තෙල කරුණ නො ලැබියැ හෙයි. බහුවේදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, එය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “අල්පවෙදනීය වේවා” යන තෙල කරුණ නො ලැබියැ හෙයි. අල්පවෙදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, එය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “බහුවේදනීය වේවා” යන මෙ කරුණ නො ලැබියැ හෙයි. සවිපාක වූ යම් කර්‍මයෙක් ඇද්ද, එය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “අවිපාක වේවා” යන තෙල නො ලැබියැ හෙයි. අවිපාක වූ යම් කර්‍මයෙක් ඇද්ද, එය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “සවිපාක වේවා” යන තෙල කරුණ නො ලැබියැ හෙයි.” (මජ්ඣිම නිකාය 3, 2006, p. 14) යන්නයි. මෙයින් වටහා ගත හැකි කරුණ වන්නේ යම් වේදනීය වූ කර්මයක් චේතනාත්මකව සකස් වූයේද, එය උපක්‍රමයෙන් වෙනත් ආකාරයකට පරිවර්තනය කළ නොහැකි බවයි. 

එසේම අංගුත්තර නිකායෙහි පඨම හා දුතිය සඤ්චේතනික සූත්‍රයන්හි සඳහන් වන්නේ “නාහං භික‍්ඛවෙ සඤ‍්චෙතනිකානං කම‍්මානං කතානං උපචිතානං ව්‍යන‍්තීභාවං වදාමි. තඤ‍්ච ඛො දිට‍්ඨෙ වා ධම‍්මෙ, උපපජ‍්ජෙ වා අපරෙ වා පරියායෙ. න ත්‍වෙවාහං භික‍්ඛවෙ සඤ‍්චෙතනිකානං කම‍්මානං කතානං උපචිතානං අප‍්පටිසංවිදිත්‍වා දුක‍්ඛස‍්ස අන‍්තකිරියං වදාමීති.” “මහණෙනි, මම දැන දැන කළ රැස්කළ කර්‍මයන්ගේ නො විඳ අවසන් වීමක් නො කියමි. හෙ ද මේ අත් බැව්හි හෝ වෙයි, දෙවෙනි අත් බැව්හි හෝ වෙයි, අනාගත ජන්මයෙහි හෝ වෙයි. මහණෙනි, මම දැන දැන කළ රැස්කළ කර්‍මයන්ගේ විපාක නො විඳ දුක් කෙළවර කිරීමක් නො කියමි යී.” (අංගුත්තර නිකාය 6, 2006, p. 550) ලෙසයි. 

ඉහත කරුණු වලින් පැහැදිලි වන දෙයක් නම් චේතනාත්මකව සිදු කළ කර්මයන්හි විපාකයන් අනිවාර්යයෙන් විඳිය යුතු අතර ලෝණඵල ආදී සූත්‍රයන්හි සඳහන් කාරණා අනුව බුදු රජුන් පෙන්වා වදාල මග අනුගමනය කිරීමෙන් අනුක්‍රමණයෙන් එම කර්ම විපාකයන්හි බලවත් බව අඩු කරමින් සියළු කර්මයන් නිරුද්ධ කොට නිදහස් විය හැකි බවයි.

මෙසේ ඉහත දැක්වූ ආකාරයෙන් බුදු රජාණන් වහන්සේ කර්මය පිළිබඳ නොයෙක් පරියායන්ගෙන් ධර්මය දේශනා කර තිබේ. කර්මය පිළිබඳව එසේ දේශනා කර තිබෙන නොයෙක් විස්තරයන් පිළිබඳ ඇති දැනුම මජ්ඣිම නිකායෙහි කර්මය බෙදා විග්‍රහ කර තිබෙන ප්‍රධාන සූත්‍ර දෙකක් වන චුල්ලකම්මවිභංග හා මහාකම්මවිභංග සූත්‍රයන්ගේ අරුත් වටහා ගැනීමට මහෝපකාරී වේ.

