PaticcaSamup

හේතුඵල දහම සහ විවිධ දර්ශනවාද

කතෘ: පූජ්‍ය පිළියන්දල මහින්දවිජය හිමි

හැඳින්වීම

තථාගත බුදු රජුන්ගේ සම්මා සම්බුද්ධත්වය පිළිබඳ මූලික ත්‍රිපිටක දේශනා තුළ සඳහන් වන්නේ පටිච්චසමුප්පාදයෙහි සමුදය හා නිරෝධය පිළිබඳව බෝධි මූලයේදී ඇතිවූ අවබෝධයෙහි විස්තරයත් සමඟමය. එය මහාවග්ග පාළියෙහි එන පහත ගාථාවන්ගෙන් පැහැදිලි වේ. එනම්,

“යදා හවෙ පාතුභවන‍්ති ධම‍්මා

ආතාපිනො ඣායතො බ්‍රාහ‍්මණස‍්ස,

අථස‍්ස කඞ‍්ඛා වපයන‍්ති සබ‍්බා

යතො පජානාති සහෙතුධම‍්මං”

“යම් කලෙක කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුත් ධ්‍යාන කරන්නා වූ බැහැර කළ පව් ඇති රහතුන් වහන්සේට හෙතුප්‍රත්‍යයධර්‍මයෝ ප්‍රකට ව වැටහෙත් ද, එකල්හි උන්වහන්සේ අවිද්‍යාදි හේතුවෙන් සහේතුක වූ ධර්‍මය දනිති. එහෙයින් ඒ රහතුන් වහන්සේගේ සියලු සැක දුරු වේ.”

“යදා හවෙ පාතුභවන‍්ති ධම‍්මා

ආතාපිනො ඣායතො බ්‍රාහ‍්මණස‍්ස,

අථස‍්ස කඞ‍්ඛා වපයන‍්ති සබ‍්බා

යතො ඛයං පච‍්චයානං අවෙදී”

“යම් කලෙක්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තා වූ ධ්‍යාන කරන්නා වූ බැහැර කළ පව් ඇති රහතුන් වහන්සේට හෙතුප්‍රත්‍යයධර්‍මයෝ ප්‍රකට ව වැටහෙත් ද, එකල්හි අවිද්‍යාදිප්‍රත්‍යයයන්ගේ ක්‍ෂය වීම දැනගත් හෙයින් ඒ රහතුන් වහන්සේගේ සියලු සැකයෝ දුරු වෙත්.”

“යදා හවෙ පාතුභවන‍්ති ධම‍්මා

ආතාපිනො ඣායතො බ්‍රාහ‍්මණස‍්ස,

විධූපයං තිට‍්ඨති මාරසෙනං

සුරියො’ව ඔභාසයමන‍්තලික‍්ඛ”න‍්ති

“යම් කලෙක්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තා වූ ධ්‍යාන කරන්නා වූ බැහැර කළ පව් ඇති රහතුන් වහන්සේට හෙතුප්‍රත්‍යයධර්‍මයෝ ප්‍රකට ව වැටහෙත් ද, එකල්හි ඒ රහතුන් වහන්සේ මරසෙනඟ පිඹ හරිමින් අහස බබුළුවන්නා වූ හිරු මෙන්, සිටින සේක. (මහාවග්ගපාළි 1, 2006, p. 4)

පිරිසිදු මුල් බුදු දහම පිළිබඳව සඳහන් වන ථේරවාද පාළි ත්‍රිපිටකය තුල පටිච්ච සමුප්පාදය පිළිබඳව බොහෝ දහම කොටස් සඳහන් වේ. එනමුත් මුල් ධර්ම සංගායනාවන්ගෙන් පසු කලෙක නොයෙක් මති මතාන්තර වලට සංඝයා බෙදී යෑමෙන් පසු පටිච්ච සමුප්පාදය පිළිබඳ විග්‍රහයන් ඒ ඒ නිකායන් වල භික්ෂූන්ට වැටහෙන ආකාරයට සකස් විය. අවබෝධයට ඉතා දුෂ්කර වූ, සියුම් වූ මෙම පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳව තිබෙන අවබෝධය මඳ බැවින් බොහෝ ජනයා ඒ පිළිබඳව නා නා ප්‍රකාර දෘෂ්ඨි ඇති කරගත්හ. එසේම බුදු රජුන්ගේ මෙම හේතු ඵල දහම පිළිබඳ වන විග්‍රහය කල් යත්ම ලෝකයෙහි වෙනත් දර්ශන වාද විකාශනය වීමටද බලපෑමක් ඇතිකර තිබෙන බවද පැහැදිලිව පෙනෙන කරුණකි.

        මෙහිදී හේතු ඵල වාදයෙහි බෞද්ධ සහ අබෞද්ධ විකාශනයන් පිළිබඳව සාකච්ඡා කෙරෙන අතර මෙම වාදයන් මුල් බුදු සමය සමඟ සසඳා බැලීමක්ද සිදු කෙරේ.

බුදු දහමින් බැහැර හේතුඵල වාදය

සත්කාර්ය වාදය

පෙරදිග හේතුඵල වාදයන්හි දක්නට ලැබෙන සත්කාර්ය වාදය උපනිෂද් දර්ශනය ආශ්‍රයෙන් ප්‍රභවය වී පසුව ජෛන සහ බුදු සමයේ අභාෂයෙන් බිහිවූ බව සැලකේ. ‘සත්’ යනු පැවැත්ම (existence) වන අතර ‘කාර්ය’ යනු එයින් ඇතිවන බලපෑමයි (Satkaryavada, 2023). මෙහිදී අදහස් කරනුයේ යම් හේතුවකින් ඵලයක් උපදින්නේද එම හෙතුවෙහි ඵලයද ගැබ් වී තිබෙන බවයි. උපමාවක් ලෙස පොල් වලින් හට ගන්නා තෙල් පොල් තෙල් වන අතර එම තෙල් එහි හේතුව වන පොල් ගෙඩියෙහි අධ්‍යාහාරව ගැබ් වී තිබේ. මෙම දෘෂ්ඨි වාදය අනුව සෑම හෙතුවකම ඵලය අඩංගු වන නිසා සියලුම ඵල ධර්මයන් ගැබ් වී තිබෙන මූලික හේතුවක් දැක්විය යුතුය. මෙම මූලික හේතුව ප්‍රකෘතිය ලෙස මෙම දර්ශන වාදයෙහි පෙන්වයි.

මෙම දැක්ම වර්තමානයෙහි හින්දු දර්ශනයෙහි දැක්වෙන බ්‍රහ්මන් නමැති බ්‍රහ්ම ආත්මය පිළිබඳ ඉගැන්වීමට සමානකමක් දැකිය හැකිය. එම දර්ශනයෙහි දැක්වෙන ආකාරයට විශ්වයෙහි හටගන්නා සියල්ලම මෙම බ්‍රහ්මාත්මය හේතුවෙන් හටගන්නා අතර ඒ සියල්ල අවසානයේ නැවත එම බ්‍රහ්මාත්මය සමඟම එකතු වේ. බ්‍රහ්මාත්මය වනාහි නොවෙනස්ව පවතින්නකි.

බුදු දහම අනුව මෙම දර්ශනය සයංකත වාදය යන දෘෂ්ඨි වාදයට සමගාමී වේ. සයංකත යන්නෙහි තේරුම තමන් විසින් කරන ලද්ද යන්නයි. මෙහිදී ප්‍රකෘතිය ලෙස හඳුන්වන මූලික හේතුව තමා වශයෙන් හෝ හෝ තමාව නිර්මාණය කල බාහිර නොවෙනස්වන ආත්මයක් වශයෙන් හෝ පිළිගන්නා දෘෂ්ඨි වාද ඇතිවේ. සියල්ල තමා විසින් කරන ලද පෙර කර්මය අනුව සිදු වන බව සිතීමද මෙම දෘෂ්ඨියෙහි තිබිය හැකි ලක්ෂණයක් වේ. එසේම මෙම දර්ශනය අනුව ලෝක නිර්මාපක දේවත්වයක් පිළිබඳ දෘෂ්ඨි වාද ඇතිවීමට පසුබිමක්ද තිබේ

අසත්කාර්ය වාදය

ඉහත දැක්වූ සත්කාර්ය වාදයට සෘජුව ප්‍රති විරුද්ධ වන දර්ශන වාදයක් ලෙස අසත්කාර්ය වාදය දැක්විය හැකිය. මෙහිදී දක්වන අදහස වන්නේ හේතුව තුළ ඵලය තිබේ නම් නැවත ඵලය උත්පාදනය කිරීමට අවශ්‍ය නොවන බවයි. එනම් අඹ ඇටයක් තුළ අඹ ගසක් දැකිය හැකි විය යුතුය.  මේ අනුව හේතුව හා ඵලය සර්වප්‍රකාරයෙන්ම වෙනස් ස්වභාවයන් දෙකක් බව හැඟවේ. තමා විසින් කරන ලද ක්‍රියාවක් හේතුවෙන් අනාගත විපාකයක් ඵලයක් ලෙස ඇතිවිය හැකි බව මෙම දෘෂ්ඨි වාදය පිළිනොගනී. මෙම අදහසට විරුද්ධ මතයක් දක්වන්නෝ හේතුව තුළ ඵලය නැත්නම් අඹ ඇටයෙන් අඹ නොවන වෙනත් ගසක් පවා හට ගත යුතු බවට තර්ක කළහ (විජිත ස්ථවිර, 2020).

ශක්තිවාදය

මෙය සත්කාර්ය වාදය හා අසත්කාර්ය වාදය ප්‍රතික්ෂේප කොට හේතු ඵල දහම පිළිබඳ ඉදිරිපත් වූ තවත් දෘෂ්ඨි වාදයකි. මෙහිදී හේතුව හා ඵලය අතර සඤ්ඤාමය සම්බන්ධයක් ඇති බව සඳහන් කරයි. ප්‍රාණියෙකු සිතා මතා නව නිර්මාණයක් කරන සෙයින් සියළුම හේතූන් සඤ්ඤාමය වශයෙන් ඵලයන් නිර්මාණය කරන බව මෙයින් කියවේ (විජිත ස්ථවිර, 2020).

සත්කාරණ වාදය

ක්‍රි.ව. 8 වන සියවසෙහි සිටි ශංකරාචාර්යයන් මෙම මතය ඉදිරිපත් කළ අතර සමස්ථ ලෝකය මායාවක් බවත් බ්‍රහ්මාත්මය හෙවත් බ්‍රහ්මන් පමණක් සත්‍ය බවත් ඔහු ප්‍රකාශ කළේය. මෙම වාදය අනුව සත්‍ය වශයෙන් පවතින්නේ හේතුව පමණක් වන අතර ඵලය මායාවකි. එසේම මෙම මතය පෙර සඳහන් කළ සත්කාර්ය වාදය හා සම්බන්ධතාවක් පවතින බව පෙනේ. ඔහු විසින් ඉදිරිපත් කළ සුප්‍රකට නාගයා සහ කඹය උපමාව මෙහිදී සඳහන් කළ හැකිය. එනම් මිනිසෙක් පාර හරහා වැටී ඇති ගවයන් බඳින විශාල කඹයක් දැක එයට නාගයෙකු යැයි රැවටේ. මෙහිදී ශංකරාචාර්යයන්ට අනුව නාගයා යනු මායාවක් වන අතර කඹය පමණක් සත්‍ය වේ (විජිත ස්ථවිර, 2020).

මුල් බුදු සමයේ හේතුඵල දහම

මුල් බුදු දහමේ පටිච්චසමුප්පාදය පිළිබඳ බොහෝ විස්තරයන් ථේරවාද ත්‍රිපිටකය පුරාවට දක්නට ලැබේ. පටිච්චසමුප්පාදය චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා කොතරම් අත්‍යාවශ්‍ය වේද යන්න සංයුක්ත නිකායෙහි පටිච්චසමුප්පාදය සඳහා වෙන්වූ සංයුක්තය හැඳින්වීමට අභිසමය සංයුක්තය යන නම භාවිතා වී තිබීමෙන් වටහා ගත හැකිය. හේතුව හා ඵලය අතර ඇති සම්බන්ධය ඉතා කෙටියෙන් විස්තර වන බොහෝ දෙනා අතර ප්‍රකට ගාථාවක් විනය පිටකයෙහි මහා වග්ගපාලියෙහි සඳහන් වේ. එනම්

යේ ධම්මා හේතුප්පභවා තේසං හේතු තථාගතෝ ආහ

තේසඤ්චයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමණෝ

යම් ධර්මයන් හේතූන්ගෙන් ප්‍රභවය වේද ඒවායේ හේතු තථාගතයන් වහන්සේ වදාළහ. ඒවායේ නිරෝධයද වදාළහ. ඒ මහා ශ්‍රමණයන් වහන්සේ මෙබඳු වාද ඇති සේක්ය (මහාවග්ගපාළි 1, 2006, p. 84).