කර්ම විභංගය

චුල්ලකම්මවිභංග සූත්‍රයෙහි කර්ම විග්‍රහය

පෙර සඳහන් කළ ආකාරයට තෝදෙය්‍ය බ්‍රාහ්මණ පුත්‍ර සුභ නම් තරුණයා බුදු රජුන්ගෙන් විමසූ ප්‍රශ්නයට පිළිතුරු ලෙස  වදාල චුල්ලකම්මවිභංග සූත්‍රයෙහි (මජ්ඣිම නිකාය 3, 2006, p. 432) සඳහන් වන ආකාරයට සත්වයා හීන ප්‍රනීත ස්වභාවයන්ට බෙදී වෙන් වී තිබෙන්නේ කර්මානුරූපීවය. අකුසල කර්මයන් සමාදන් වූ පුද්ගලයා මරණින් මතු දුගතියෙහි ඉපිද යම් කලෙක මනු ලොව උපත ලැබීමේදී සහ කුසල කර්මයන සමාදන් වූ පුද්ගලයා මරණින් මතු සුගතියෙහි ඉපිද යම් කලෙක මනු ලොව උපත ලැබීමේදී ඔවුනොවුන් අතර මෙම වෙනස්කම් දැකිය හැකි බව මෙම සූත්‍රයෙහි සඳහන් වේ. මෙහිදී ප්‍රධාන කරුණු 7ක් ඔස්සේ සත්වයන් කර්මානුරූපීව බෙදෙන අයුරු බුදු රජහු පෙන්වූ සේක. එම ආකාර 7 සහ ඊට අදාල කර්මානුරූප පසුබිම පහත පරිදි වේ.

  1. අල්පායුෂ ඇති හා දීර්‍ඝායුෂ ඇති ලෙස සත්වයා බෙදීම 
    1. සසරෙහි ප්‍රාණඝාතයෙහි යෙදීම අල්පායුෂ ඇති බවටත් 
    2. සසරෙහි ප්‍රාණඝාතයෙන් වැලකීම දීර්‍ඝායුෂ ඇති බවටත් හේතු වේ.
  2. බොහෝ ආබාධ ඇති හා අල්පාබාධ ඇති ලෙස සත්වයා බෙදීම
    1. සසරෙහි සත්ව හිංසාවෙහි යෙදීම බොහෝ ආබාධ ඇති බවටත් 
    2. සසරෙහි සත්ව හිංසාවෙන් වැලකීම අල්පාබාධ ඇති බවටත් හේතු වේ.
  3. දුර්වර්‍ණ හා වර්‍ණවත් ලෙස සත්වයා බෙදීම
    1. සසරෙහි ක්‍රෝධ හා වෛර කිරීම දුර්වර්‍ණ බවටත් 
    2. සසරෙහි ක්‍රෝධ හා වෛර කිරීමෙන් වැලකීම වර්‍ණවත් බවටත් හේතු වේ.
  4.  අල්පේශාක්‍ය හා මහේශාක්‍ය ලෙස ලෙස සත්වයා බෙදීම 
    1. සසරෙහි ඊර්ෂ්‍යා කිරීම අල්පේශාක්‍ය බවටත් 
    2. සසරෙහි ඊර්ෂ්‍යා කිරීමෙන් වැලකීම මහේශාක්‍ය බවටත් හේතු වේ.
  5. අල්පභෝග ඇති හා මහාභෝග ඇති ලෙස සත්වයා බෙදීම 
    1. සසරෙහි දන් නොදීම අල්පභෝග ඇති බවටත් 
    2. සසරෙහි දන් දීම මහාභෝග ඇති බවටත් හේතු වේ.
  6. නීචකුලීන බව හා උච්චාකුලීන බව ලෙස සත්වයා බෙදීම 
    1. සසරෙහි ගරු කළ යුත්තන් හට ගරු නොකිරීම නීචකුලීන බවටත් 
    2. සසරෙහි ගරු කළ යුත්තන් හට ගරු කිරීම උච්චාකුලීන බවටත් හේතු වේ.
  7. දුෂ්ප්‍රාඥ හා ප්‍රඥාවන්ත ලෙස සත්වයා බෙදීම
    1. සසරෙහි කුසල් අකුසල් පිළිබඳ නොසෙවීම දුෂ්ප්‍රාඥ බවටත් 
    2. සසරෙහි කුසල් අකුසල් පිළිබඳ සෙවීම ප්‍රඥාවන්ත බවටත් හේතු වේ.

මෙම සූත්‍රයෙහි සඳහන් කරුණු මහා කම්මවිභංග සූත්‍රය මෙන් නොව අනෙක් බොහෝ සූත්‍ර වල සඳහන් කුසල අකුසල ක්‍රියාවන්ගේ විපාක පිළිබඳ දේශනා කොට තිබෙන විස්තර හා සෘජුව ගැලපේ.

මහාකම්මවිභංග සූත්‍රයෙහි කර්ම විග්‍රහය

පෙර සඳහන් කළ පරිදි සමිද්ධි හිමියන් විසින් පෝතලිපුත්ත පරිබ්‍රාජකයා ඇසු ප්‍රශ්නයට දුන් පිළිතුරෙහි වූ දෝෂය මුල් කොට ගෙන බුදු රජහු මෙම මහාකම්මවිභංගය (මජ්ඣිම නිකාය 3, 2006, p. 444) දේශනා කොට වදාළහ. මෙම සූත්‍රයෙහි පහත සඳහන් පරිදි පුද්ගලයන් සිවු දෙනෙකු පිළිබඳ දේශනා කොට ඇත.