සාරිපුත්ත මහා රහතන් වහන්සේ ගිහි කළ උපතිස්ස පරිබ්‍රාජකයන් හට අස්සජී මහා රහතන් වහන්සේ විසින් වදාල මෙම ගාථාවෙහි සමස්ථ සම්බුද්ධ ධර්මයෙහි ඇතුලත් හේතු ඵල දහම කෙටියෙන් සඳහන් වේ.

හේතුව හා ඵලය අතර සම්බන්ධය

නොයෙක් සූත්‍ර දේශනා වලදී බුදු රජුන් පටිච්චසමුප්පාදය තුල හේතුව සහ ඵලය පිළිබඳව වටහා ගතහැකි ලෙසින් සිහිකළ යුතු ආකාරය පිළිබඳ වදාලහ.

ඉති ඉමස‍්මිං සති ඉදං හොති, ඉමස‍්සුප‍්පාදා ඉදං උප‍්පජ‍්ජති. ඉමස‍්මිං අසති ඉදං න හොති, ඉමස‍්ස නිරොධා ඉදං නිරුජ‍්ඣති.

මෙය ඇති කල්හි මෙය ඇත. මෙය ඉපදීමෙන් මෙය උපදී, මෙය නැති කළ මෙය නැත. මෙය නිරෝධයෙන් මෙය නිරුද්ධ වේ (සංයුක්ත නිකාය 2, 2006, p. 41).

මෙහි ප්‍රථම කොටසෙහි අරුත නම් හේතුව ඇති කල්හි ඵලය ඇති බවත්. හේතුව ඉපදීමෙන් ඵලය උපදින බවත් ය. මෙය බොහෝ තැන්වල පටිච්චසමුප්පාද සමුදය හෙවත් හට ගැනීම ලෙස සඳහන් වේ. එසේම දෙවෙනි කොටසෙහි හේතුව නැති කළ ඵලය නැති බවත් හේතුව නිරෝධයෙන් ඵලය නිරුද්ධ වන බවත් අර්ථවත් වේ. මෙය පටිච්චසමුප්පාද නිරෝධය ලෙස හැඳින්වේ.

මෙහිදී පටිච්චසමුප්පාදයෙහි සඳහන් කොටස් 12වන අවිද්‍යාව, සංස්කාර, විඤ්ඤාණය, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරාමරණසෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාස යන කේවල දුක්ඛස්කන්ධය හට ගන්නා ආකාරයත් නිරුද්ධ වන ආකාරයත් ඉහත සඳහන් ආකාරයට ගලපා වටහා ගත යුතුය.

        පටිච්චසමුප්පාදය වටහා ගැනීම සඳහා බුදු රජුන් වදාල උපමාවක් සූත්‍රයන්හි සඳහන් වේ. එනම් කඳුකරයට වැස්ස වසින විට කුඩා දිය පහරවල්ද, ඒ මඟින් කුඩා පොකුණුද, එමගින් මහා වැව් පොකුණුද එමඟින් ඇළ, දොළ, කුඩා ගංගා, මහා ගංගාද පිරී මහා සාගරය පිරෙන සෙයින්, අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාරත්, සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණයත්, ආදී වශයෙන් අවසානයේ මුළුමහත් දුක්ඛස්කන්ධයම හට ගන්නා ආකාරය සඳහන් වේ (සංයුක්ත නිකාය 2, 2006, p. 186).

මහා නිදානය

පටිච්චසමුප්පාදය පිළිබඳ බුදු රජුන් වදාල සූත්‍ර අතුරින් අති සුප්‍රකට දෙසුමක් වන්නේ දීඝ නිකායෙහි සඳහන් මහා නිදාන සූත්‍රයයි. ත්‍රිපිටකයෙහි වෙනත් තැන් වල සඳහන් ආකාරයට වඩා තරමක් වෙනස් ආකාරයෙන් මෙහි පටිච්චසමුප්පාදය විස්තර කර තිබේ. එනම් වෙනත් බොහෝ තැන් වල නාමරූප පච්චයා සළායතනං, සළායතන පච්චයා ඵස්සෝ ලෙසින් සඳහන් වුවත් මෙහිදී සළායතන පිළිබඳ සඳහන් නොකොට නාමරූප පච්චයා ඵස්සෝ ලෙසින් සඳහන් කර තිබේ. මෙහි ඇති තවත් විශේෂයක් වනුයේ නාමරූප හා විඤ්ඤාණය අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකොට තිබීමයි. මුළු සසර පවත්මටම මෙම නාමරූප හා විඤ්ඤාණය අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාවය බලපාන බව මෙහි සඳහන් වේ.

“එත‍්තාවතා ඛො ආනන්‍ද, ජායෙථ වා ජීයෙථ වා මීයෙථ වා චවෙථ වා උපපජ‍්ජෙථ වා, එත‍්තාවතා අධිවචනපථො, එත‍්තාවතා නිරුත‍්තිපථො, එත‍්තාවතා විඤ‍්ඤත‍්තිපථො, එත‍්තාවතා පඤ‍්ඤාවචරං, එත‍්තාවතා වට‍්ටං වත‍්තති, එත‍්තාවතා ඉත්‍ථත‍්තං පඤ‍්ඤාපනාය, යදිදං නාමරූපං සහ විඤ‍්ඤාණෙන අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයතා පවත‍්තති.” “ආනන්‍දය, යම් නාමරූපයෙක් විඥාණය හා අන්‍යෝන්‍ය ප්‍රත්‍යයභාවයෙන් පවත්නේ ද, මෙතෙකින් ම උපදනේ යැ යි හෝ දිරන්නේ යැ යි හෝ මැරෙන්නේ යැ යි හෝ ච්‍යුත වන්නේ යැ යි හෝ ච්‍යුත ව උපදනේ යැ යි හෝ පැනැවෙන්නේය, මෙතෙකින් නාම ව්‍යවහාරයට මාර්‍ග වේ. මෙතෙකින් නිරුක්තියට මාර්‍ග වේ. මෙතෙකින් ප්‍රඥප්තියට මාර්‍ගය වේ. මෙතෙකින් ප්‍රඥාවෙහි හැසිරීම වේ. මෙතෙකින් සසරවට පවතියි. මෙතෙකින් ආත්මභාවය පැණවීම පිණිස නාමරූප විඤ්ඤාණය සමඟ අන්‍යෝන්‍ය ප්‍රත්‍යතාව පවතී” (දීඝ නිකාය 2, 2006, p. 94). තවද නාමරූප සහ විඤ්ඤාණය අතර තිබෙන සම්බන්ධතාවය නළකලාප සූත්‍රයේදී බටමිටි දෙකක් එකිනෙකට හේත්තු කොට තිබෙන ආකාරයට පවතින බව සඳහන් වේ (සංයුක්ත නිකාය 2, 2006, p. 176).