  1. ප්‍රාණඝාත ආදී දස අකුසල කර්ම පථයන්හි ගමන් කරන මරණින් මතු දුගතියෙහි ඉපදෙන පුද්ගලයා.
  2. ප්‍රාණඝාත ආදී දස අකුසල කර්ම පථයන්හි ගමන් කරන මරණින් මතු සුගතියෙහි ඉපදෙන පුද්ගලයා.
  3. ප්‍රාණඝාතයෙන් වැළකීම ආදී දස කුසල කර්ම පථයන්හි ගමන් කරන මරණින් මතු සුගතියෙහි ඉපදෙන පුද්ගලයා.
  4. ප්‍රාණඝාතයෙන් වැළකීම ආදී දස කුසල කර්ම පථයන්හි ගමන් කරන මරණින් මතු දුගතියෙහි ඉපදෙන පුද්ගලයා.

මෙහිදී බොහෝ සූත්‍රයන්හි සඳහන් ආකාරයට වඩා වෙනස් දහම් පරියායක් බුදු රජහු දේශනා කොට තිබේ. එනම් මෙහිදී දස අකුසල කර්ම සිදු කරන මරණින් මතු සුගතියෙහි ඉපදෙන පුද්ගලයෙකු හා දස කුසල කර්ම සිදු කරන මරණින් මතු දුගතියෙහි ඉපදෙන පුද්ගලයෙකු පිළිබඳ සඳහන්ය. බැලු බැල්මට අනෙක් සම්බුද්ධ දේශනා සමඟ පරස්පර විරෝධී ලෙස පෙනුනත්, මෙම සූත්‍රයෙහි එය සිදු වන ආකාරය විස්තර කොට තිබේ. 

සත්වයා මරණින් මතු උපත ලබන ආකාරය දැකිය හැකි ඥාණ උපදවාගත් ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් එසේ උපදවා ගත් ඥාණයන්හි ඇති අසම්පුර්ණ බව හේතුවෙන් එසේ කුසල අකුසල කර්ම සිදු කරන පුද්ගලයාගේ සම්පුර්ණ සංසාරික ගමන පිළිබඳ නියමාකාරයෙන් අවබෝධයක් නොලබයි. මේ හෙයින් එම පුද්ගලයාගේ එක් කාල පරිච්ඡේදයක් පමණක් සළකා අදහසකට පැමිණ තම අදහස පමණක් සත්‍ය බවටත් අනෙක් සියල්ල සාවද්‍ය බවටත් දෘෂ්ඨිගත වේ.

බුදු රජුන්ගේ මහාකම්මවිභංග ඥානය අනුව දස කුසලයන්හි යෙදුනු හෝ දස අකුසලයන්හි යෙදුනු දුගතියෙහි උපත ලබන පුද්ගලයන් දෙදෙනා පිළිබඳව එම සූත්‍රයෙහි මෙසේ සඳහන් වේ. එනම්: “පුබ‍්බෙ වාස‍්ස තං කතං හොති පාපකම‍්මං දුක‍්ඛවෙදනීයං. පච‍්ඡා වාස‍්ස තං කතං හොති පාපකම‍්මං දුක‍්ඛවෙදනීයං. මරණකාලෙ වාස‍්ස හොති මිච‍්ඡාදිට‍්ඨි සමත‍්තා සමාදින‍්නා. තෙන සො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති.” “ඔහු විසින් දුඃඛවේදනීය වූ ඒ පාපකර්‍මය පෙර කරනලද හෝ වෙයි. ඔහු විසින් දුඃඛවේදනාවට හිත වූ ඒ පාපකර්‍මය පසු වැ කරන ලද හෝ වෙයි. ඔහු විසින් මිථ්‍යාදෘෂ්ටිය මරණකාලයෙහි හෝ සම්පූර්‍ණ කරනලද සමාදාන කරනලද වෙයි. එහෙයින් හේ කය බිඳී මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත නම් වූ නිරයට එළැඹෙයි.”