        සංසාරික සත්වයා හට ජරා මරණ ආදී දුක් හට ගන්නා ආකාරයට අමතරව ලෝකයෙහි ජන සමාජය තුළ කලකෝලාහල ආදී බාහිර දුක් කම්කටොළු හට ගන්නා ආකාරය පිළිබඳවද මහා නිදාන සූත්‍රයෙහි විස්තර වේ. මෙයද හේතු ඵල දහම සම්බන්ධයෙන් ධර්මයෙහි විග්‍රහ වන තවත් ආකාරයකි. එනම්;

“ඉති ඛො පනෙතං ආනන්‍ද, වෙදනං පටිච‍්ච තණ‍්හා, තණ‍්හං පටිච‍්ච පරියෙසනා, පරියෙසනං පටිච‍්ච ලාභො, ලාභං පටිච‍්ච විනිච‍්ඡයො, විනිච‍්ඡයං පටිච‍්ච ඡන්‍දරාගො, ඡන්‍දරාගං පටිච‍්ච අජ‍්ඣොසානං, අජ‍්ඣොසානං පටිච‍්ච පරිග‍්ගහො, පරිග‍්ගහං පටිච‍්ච මච‍්ඡරියං, මච‍්ඡරියං පටිච‍්ච ආරක‍්ඛො, ආරක‍්ඛාධිකරණං පටිච‍්ච දණ‍්ඩාදාන-සත්‍ථාදාන-කලහ-විග‍්ගහ-විවාද-තුවන‍්තුවං-පෙසුඤ‍්ඤ-මුසාවාදා අනෙකෙ පාපකා අකුසලා ධම‍්මා සම‍්භවන‍්ති.” “ආනන්‍දය, මෙසේ මේ වේදනාව නිසා තෘෂ්ණාව වේ. තෘෂ්ණාව නිසා පර්‍ය්‍යෙෂණය වේ. පර්‍ය්‍යෙෂණය නිසා ලාභය වේ. ලාභය නිසා විනිශ්චය වේ. විනිශ්චය නිසා ඡන්‍දරාගය වේ. ඡන්‍දරාගය නිසා මම ය, මගේ යැ යි බැසගැනීම වේ. බැසගැනීම නිසා අයත් කර ගැන්ම වේ. අයත් කර ගැන්ම නිසා මසුරුබව වේ. මසුරුබව නිසා රැක්ම වේ. රැක්ම කරණකොට ගෙන දඬුමුගුරු දැරුම්, අවි දැරුම්, විරෝධ පෑම්, විවාද, නුඹ නුඹ යැයි වාද, මුසාබිණුම්, නෙයෙක් ලාමක අකුසල්දහම්හු පහළ වෙත්” (දීඝ නිකාය 2, 2006, p. 86).

මේ අනුව වටහා ගත යුත්තේ අවිද්‍යාව මුල්කොටගෙන ඇතිවන තෘෂ්ණාව සාංසාරික දුක් පමණක් නොව, සමාජීය ගැටළුද ඇති කරවන බවයි.

ලෝකෝත්තර පටිච්චසමුප්පාදය

ඛුද්දක නිකායෙහි නෙත්තිප්‍රකරණයෙහි අවිජ්ජා පච්චයා සංඛාරා ආදී නයින් සඳහන් වන පටිච්චසමුප්පාදය නම් කර ඇත්තේ ලෞකික පටිච්චසමුප්පාදය නමිනි. එනම් එමඟින් විස්තර වන්නේ ලෝකය තුල දුක් හට ගැනීම වේ. මීට අමතරව මෙහි ලෝකෝත්තර පටිච්චසමුප්පාදය ලෙසද විස්තර වන්නක් ඇත (නෙත්තිප්‍රකරණය, 2006, p. 100). මෙහිදී විස්තර වන්නේ නොයෙක් සූත්‍රයන්හි සඳහන් කොට තිබෙන සීලාදී ගුණ දහම් මුල් කොට ගෙන අනුපිළිවෙලින් අරහත්වය දක්වා එම ගුණ දහම් උපනිශ්‍රය වන ආකාරයයි. එනම්,

“සීලවතො භික‍්ඛවෙ සීලසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නො හොති අවිප‍්පටිසාරො. අවිප‍්පටිසාරෙ සති අවිප‍්පටිසාරසම‍්පන‍්නස‍්ස උපනිසස‍්මපන‍්නං හොති පාමොජ‍්ජං. පාමොජ‍්ජෙ සති පාමොජ‍්ජසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නා හොති පීති. පීතියා සති පීතිසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නා හොති පස‍්සද‍්ධි. පස‍්සද‍්ධියා සති පස‍්සද‍්ධිසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නං හොති සුඛං. සුඛෙ සති සුඛසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නො හොති සම‍්මාසමාධි. සම‍්මාසමාධිම‍්හි සති සම‍්මාසමාධිසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නං හොති යථාභූතඤාණදස‍්සනං. යථාභූතඤාණදස‍්සනෙ සති යථාභූතඤාණදස‍්සනසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නො හොති නිබ‍්බිදාවිරාගො. නිබ‍්බිදාවිරාගෙ සති නිබ‍්බිදාවිරාගසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නං හොති විමුත‍්තිඤාණදස‍්සනං.” “මහණෙනි, සිල්සපන් සිල්වත්හට අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරසම්පන්නහට ප්‍රාමෝද්‍යය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රාමෝද්‍යය ඇතිවත් ම ප්‍රාමෝද්‍යයසම්පන්නහට ප්‍රීතිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රීතිය ඇතිවත් ම ප්‍රීතිසම්පන්නහට ප්‍රශ්‍රබ්ධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රශ්‍රබ්ධිය ඇතිවත් ම ප්‍රශ්‍රබ්ධිසම්පන්නහට සුඛය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සුඛය ඇතිවත් ම සුඛසම්පන්නහට සම්මාසමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්මාසමාධිය ඇතිවත් ම සම්මාසමාධිසම්පන්නහට යථාභූතඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇතිවත් ම යථාභූතඥානදර්‍ශනසම්පන්නහට නිබ්බිදාවිරාගය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය ඇතිවත් ම නිබ්බිදාවිරාගසම්පන්නහට විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි” (අංගුත්තර නිකාය 6, 2006, p. 8).

මෙසේ ලෞකික පටිච්චසමුප්පාදය සසර පැවැත්මටත් ලෝකෝත්තර පටිච්චසමුප්පාදය සසර නැවැත්මටත් මුල් වන බව වටහා ගත හැකිය.

සූවිසි ප්‍රත්‍ය

ථේරවාද අභිධර්මයෙහි මෙම හේතුව හා ඵලය අතර ඇති සම්බන්ධතාව ප්‍රත්‍ය 24කින් විස්තර වේ. ඒවා නම්

  1. හේතු ප්‍ර‍ත්‍යය
  2. ආරම්මණ ප්‍ර‍ත්‍යය
  3. අධිපති ප්‍ර‍ත්‍යය
  4. අනන්තර ප්‍ර‍ත්‍යය
  5. සමනන්තර ප්‍ර‍ත්‍යය
  6. සහජාත ප්‍ර‍ත්‍යය
  7. අන්‍යොන්‍ය ප්‍ර‍ත්‍යය
  8. නිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය
  9. උපනිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය
  10. පුරේජාත ප්‍ර‍ත්‍යය
  11. පශ්චාජ්ජාත ප්‍ර‍ත්‍යය
  12. ආසේවන ප්‍ර‍ත්‍යය
  13. කර්ම ප්‍ර‍ත්‍යය
  14. විපාක ප්‍ර‍ත්‍යය
  15. ආහාර ප්‍ර‍ත්‍යය
  16. ඉන්ද්‍රිය ප්‍ර‍ත්‍යය
  17. ධ්‍යාන ප්‍ර‍ත්‍යය
  18. මාර්ග ප්‍ර‍ත්‍යය
  19. සම්ප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යය
  20. විප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යය
  21. අස්ති ප්‍ර‍ත්‍යය
  22. නාස්ති ප්‍ර‍ත්‍යය
  23. විගත ප්‍ර‍ත්‍යය
  24. අවිගත ප්‍ර‍ත්‍යය

මෙම සූවිසි ප්‍රත්‍යයන් සංසාර ගත පැවැත්මට උපකාර කරන ආකාරය ඉතා සංකීර්ණ ලෙස අභිධර්ම ප්‍රකරණයෙහි පට්ඨානප්‍රකරණයෙහි සඳහන් වේ. මේ අනුව මෙම හේතු ඵල සම්බන්ධය සෑම විටම විස්තර කරන්නේ යම් ධර්මයක් තවත් ධර්මයක පැවැත්මට උපකාර කරන ආකාරය බව පැහැදිලි වේ (පට්ඨානප්ප්‍රකරණය 1, 2006).

පරමාර්ථ වශයෙන් ලැබීම සහ නොලැබීම

හේතුව හා ඵලය අතර ඇති සම්බන්ධතාවය ථේරවාද ත්‍රිපිටකයෙහි දැක්වෙන්නේ සමුදය හා නිරෝධය නැතහොත් අත්ථංගමය වශයෙනි. එසේම සමුදය හා අත්ථංගමය විස්තර වන්නේ පරමාර්ථ වශයෙන් ලැබිය හැකි ධර්මයන් පිළිබඳව පමණි. එනම් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර හා විඤ්ඤාණය යන පංච උපාදානස්කන්ධය, සය වැදෑරුම් ආයතන, ශ්‍රද්ධා ආදී පංච ඉන්ද්‍රීයන් වැනි ධර්මයන් පිළිබඳවයි. සත්ව, පුග්ගල හා ආත්ම යනු පරමාර්ථ වශයෙන් ලැබිය හැකි ධර්මයන් නොවේ. කථාවත්ථුප්‍රකරණයෙහි පර වාදයන් නැතහොත් අථේරවාද මතයන් ඛණ්ඩනය කරමින් ස්වකීය වාද ලෙස දක්වන ථේරවාද මතය මෙසේ සඳහන් වේ. එනම්, 

“රූපං උපලබ‍්භති සච‍්චිකට‍්ඨපරමත්‍ථෙන

“රූපය සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් ලබයි…”

“පුග්ගලෝ නූපලබ‍්භති සච‍්චිකට‍්ඨපරමත්‍ථෙන.”

“පුද්ගලයා සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් නොලබයි.” (කථාවත්ථුප්‍රකරණය 1, 2006, p. 44)

එසේම භික්ඛුණී සංයුක්තයෙහි වජිරා භික්ෂුණිය මුළා කිරීම සඳහා පාපී මාර තෙමේ ප්‍රශ්නයක් ඇසුවේය. එනම්,

“කෙනායං පකතො සත‍්තො කුවං සත‍්තස‍්ස කාරකො,

කුවං සත‍්තො සමුප‍්පන‍්නො කුවං සත‍්තො නිරුජ‍්ඣතීති.”

“මේ සත්‍වයා කවරකු විසින් කරණ ලද්දේ ද? මේ සත්‍වයා කළ තැනැත්තා කොහි ද? මේ සත්‍වයා කොහි හටගත්තේ ද? මේ සත්‍වයා කොහි නිරුද්ධ වේ ද?”

මෙහිදී අරහත් භික්ෂුණියක් වූ වජිරා භික්ෂුණිය මාරයා හට පිළිතුරු දුන්නේ. “සුද‍්ධසඞ‍්ඛාරපුඤ‍්ජොයං නයිධ සත‍්තුපලබ‍්භති” “මෙහි ඇත්තේ හුදු සංස්කාර පුංජයකි. මෙහි සත්වයෙකු ලැබිය නොහැය” ලෙසය. එසේම,

“දුක‍්ඛමෙව හි සම‍්භොති දුක‍්ඛං තිට‍්ඨති වෙති ච,

නාඤ‍්ඤත්‍ර දුක‍්ඛා සම‍්භොති නාඤ‍්ඤත්‍ර දුක‍්ඛා නිරුජ‍්ඣතීති”

“හටගන්නේ දුක මය. පවතින්නේ දුක ම. නැති වන්නේ දුක ම ය. දුක හැර අනිකෙක් නො හටගනී. දුක හැර අනිකෙක් නිරුද්ධ නො වේ.” (සංයුක්ත නිකාය 1, 2006, p. 246)

මේ අනුව පෙනෙන්නේ මුල් බුදුසමයෙහි නැතහොත් ථේරවාද ත්‍රිපිටකයෙහි හේතු ඵල දහම විස්තර වන්නේ පරමාර්ථ වශයෙන් ලැබිය හැකි ධර්මයන් කෙරෙහි පමණක් බවත් පටිච්චසමුප්පන්න සියළු ධර්මයන් දුක්ඛාර්ය සත්‍යයෙහි ඇතුලත් බවත්ය.