එසේම දස කුසලයන්හි යෙදුනු හෝ දස අකුසලයන්හි යෙදුනු සුගතියෙහි උපත ලබන පුද්ගලයන් දෙදෙනා පිළිබඳව එම සූත්‍රයෙහි මෙසේ සඳහන් වේ. එනම් “පුබ‍්බෙ වාස‍්ස තං කතං හොති කල්‍යාණකම‍්මං සුඛවෙදනීයං. පච‍්ඡා වාස‍්ස තං කතං හොති කල්‍යාණකම‍්මං සුඛවෙදනීයං. මරණකාලෙ වාස‍්ස හොති සම‍්මාදිට‍්ඨි සමත‍්තා සමාදින‍්නා. තෙන සො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති.” “ඔහු විසින් සුඛවේදනාවට ප්‍රත්‍යය වූ ඒ කල්‍යාණකර්‍මය පෙර කරනලද හෝ වෙයි. ඔහු විසින් පසු වැ සුඛවේදනාවට ප්‍රත්‍යය වූ ඒ කල්‍යාණකර්‍ම කරනලද හෝ වෙයි. ඔහු විසින් මරණකාලයෙහි සම්‍යග්දෘෂ්ටිය සම්පූර්‍ණ කරනලද සමාදාන කරනලද හෝ වෙයි. එකරුණින් හේ කායභේදයෙන් පසු මරණින් මතු ඉෂ්ටගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණෙයි.”

මේ අනුව පෙනෙනුයේ මෙම ජීවිතයෙහි ගමන් කරන පථය කුසල් හෝ වේවා අකුසල් හෝ වේවා පෙර සසරෙහි හෝ පසුව හෝ සිදු කරන ලද කුසල හෝ අකුසල කර්මයන්ගේ විපාක අනුවත් මරණාසන්න කාලයේ සමාදන් වන දෘෂ්ඨිය අනුවත් එම පුද්ගලයාගේ පරලොව ගතිය තීරණය වන බවයි. මෙයින් ගම්‍ය වන්නේ කර්ම විපාකයන්ගේ තිබෙන අචින්තනීය බවයි. ඉහත සඳහන් කළ පුද්ගලයින් සිව් දෙනා විසින් මෙම ජීවිතයෙහි කරන ලද කුසල අකුසල කර්මයන්ගේ විපාක පිළිබඳ බුදු රජුන් වදාලේ “තස‍්ස දිට‍්ඨෙව ධම‍්මෙ විපාකං පටිසංවෙදෙති, උපපජ‍්ජෙ වා, අපරෙ වා පරියායෙ.” “ඒ කර්‍මයාගේ විපාක මෙලොවැමැ විඳුනේ යැ, දෙවන භවයෙහි හෝ එයින් අන්‍යභවයෙක දී හෝ විඳුනේ යැ.” ලෙසයි. පෙර සඳහන් කරන ලද අංගුත්තර නිකායෙහි සඤ්චේතනික සූත්‍රයන්හි සඳහන් ආකාරයෙන් චේතනාත්මකව සිදු කරන ලද කර්මයන්ගේ විපාක නොවිඳ එම කර්මයන් අවසන් නොවන බවද මෙහිදී වටහා ගැනීමද වැදගත් වේ.

චේතනාත්මකව රැස්වෙන කර්මයන්ගේ ඇති සංකීර්ණ බව පිළිබඳව තවත් වැදගත් කරුණක් මෙම සූත්‍රයෙහි සඳහන් වේ. එනම් “ඉති ඛො ආනන්‍ද, අත්‍ථි කම‍්මං අභබ‍්බං අභබ‍්බාභාසං, අත්‍ථි කම‍්මං අභබ‍්බං භබ‍්බාභාසං, අත්‍ථි කම‍්මං භබ‍්බඤ‍්චෙව භබ‍්බාභාසඤ‍්ච, අත්‍ථි කම‍්මං භබ‍්බං අභබ‍්බාභාසන‍්ති.” “ආනන්‍දය, මෙසෙයින් අකුශලය මැඩලන අකුශලකර්‍මයෙක් ඇත. කුශලය මැඩලන අකුශලකර්‍මයෙක් ඇත. කුශලය මැඩලන කුශලකර්‍මයෙක් ද ඇත. අකුශලය මැඩලන කුශලකර්‍මයෙක් ඇතැ” යනුයි. මේ අනුව පෙනෙනුයේ පුද්ගලයෙකුගේ චරිත ස්වභාවය බාහිරින් අධ්‍යනය කොට ඔහුගේ පරලොව ගතිය පිළිබඳ නිගමනයකට එළඹිය නොහැකි බවයි.