මහායාන හේතුඵල වාදය

හේතු ඵල දහම පිළිබඳව පශ්චාත් බෞද්ධ දර්ශණ වාද දෙකක් ප්‍රධාන වශයෙන් පෙන්වා දිය හැකිය. එනම් මාධ්‍යමක සහ යෝගාචාර මතයන්ය. මාධ්‍යමකයින් ශුන්‍යතා වාදයක්ද යෝගාචාරයන් විඤ්ඤාණ වාදයක්ද ඉදිරිපත් කළහ. මෙම දර්ශණ වාදයන් තුළ මුල් බුදු දහම සමඟ ප්‍රධාන වශයෙන් නොයෙක් වෙනස්කම් දක්නට ලැබේ.

මාධ්‍යමක පටිච්චසමුප්පාදය

නාගර්ජුනපාදයන් විසින් නිර්මාණය කළ මාධ්‍යමක නම් මහායානික ගුරු කුලයෙහි පටිච්චසමුප්පාදය තුළ බොහෝ සෙයින් ඉස්මතු කිරීමට උත්සාහවත් වී ඇත්තේ ශූන්‍යතාවයි. හේතුන් නිසා හටගත් සෑම දෙයක්ම ස්වභාවයකින් හෙවත් ස්වාධීන පැවැත්මකින් හිස් (Empty of self nature or independent existence) බවත් එම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සියල්ල ප්‍රඥප්තියක් බවත් මෙහෙදී ඉගැන්වේ.

ක්‍රි.පූ. 2 හා 3වැනි සියවස් අතර කාලයේදී නාගර්ජුනයන් විසින් රචිත මූලමාධ්‍යමකකාරිකා නම් ග්‍රන්ථයෙහි මෙම ශුන්‍යතා දර්ශනය පිළිබඳ දීර්ඝ විස්තරයක් සඳහන් වේ. මෙහිදී නාගර්ජුනයන් මෙම ශුන්‍යතාවය යනු කිසිවක් නැත යන උච්චේදය නොවන බව විශේෂයෙන් කියා තිබේ. එසේම හටගැනීම හා වැයවීම දක්නට ලැබෙන්නේ සියල්ල ස්වාධීන පැවැත්මකින් ශුන්‍ය නිසා බව ඔහු සඳහන් කරයි (Kalupahana, 1986).

මාධ්‍යමක දර්ශණ වාදයෙහි දැක්වෙන ශුන්‍යතාවය මුල් බුදු සමය හා වෙනස් වන ආකාරය මූලික සූත්‍ර දේශනා අනුසාරයෙන් කරුණු පෙන්වා දිය හැකිය. පෙර සඳහන් කළ පරිදි මාධ්‍යමක ශුන්‍යතාවය යනු සියළු ධර්මයන් ස්වභාවයෙන් හෙවත් ස්වාධීන පැවැත්මෙන් හිස් බවයි. එනමුත් ථේරවාද ත්‍රිපිටකයෙහි සඳහන් වන ශුන්‍යතාවය මීට වෙනස් ය.  “සුඤ‍්ඤො ලොකො” “ලෝකය ශුන්‍යය” යන්න ථේරවාද මුල් බුදු දහමෙහි සඳහන් කරන්නේ,

“යස‍්මා ච ඛො ආනන්‍ද, සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වා, තස‍්මා සුඤ‍්ඤො ලොකොති වුච‍්චති.” “ආනන්ද, ආත්මයකින් හෝ ආත්මයට අයත් දෙයකින් හිස්ය, එබැවින් ලෝකය ශුන්‍ය යයි පවසනු ලැබේ.” (සංයුක්ත නිකාය 4, 2006, p. 120)

ශූන්‍ය” යන පදය භාවිතා කිරීමේදී කුමක්, කුමකින් ශූන්‍ය දැයි පැවසිය යුතුය. මුල් ථේරවාදය තුළ ලෝකය ආත්මයකින් හිස් ලෙස දැක්වේ. එසේම ලෝකය ලෙස පරමාර්ථ වශයෙන් ලැබිය හැකි ඇස, කණ, නාසය ආදී ආයතනද, පංචඋපාදානස්කන්ධයද වැනි ධර්මයන් ආත්මයකින් හෝ ආත්මයකට අයත් දෙයකින් හිස් යැයි මුල් ථේරවාදය තුළ සැලකේ. නමුත් මාධ්‍යමක ශූන්‍යතාවය තුල ශූන්‍ය ලෙස අදහස් කරන්නේ ස්වභාවයකින් හෙවත් ස්වාධීන පැවැත්මකින් හිස් බවයි.

ථේරවාද මුල් බුදු දහම තුල ස්වභාවය යන අදහස ධාතු යන වචනයෙන් අර්ථවත් කරයි. සංයුක්ත නිකායෙහි ධාතු සංයුක්තයෙහි හීන ධාතු, මජ්ඣිම ධාතු, පනීත ධාතු ලෙස සත්‍ය වශයෙන් පවතින ධාතු (ස්වභාවයන්) පිළිබඳව දේශනා කොට තිබේ. හීන ධාතුවෙන් හීන දෙයත්, මජ්ඣිම ධාතුවෙන් මධ්‍යම දෙයත්, පනීත ධාතුවෙන් ප්‍රනීත දෙයත් උපදින බව එහි සඳහන් ය.

“හීනං කච‍්චාන, ධාතුං පටිච‍්ච උප‍්පජ‍්ජති හීනා සඤ‍්ඤා, හීනා දිට‍්ඨි, හීනො විතක‍්කො, හීනා චෙතනා, හීනා පත්‍ථනා, හීනො පණිධි, හීනො පුග‍්ගලො, හීනා වාචා. හීනං ආචික‍්ඛති, දෙසෙති, පඤ‍්ඤපෙති, පට‍්ඨපෙති, විවරති, විභජති, උත‍්තානීකරොති. හීනා තස‍්ස උප‍්පත‍්තීති වදාමි.” “කච්චාන හීන ධාතුව නිසා හීන සංඥාව උපදී. හීන දෘෂ්ටිය, හීන විතර්‍කය හීන චේතනාව, හීන ප්‍රාර්‍ත්‍ථනාව, හීන ප්‍රණිධිය, හීන පුද්ගලයා, හීන වචන උපදී, හීන වූවක් කියයි, දේශනා කෙරෙයි, පණවයි, පිහිටුවයි, විවෘත කෙරෙයි, බෙදයි, ඉස්මතු කෙරෙයි. ඔහුගේ ඉපැද්ම හීන ය යි කියමි” (සංයුක්ත නිකාය 2, 2006, p. 240). මේ අයුරින්ම මධ්‍යම හා පනීත ධාතු පිළිබඳවද මුල් බුදු දහමේ විස්තර වේ.

නාගර්ජුනයන් විසින් රචිත මූලමාධ්‍යමකකාරිකාවෙහි ධාතු පිළිබඳ සඳහන් කරන්නේ මෙසේය;

තස්මාන් න භාවෝ නාභාවෝ නලක්ෂ්‍යම් නාපි ලක්ෂ්‍යනම්

ආකාසං ආකාස සමා ධාතවඃ පඤ්ච යේ පරේ

එබැවින් පැවැත්මක්ද නැත නොපැවත්මක්ද නැත. ලක්ෂණ ද නැත අලක්ෂණද නැත. ආකාස ධාතුව හා අනෙක් පස් වැදෑරුම් ධාතුන් අහස හා සමය. (Kalupahana, 1986, p. 151)

මෙයින් පැහැදිලි වන්නේ මුල් ථේරවාදයෙහි සඳහන් ශූන්‍යතාවය සහ මාධ්‍යමක ශූන්‍යතාවය බොහෝ වෙනස් බවයි.

ශූන්‍යතාවය යනු උච්චේදය නොවන බව නාගර්ජුනයන් ප්‍රකාශ කරන්නේ මෙසේය.

යදි අශුන්‍යං ඉදං සර්වං උදයෝ නාස්ති න ව්‍යයඃ

චතුර්ණං ආර්යසත්‍යානං අභාවස්තේ ප්‍රසජ්යතේ

මෙම සියල්ල (ස්වභාවයෙන්) ශූන්‍ය නොවේ නම්, හටගැනීමක් හෝ ව්‍යයවීමක් නැත්තේය. මෙයින් ගම්‍ය වන්නේ චතුරාර්ය සත්‍යයන්ගේ අභාවයයි. (Kalupahana, 1986, p. 342)

මෙහිදී නාගර්ජුනයන් සියල්ල (ස්වභාවයෙන්) ශූන්‍ය නොවේ නම්, ස්වාධීන වශයෙන් පවතින්නේ නම්, හට ගැනීම හා වැයවීම විද්‍යමාන නොවිය යුතු බවත්, එවිට චතුරාර්ය සත්‍යයද, අවබෝධයද, මාර්ගඵලද, ආර්ය පුද්ගලයින්ද, ත්‍රිවිධ රත්නයද නැති විය යුතු බවත් තර්ක කරමින් ප්‍රකාශ කරයි. එසේම නාගර්ජුනයන් සියල්ල (ස්වභාවයෙන්) ශූන්‍ය යනු කිසිවක් නැත යන්න නොවන බව වටහා ගැනීම සඳහා සම්මුති සත්‍ය හා පරමාර්ථ සත්‍ය ලෙස සත්‍ය දෙකක් තිබෙන බව පෙන්වා දෙයි. එනම්;

ද්වේ සත්‍යේ සමුපාශ්‍රිත්‍ය බුද්ධානං ධර්ම දේශනා

ලෝක සංව්‍රති සත්‍යං ච සත්‍යං ච පරමාර්ථතඃ

ලෝක සම්මුති සත්‍යද පරමාර්ථ සත්‍ය ද වශයෙන් බුදු වරුන්ගේ ධර්ම දේශනාව සත්‍ය දෙකක් ආශ්‍රිත කොට තිබේ. (Kalupahana, 1986, p. 331)

ව්‍යවහාරං අනාශ්‍රිත්‍ය පරමාර්තෝ න දේශ්‍යතේ

පරමාර්ථං අනාගම්‍ය නිර්වාණං නාධිගම්‍යතේ

ව්‍යවහාරය ආශ්‍රය නොකොට පරමාර්ථය දේශනා නොකරයි. පරමාර්ථයට නොපැමිණ නිර්වාණය අවබෝධ නොකරයි. (Kalupahana, 1986, p. 333)

යඃ ප්‍රතීත්‍ය සමුත්පාදං ශූන්යතාං තාං ප්‍රචක්‍ෂ්මහේ

සා ප්‍රඥප්තිරූපාදාය ප්‍රතිපත් සෛව මධ්‍යමා

යමක් හේතු ප්‍රත්‍ය ධර්මයන්ගෙන් ජනිත වේද, එය ශුන්‍යතාවය යැයි අපි කියමු. එය තවෙකක් මත පවත්නා ප්‍රඥප්තියකි. එයම මධ්‍යම ප්‍රතිපදාව වේ. (Kalupahana, 1986, p. 339)

මේ අනුව පෙනෙන්නේ හටගැනීම, නැතිවීම, චතුරාර්‍ය සත්‍ය, ආර්ය පුද්ගලයින්, මාර්ගඵල ඇතුළු පටිච්චසමුප්පන්න සියල්ල සම්මුති සත්‍යයෙහි ඇතුලත් ප්‍රඥප්තියක් බවත් ඒ සියල්ලෙහි ස්වාධීන පැවැත්මක් නොමැති බව දක්නා ශුන්‍යතාව නමැති පරමාර්ථයට පැමිණ නිවන අවබෝධ කළයුතු බවත් නාගර්ජුනයන්ගේ අදහස බවයි.

මෙම සම්මුති සහ පරමාර්ථ සත්‍ය පිළිබඳ විග්‍රහය පසු කාලීන අටුවා ග්‍රන්ථයන්හි සඳහන් වුවද මුල් ථේරවාද දහම සඳහන් ත්‍රිපිටකයෙහි සඳහන් නොවේ.