එම සූත්‍රයන්හි සම විෂමතා

චුල්ලකම්මවිභංග හා මහාකම්මවිභංග සූත්‍රයන් දෙක පමණක් සැළකීමේදී විද්‍යමාන වන සමාන ලක්ෂණය නම් එම සුත්‍ර දෙකෙහිම කුසල කර්ම සිදු කරන පුද්ගලයා මරණින් මතු සුගතියෙහි ඉපදීමත් අකුසල කර්ම සිදු කරන පුද්ගලයා දුගතියෙහි ඉපදීමත් සඳහන්ව තිබීමය. එහි විද්‍යමාන වන විෂමතාවය නම් මහාකම්මවිභංගයෙහි කුසල කර්ම සිදු කරන ඇතැම් පුද්ගලයෙක් මරණින් මතු දුගතියෙහි ඉපදීමට හැකි බවත් අකුසල කර්ම සිදු කරන ඇතැම් පුද්ගලයෙක් මරණින් මතු සුගතියෙහි ඉපදීමට හැකි බවත් සඳහන් කර තිබීමය. එනමුත් ඉහත සඳහන් කර තිබෙන අනෙකුත් සූත්‍රයන් සමඟද සසඳා බැලීමේදී මෙම විෂමතා ලෙස පෙනෙන කරණා සැබවින්ම විෂමතාවන් නොවන බව වටහා ගැනීමට හැකිවේ. එසේම කර්මය සහ කර්ම විපාක පිළිබඳව තිබෙන බුදු රජුන්ගේ ඥාණ දර්ශණයට පමණක් ගෝචර වන සංකීර්ණත්වය පිළිබඳවද වටහා ගැනීමට හැකි වේ. 

බුදු රජුන් හට තිබෙන්නාවූ දස බල ඥාණයන් අතර තිබෙන කර්මය හා කර්ම විපාක පිළිබඳ ඥාණය විස්තර වන්නේ මෙසේය. එනම්. “පුන චපරං සාරිපුත‍්ත තථාගතො අතීතානාගතපච‍්චුප‍්පන‍්නානං කම‍්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති. යම‍්පි සාරිපුත‍්ත, තථාගතො අතීතානාගතපච‍්චුප‍්පන‍්නානං කම‍්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, ඉදම‍්පි සාරිපුත‍්ත, තථාගතස‍්ස තථාගතබලං හොති යං බලං ආගම‍්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති.” “තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ අතීත අනාගත වර්‍තමාන කර්‍මසමාදානයන්ගේ විපාක ප්‍රත්‍ය වශයෙන් හේතු වශයෙන් තත් වූ පරිදි දන්නේය. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ අතීතඅනාගතවර්‍තමාන කර්‍මයන්ගේ විපාකය ප්‍රත්‍ය වශයෙන් හේතු වශයෙන් තතු සේ දන්නේ ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ කර්‍මවිපාකඥානය ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.” (මජ්ඣිම නිකාය 1, 2006, p. 168)

ඉහත සඳහන් සියළු කරුණු සැලකීමෙන් පැමිණිය හැකි නිගමනය වන්නේ බුදු රජුන් වදාල ධර්මයට අනුව කර්මයන්ගේ විපාක පිළිබඳ සම්පුර්ණ අවබෝධයකට සම්බුද්ධ ශ්‍රාවකයෙකු හට පැමිණීමට නොහැකි බවත්, ඒ පිළිබඳ මෙම චුල්ලකම්මවිභංග, මහාකම්මවිභංග සූත්‍රයන් සහ අනෙකුත් සම්බුද්ධ දේශනාවන්හි සඳහන් කරුණු අධ්‍යනය කොට ත්‍රිපිටක සම්බුද්ධ වචනය අනුව කර්මයන්ගේ ස්වභාවය පිළිබඳ අදහසකට පැමිණිය හැකි බවත්ය. එනම් මෙහිදී ශ්‍රාවකයා හට තම ශාස්තෘ වූ බුදු රජුන්ගේ වචනය මත ශ්‍රද්ධාවෙන් පිහිටීමට සිදුවේ. මෙමඟින් කර්ම විපාක පිළිබඳව ශ්‍රාවකයෙකු හට ශ්‍රද්ධාව මුල් කොට ඇතිවෙන වටහා ගැනීම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වන බව නිගමනය කළ හැකිය.

ආශ්‍රේය ග්‍රන්ථ

අංගුත්තර නිකාය 1 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

අංගුත්තර නිකාය 2 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

අංගුත්තර නිකාය 4 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

අංගුත්තර නිකාය 6 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

මජ්ඣිම නිකාය 1 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

මජ්ඣිම නිකාය 3 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

මහාවග්ගපාළි 1 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

සංයුක්ත නිකාය 3 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

සුත්තනිපාතය (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

Tags: No tags

Add a Comment

Your email address will not be published. Required fields are marked *