යෝගාචාර විඤ්ඤාණවාදී පටිච්චසමුප්පාදය

ක්‍රි.පූ. 4 වන සියවසෙහි අසංග සහ වසුබන්ධු යන මහායානික භික්ෂූන් විසින් බිහිකල විඤ්ඤාණවාදී සම්ප්‍රදාය යෝගාචාර නමින් හැඳින්වේ. මෙම යෝගවචාර විඤ්ඤාණවාදීහු බාහිර සහ අධ්‍යාත්මික පටිච්ච සමුප්පාදය වශයෙන් දෙආකාරයකින් විස්තර කරති. මෙහිදී බාහිර ලෝකයෙහි තිබෙන වස්තූන් හේතු ප්‍රත්‍ය ධර්මයන් නිසා උපදින ආකාරය බාහිර පටිච්චසමුප්පාදය වශයෙනුත් අවිද්‍යාව තෘෂ්ණාව ආදී අධ්‍යාත්මික හේතූන් මුල් කොට ගෙන ස්කන්ධ, ධාතු ආදී ධර්මයන් උපදින ආකාරය ආධ්‍යාත්මික පටිච්චසමුප්පාදය වශයෙනුත් විස්තර වේ. මොවුන්ගේ පටිච්චසමුප්පාදයෙහි ඇති විශේෂත්වය වනුයේ මුල් බුදු දහමෙහි ඇතුලත් නොවන ආලය විඤ්ඤාණය හා ක්ලිෂ්ටමන විඤ්ඤාණය ඇතුළුව විඤ්ඤාණ අටක් විස්තර කිරීමයි. මෙම දර්ශනයට අනුව සත්වයාගේ කුසල අකුසල කර්මබීජ හා සසර ගති පැවතුම් තැන්පත්ව පවතින්නේ ආලය විඤ්ඤාණයෙහි වන අතර එය ගලා බසිනා සැඩපහරක් සෙයින් සාගරයෙහි තරංග මාලාවක් සෙයින් වෙනස් වෙමින් පටිච්චසමුත්පන්නව සසර පවතින බව දැක්වේ. ක්ලිෂ්ටමන විඤ්ඤාණය විස්තර වන්නේ කෙලෙස් සහිත සිත ලෙසයි. ඔවුන්ගේ දැක්මට අනුව හේතු ප්‍රත්‍ය නිසා ජනිත වූ ධර්මයන් පිළිබඳ පවතින විද්‍යාමානබව පරිකල්පනයකි. සියල්ල විඥප්ති මාත්‍ර වන අතර පරමාර්ථ වශයෙන් එවන් ලෝකයක් කියා දෙයක් නැතැයි ඔවුහු පවසති. එසේම ඔවුන්ගේ පටිච්චසමුප්පාද විග්‍රහයේදී ශාස්වත උච්චේද, ඇත නැත යන අන්ත පිළිබඳවද පවසා එම අන්ත වලට නොවැටී අවබෝධ කළ යුතු විඤ්ඤාණ පරිණාමයක් පිලිබඳ ඉගැන්වේ (විජිත ස්ථවිර, 2020).

විඤ්ඤාණවදයක් වූ යෝගාචාර දර්ශණය මාධ්‍යමක දර්ශණය මෙන් නොව මුල් බුදු දහම හා මුළුමනින්ම වෙනස් බව පහසුවෙන් තේරුම් ගත හැකිය. මෙහිදී ඉන්ද්‍රිය ගෝචර සියල්ල විඤ්ඤාණයෙන් දැනගන්නා හෙයින්ද බුදු රජුන් විසින් විඤ්ඤාණය මායාවකට උපමා කොට තිබෙන බැවින්ද “චිත්තමාත්‍රමිදං සර්වං” “මේ සියල්ල චිත්තමාත්‍ර වේ” යැයි සියල්ල සිතෙහි නිර්මාණය වන මායාවක් බව පෙන්වා දෙයි. මෙය “විඤ්ඤප්ති මාත්‍ර” ලෙසද හඳුන්වනු ලැබේ. බාහිර ලෝකය සත්‍ය වශයෙන්ම පවතින යථාර්තයක් නොවන බව පවසන මෙම විඤ්ඤාණ වාදීන් එය ආලය විඤ්ඤාණයේ හේතුවෙන් ඇතිවන ප්‍රක්ෂේපණයක් ලෙසත්, උපමාවක් ලෙස එය කැඩපතකින් මුහුණ බලන විට ඇතිවන ප්‍රතිබිම්බය වැනි ලෙසත් දක්වත්. (විජිත ස්ථවිර, 2020)

        මුල් ථේරවාද බුදු දහමෙහි සියල්ල චිත්තමාත්‍ර යැයි පවසා නැත. සංයුක්ත නිකායෙහි පුප්ඵ සූත්‍රයෙහි මෙසේ සඳහන් වේ,

“රූපං භික‍්ඛවෙ, නිච‍්චං ධුවං සස‍්සතං අවිපරිණාමධම‍්මං නත්‍ථි සම‍්මතං ලොකෙ පණ‍්ඩිතානං අහම‍්පි තං නත්‍ථීති වදාමි.” “මහණෙනි, නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමධර්‍ම රූපයක් ලොව නැතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ. මම ද එය නැතැ යි කියමි.”

“රූපං භික‍්ඛවෙ, අනිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං අත්‍ථිසම‍්මතං ලොකෙ පණ‍්ඩිතානං අහම‍්පි තං අත්‍ථීති වදාමි.” “මහණෙනි, අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්‍ම රූපයක් ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත ය. මම ද එය ඇතැ යි කියමි.” (සංයුක්ත නිකාය 3, 2006, p. 238)

මේ අනුව මුල් බුදු දහම තුළ ඇති දේ ඇති සැටියටත්, නැති දේ නැති සැටියටත් පවසා තිබේ. පුප්ඵ සූත්‍රයෙහි දැක්වෙන මෙම කරුණ අනුව යෝගාචර මතය මුල් බුදු සමයට පටහැනි බව පෙන්විය හැකිය.

මෙයින් වැටහෙන කරුණ වන්නේ මුල් බුදු සමයෙහි සඳහන් පටිච්චසමුප්පාදය පසු කාලීනව සංඝයා අතර යම් අයුරකින් වෙනස් වුවද, එම කරණා ත්‍රිපිටක ධර්මය හා ගලපා බැලීමේදී එම වෙනස්කම් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි බවයි.

ආශ්‍රේය ග්‍රන්ථ

Kalupahana, D. J. (1986). Mulamadhayamakakarika of Nagarjuna. Delhi: Motilal Banarsidass Publishers.

Satkaryavada. (2023). From Wikipedia: https://en.wikipedia.org/wiki/Satkaryavada

Theory of relativity. (2023). From Wikipedia: https://en.wikipedia.org/wiki/Theory_of_relativity

අංගුත්තර නිකාය 6 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

කථාවත්ථුප්‍රකරණය 1 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

දීඝ නිකාය 2 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

නෙත්තිප්‍රකරණය (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

පට්ඨානප්ප්‍රකරණය 1 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

මහාවග්ගපාළි 1 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

විජිත ස්ථවිර, ප. (2020). බුදු සාමය හා බටහිර දර්ශනය. වාද්දූව: ශ්‍රී ලංකා පාලි ග්‍රන්ථ සමාගම.

සංයුක්ත නිකාය 1 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

සංයුක්ත නිකාය 2 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

සංයුක්ත නිකාය 3 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

සංයුක්ත නිකාය 4 (බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ed.). (2006). නැදිමාල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

Tags: No tags

Add a Comment

Your email address will not be published. Required fields are marked *